පරම්පරා කථාව

දූරෙනිදාන කාලයෙහි කල්පය බුද්ධශූන්‍ය-අශූන්‍ය වශයෙන් දෙයාකාරයි. යම් කල්පයක බුදු-පසේබුදු-සක්විතිහු නූපදිත් නම් එය ශූන්‍ය කල්පයයි, ගුණවත් පුද්ගලයන්ගෙන් ශුන්‍ය බැවිනි. එයින් අන්‍ය කල්පය අශූන්‍ය කල්පය නම් වේ, ඒ පුද්ගලයන්ගෙන් හිස් නොවූ බැවිනි. ඒ අශූන්‍ය කල්පය සාර-මණ්ඩ-වර-සාරමණ්ඩ-භද්ද කල්පයන්ගේ වශයෙන් පංචවිධ වේ. එහි කොණ්ඩඤ්ඤ-පදුමුත්තර-සිද්ධත්‍ථ-විපස්සී යන එක් එක් බුදුවරයා යම් කල්පවලදී උපන්නේ නම් ඒ කල්පයෝ සාරකල්ප නම් වෙති. සුමෙධ-සුජාත දෙනමය, තිස්ස-ඵුස්ස දෙනමය, සිඛි-වෙස්සභු දෙනම යයි බුදුවරු දෙනම බැගින් යම් කල්පවල උපන්නාහුද ඒ කල්පයෝ මණ්ඩකල්ප නම් වූහ. අනොමදස්සී-පදුම-නාරද තෙනමය, විපස්සී-අත්‍ථදස්සී-ධම්මදස්සී තෙනමයයි බුදුවරු තෙනම බැගින් යම් කල්පවල උපන්නාහු නම් ඒ කල්පයෝ වරකල්ප නම් වූහ. තණ්හංකර-මේධංකර-සරණංකර-දීපංකරය, මංගල-සුමන-රෙවත-සෝභිතය යන බුදුවරු සතරනම බැගින් යම් කල්පවල උපන්නාහුද ඒ කල්පයෝ සාරමණ්ඩ නම් වෙති. කකුසන්‍ධ-කොණාගමන-කස්සප-ගෝතම-මෙත්තෙය්‍ය යන බුදුවරු පස්නමක් මේ කල්පයෙහි උපදනා බැවින් මෙය භද්‍රකල්ප නමි.

මේ කල්පයාගේ මුලදී පළමුකොට අපගේ බෝසත්තෙමේ මහජනයා විසින් සම්මත වූ බැවින් “මහාසම්මත” නමැති රජ විය. රෝජ-වරරෝජ-කල්‍යාණ-වරකල්‍යාණ-උපොසථ-මන්‍ධාතු-වරමන්‍ධාතු-චරක-උපචරක-චෙතිය-මුවල-මහාමුවල-මුචලින්‍ද-සාගර සාගරදේව-භරත-භගීරථ-රුචි-සුරුචි-පතාප-මහාපතාප-පනාද-මහාපනාද-සුදස්සන-මහාසුදස්සන-නේරු-මහානේරු-අච්චිමන්තු යන මේ අටවිසි රජවරු මහාසම්මත රජුගේ පුත්‍ර-පෞත්‍ර පරම්පරාගත වූවාහු අප්‍රමෙය ආයුෂ ඇත්තාහු ක්‍රමයෙන් කුසාවතී-රජගහ-මිථිලා යන නුවර තුනෙහි විසූහ.

