දූරෙනිදාන කථාව

දැන් දූරෙනිදාන කථාව පැමිණියේයි

13. සේල - ඔභාස - ජය - රුචි යන අසංඛ්‍ය සතරෙහිද තවත් කල්පලක්‍ෂයක් තුළ ද කයින් හා වචනයෙන් ප්‍රාර්‍ථනාව විය.

සබ්බඵාල අසංඛ්‍යයාගේ අවසන්හි සතර අසංඛ්‍යයන් අතරෙන් ප්‍රථම වූ සේල අසංඛ්‍යයාගේ මුලදී මෙයින් කල්පලක්‍ෂයකට හා අසංඛ්‍ය සතරකට උඩදී එක් සාරමණ්ඩ කල්පයකදී තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නමැති බුදුවරු සිවු නමක් උපන්හ. ඒ සිවුනම අතුරෙන් තණ්හංකර බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් පෙරුම් පුරා පුප්ඵවතී නුවර ආනන්‍ද රජුගේ අගමෙහෙසිය වූ සුනන්‍දා දේවියගේ පුත්‍ර වූයේ අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස මහාභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට රුක්අත්තන බෝගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත් වී පිරිනිවියේය.

එයින් පසුකලෙක මේධංකර බෝසත්තෙමේ පෙරුම් පුරා මේඛලා නුවර සුමේධ රජුගේ අගමෙහෙසි වූ යසෝධරා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු අටදහසක් ගිහිගෙයි වැස මහාභිනිෂ්ක්‍රමණය කොට අඩමසක් ප්‍රදහනවීර්‍ය කොට එරබදු බෝගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු අනූදහසක් ජීවත්ව සිට පිරිනිවියේය.

එයින් පසුකලක සරණංකර බෝසත්තෙමේ පෙරුම් පුරා සුවිපුල්ල නුවර සුමංගල රජුගේ අගමෙහෙසි වූ ධනවතී දේවියගේ පුත්‍ර වූයේ අවුරුදු හත්දහසක් ගිහිගෙයි වැස අභිනිෂ්ක්‍රමණය කොට මසක් කල් ප්‍රදහනවීර්‍ය කොට පළොල් ගස මුල බුද්ධත්‍වයට පැමිණ අසූදහසක් අවුරුදු ජීවත්ව සිට පිරිනිවියේය. ඒ බුදුවරුන් තුන් නමගේ කාලයේදී පෙරුම් පුරා අපේ බෝසතුන්ට අංග සම්පූර්‍ණ නොවූ බැවින් විවරණ ලැබීමක් නොවීය. එබැවින් මේ තුන් නමද අතිදූරේ නිදානයෙහි දැක්වූ තුන්ලක්‍ෂ සත්අසූදහසක් බුදුවරුන්ට අධික ලෙස ගණන් ගත යුතුය.

ඉන්පසු කලෙක දීපංකර බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සොළසක් පෙරුම් පුරා රම්මවතී නුවර සුදේව රජුගේ අගමෙහෙසි වූ සුමේධා දේවියගේ පුත්‍රව අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම දසමසක් ප්‍රදහනවීර්‍ය කොට මයිල ගස මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු හත්දහසක් වැඩ සිට නන්‍දාරාමයේ දී පිරිනිවියේය. එකල අපේ බෝසත්තෙමේ අමරවතී නුවර සුමේධ නම් බ්‍රාහ්මණයෙක්ව නොයෙක් කෝටි ගණන් ධනය දන්දී හිමවතට නොදුරු ධම්මික පර්‍වතයෙහි තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා බලයන් ලැබී. හෙතෙම සාරලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවැරූ දීපංකර බුදුරදුන්ට තමා පාගාගෙන යාම සඳහා මඩගොඩෙහි යටිකුරුව හොත්තේය. එසේ පොළොවෙහි හොත් ඕහට මෙවැනි විර්‍තකයක් උපණි.