ඔවුනතුරෙන් අච්චිමන්තු රජුගේ පුත්‍ර-පෞත්‍ර වූ එක්සියයක් රජවරු කුසාවතී නුවර රාජ්‍යය කළහ. එක්සියයක් රජුන්ට බාලයා අරින්‍දම නමැත්තේය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ සපණස් රජ කෙනෙක් අයෝධ්‍ය නගරයෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ දුප්පසහ නම් රජය. ඔහුගේ දරුමුනුබුරු වූ සැටක් රජවරු බාරාණසියෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ අජිත රජය. ඔහුගේ දරුමුනුබුරු වූ අසූහාරදහසක් රජවරු කම්පිල්ල නුවර රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාලයා බ්‍රහ්මදත්ත රජය. ඔහුගේ දරුමුනුබුරු වූ සතිස්දෙනෙක් රජවරු හස්ති පුරයෙහි රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ කම්බලස්සහ රජය. ඔහුගේ දරුමුනුබුරු වූ දෙතිසක් රජවරු ඒකපක්‍ෂ නුවර රාජ්‍යය කළහ. ඒ සියල්ලට බාල වූයේ පුරින්‍දද රජයි. ඔහුගේ දරුමුනුබුරු වූ රජවරු විසිඅටදෙනෙක් වජිරවතිය නුවර රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා සාධීන රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ දෙවිස්සක් රජවරු මධුරා නුවර රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා ධම්මගුත්ත රජය. ඔහු පුත්‍ර-පෞත්‍ර වූ රජවරු අටළොස් දෙනෙක් අරිට්ඨ පුරයෙහි රජය කළහ. ඒ සියල්ලට බාලයා සිවි රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු සතළොස් දෙනෙක් ඉඳිපත් නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා බ්‍රහ්මදේව රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු පසළොස් දෙනෙක් ඒකපක්‍ඛ නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා බලදත්ත රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ රජවරු තුදුස් දෙනෙක් කෝලට්ඨිය නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා හත්‍ථිදේව රජය. ඔහුගේ දරුමුනුබුරු වූ රජවරු නවදෙනෙක් කන්‍යාකුබ්ජ රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා නරදේව රජය. ඒ රජුගේ දරුමුනුබුරු වූ රජවරු සත්දෙනෙක් රෝජ නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා මහින්‍ද රජය. ඔහුගේ පුත්‍ර-පෞත්‍ර වූ දොළොස් රජ කෙනෙක් චම්පා නුවර රාජ්‍යය කළහ. ඒ රජුන්ගේ අන්තිමයා නාගදේව රජය. ඒ රජුගේ දරුමුනුබුරු රජවරු පස්විසි දෙනෙක් රජගහනුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා දිවංකර රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු දොළොස් දෙනෙක් තක්සලාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා තාළිස්සර රජය. ඔහුගේ පරම්පරාවෙහි වූ රජවරු දොළොස් දෙනෙක් කුසිනාරාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා සුදින්න රජය. ඔහුගේ දරුමුනුබුරු රජවරු නවදෙනෙක් මලිත්තිය නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා සාගරදේව රජය. ඔහුගේ පරම්පරාවෙහි වූ මඛාදේවාදි රජවරු එක්අසූහාරදහස් කෙනෙක් මිථිලාවෙහි රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා නිමි රජය. බලවත් සක්විති රජෙක් වූ එතුමාගේ පරම්පරාවෙහි වූ කළාරජනක-සමංකර-අශෝක ආදි අසූහාරදහස් තිදෙනෙක් වූ රජවරු බරණැස් නුවර රාජ්‍යය කළහ. ඔවුන්ගේ අන්තිමයා විහායස නම් රජය. ඔහුගේ දරු-මුනුබුරු වූ විජිතසේන-ධම්මසේන-නාගසේන-සමථ-දිසම්පති-රේණු-කුස-මහාකුස-භරත-දසරථ-රාම-බිළාරරථ-චිත්තරංසී-අම්බරංසී-සුජාත-ඔක්කාක යන රජවරු සොළොස්දෙන පිළිවෙළින් බාරාණසියෙහි රාජ්‍යයට පැමිණියහ. ඒ ඔක්කාක රජුගේ පරම්පරාවෙහි වූ නොයෙක් දහස් ගණන් රජුන්ගේ අවෑමෙන් නැවත අන්‍ය වූ ඔක්කාක නම් රජෙක් විය. ඒ රජුගේ පරම්පරාවෙහි වූ නොයෙක් දහස් ගණන් රජුන්ගේ අවෑමෙන් නැවත අන්‍ය වූ ඔක්කාක රජෙක් වී යයි මෙසේ ඔක්කාක පරම්පරා තුනක් වූහ. එයින් තෙවෙනි ඔක්කාක රජුගේ පුත්‍ර-පෞත්‍ර වූ ඔක්කාකමුඛ-නිපුර- චන්‍දිමන්තු-චන්‍දමුඛ-සිවි-සඤ්ජය-වෙස්සන්තර-ජාලී-සිවිවාහන-සීහස්සර යන රජවරු දශදෙන කපිල පුරයෙහි අභිෂේක ලැබූහ. සීහස්සර රජුගේ පරම්පරාවෙහි වූ දෙයාසූදහසක් රජවරු කපිල වස්තුවෙහි රජය කළහ. ඔවුන්ගේ අන්තිමයා ජයසේන රජය. ඒ රජුට සීහසනු නම් පුත්‍රයෙක, යශෝධරා නම් දුවණියකැයි දරුවෝ දෙදෙනෙකි. දෙව්දහ නුවර දේවදහශාක්‍ය නමැති රජෙක් විය. ඔහුටද අඤ්ජන කුමරාය, කච්චානා කුමරිය යයි දරු දෙදෙනෙක් වූහ. කච්චානා කුමරිය සීහසනු රජුගේ අගමෙහෙසි විය. ජයසේන රජුගේ දූ වූ යශෝධරා තොමෝ අඤ්ජනශාක්‍ය රජුගේ අගමෙහෙසි විය. අඤ්ජනශාක්‍ය රජුට මායා-ප්‍රජාවතී යයි දූවරු දෙදෙනෙකි. දණ්ඩපාණි-සුප්‍රබුද්ධ යයි පුත්‍රයෝ දෙදෙනෙකි. සීහසනු රජුට සුද්ධෝදන-ධෝතෝදන-සුක්කෝදන-සුඛෝදන-අමිතෝදන යයි පුත්‍රයෝ පස්දෙනෙක් වූහ. අමිතා-පමිතා යයි දූවරු දෙදෙනෙක් වූහ. එයින් අමිතා තොමෝ සුප්‍රබුද්ධ රජුගේ අගමෙහෙසි විය. ඈට භද්දකච්චානා කුමරියද දේවදත්ත කුමරාදැයි දරු දෙදෙනෙකි. අඤ්ජනශාක්‍ය රජුගේ දූවරු වූ මායා කුමරියත් ප්‍රජාවතී කුමරියන් ශුද්ධෝදන රජුගේ මෙහෙසියෝ වූහ. එයින් අපගේ බෝසත් සිද්ධාර්‍ථ කුමාරතෙමේ මායාදේවියගේ පුත්‍රයායි. සුප්‍රබුද්ධ රජුගේ පුත්‍ර වූ දේවදත්ත කුමරුගේ බාලසොහොයුරිය වූ භද්දකච්චානා තොමෝ බෝසතාණන්ගේ අගමෙහෙසි විය. ඈට රාහුලභද්‍ර නමැති පුත්‍රයෙක් විය.

ප්‍රථම ඔක්කාක රජු අවසන්කොට ඇති මහාසම්මතාදී වූ රජවරු දෙලක්‍ෂපණස් දෙදහස් පන්සිය අටතාළිස් දෙනෙක් වූහ. වෙස්සන්තරාදී වූ ශුද්ධෝදන රජු අවසන්කොට ඇති රජවරු අසූ දෙදහස් හයදෙනෙකි. තෙවෙනි ඔක්කාක රජු පටන් ශුද්ධෝදන රජු දක්වා රජවරු එකී ගණන හා තවත් සත්දෙනෙකුගෙන් වැඩිවෙති. ප්‍රථම ඔක්කාක රජුන් තෙවෙනි ඔක්කාක රජුත් අතරෙහි නොයෙක් දහස්ගණන් රජවරු වූහ. මහාසම්මතාදී වූද තෙවෙනි ඔක්කාකාදී වූද සියලු රජවරු තුන්ලක්‍ෂ තිස්හතර දහස් පන්සිය සැට එක් දෙනෙක් වෙත්. මෙසේ අපගේ බෝසතාණන්ගේ වංශපරම්පරාව දතයුතු.

දූරේනිදානයෙහි පරම්පරා කථාව නිමි.

කාශ්‍යප බුදුන්ගේ කාලයෙන් මෙහා අපගේ බුදුරදුන් හැර අන් බුදුවරයෙක් නූපන්නේය. දීපංකර පාද මූලයේදී කළ ප්‍රාර්‍ථනා ඇති අපගේ බෝසත්තෙමේ මෙසේ අමිශ්‍ර වූ මහාසම්මත රාජ වංශයට අයත් වූ වෙසතුරු අත්බැව්හි ඉපද සත්වරක් මහපොළොව කම්පා කරවා ජාලී-කණ්හා යන දරු දෙදෙන බමුණකුට දී පසුදා (බමුණු වෙසින් ආ) ශක්‍රයාට මද්‍රි දේවිය දීමෙන් පාරමිතාවන් කුළු ගන්වා ආයුෂ කෙළවර එයින් ච්‍යුතව තුසිත දෙව්ලොව උපණි.

දූරේනිදාන කථාවෙහි කයින් හා වචනයෙන් ප්‍රාර්‍ථනා කාලය සම්පූර්‍ණයි