14. “මම කැමතිනම් අද මාගේ ක්ලේශයන් දැවිය හැක. අප්‍රකට වේශයෙන් නිර්‍වාණ ධර්‍මය අවබෝධ කිරීමෙන් ඇති ඵලය කිමෙක්ද? අනාගතයේදී සර්‍වඥතා ඥානයට පැමිණ බුදුවන්නෙමි. (15) තමාගේ ශක්තිය දක්නා පුරුෂයෙක් වූ මා විසින් හුදකලාව සංසාරය එතර කිරීමෙන් ඇති ඵලය කිමෙක්ද? බුද්ධත්‍වයට පැමිණ දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි. (16) සර්‍වඥයන් වහන්සේ කෙරෙහි කරන ලද මේ ගෞරවයෙන් බුද්ධත්‍වයට පැමිණෙන්නෙමි. බොහෝ ජනයා සසර සයුරෙන් එතර කරන්නෙමි. සංසාර නමැති සැඩපහර සිඳ දමා, ත්‍රිවිධභවය විනාශකොට ධර්‍ම නමැති නැවට නැග දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි” යයි.

එකල දීපංකර බුදුරද “මේ තෙමේ මෙයින් කල්පලක්‍ෂයක් හා සතර අසංඛ්‍යයක් අවෑමෙන් ගෞතම නම් බුදුරද වන්නේය”යි බෝසතුන්ට විවරණ දුනි. බෝසත්තෙමේ හිමවතට පිවිස නොපිරුහුණු ධ්‍යාන ඇතිව බඹලොව උපන්නේය.

දීපංකර බුදුරද ප්‍රථමයි

ඒ කල්පය ඉකුත් වූ පසු සේලඅසංඛෙය්‍ය නමැති එක් අසංඛ්‍යයක් විය. ඒ අසංඛ්‍යයාගේ අවසානයෙහි සාර නමැති එක් කල්පයක කොණ්ඩඤ්ඤ නමැති එක් බුදුවරයෙක් උපන්නේය. එතුමා කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා රම්මවතී නුවර සුනන්‍ද රජුගේ අගමෙහෙසි වූ සුජාතා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස රථයකින් නික්ම ගොස් දසමසක් ප්‍රදහනකොට සාලකල්‍යාණි ගසක්[1] මුල බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ආයු වලඳා චන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල අප බෝසත් තෙමේ විජිතාවී නම් සක්විති රජව චන්‍ද්‍රවතී නුවර වසයි. හෙතෙම කෝටිලක්‍ෂයක් පමණ වූ බුදුපාමොක් මහසඟනට දන් දුනි. ඉක්බිති බුදුරජ “මේ තෙමේ මෙයින් කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය තුනක් අවෑමෙන් ගෞතම නම් බුදුරද වන්නේය”යි විවරණ දී ඕහට දහම් දෙසී. හෙතෙම බුදුන්ගේ ධර්‍මකථාව අසා රාජ්‍යය පාවාදී පැවිදිව පඤ්චාභිඥාවන් උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපණි.

දෙවෙනි කොණ්ඩඤ්ඤ බුදුරදයි

ඒ කල්පය ඉක්මුණු කල්හි භාස නමැති එක් අසංඛ්‍යයක් විය. ඒ අසංඛ්‍යයාගේ අවසානයේදී එක් සාරමණ්ඩ කල්පයකදී මංගල, සුමන, රෙවත, සොභිත යන බුදුවරු සතර නමක් උපන්හ. එයින් මංගල බුදුතෙම කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා උත්තර නුවර උත්තර රජුගේ උත්තරා නමැති දේවියගේ පුත්‍රව අවුරුදු නවදහසක් ගිහිගෙයි වැස අසුපිටින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍ය කොට නා ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට වෙස්සභු උයනේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුරුචි නම් බමුණුගම සුරුචි නම් බමුණෙක්ව බුදුපාමොක් කෙළලක්‍ෂයක් රහතන් වහන්සේට මහදන් දුණි. ඒ බුදුරජ “මේ තෙමේ අනාගතයෙහි මෙයින් කල්පලක්‍ෂයක් හා දෙයාසංඛ්‍යයක් ඉක්මිකල ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි. හෙතෙමේද සස්නෙහි පැවිදිව පංචාභිඥාවන් උපදවා නොපිරිහුණු දැහැන් ඇත්තේ බඹලොව උපන්නේය.

තෙවෙනි මංගල බුදුරදයි

ඒ බුදුන් පිරිනිවි කල්හි එයින් පසුකලක අනූදහසක් වයසැති මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමයෙන් දසහවුරුද්ද දක්වා පිරිහී නැවත ක්‍රමයෙන් වැඩි අසංඛ්‍යය දක්වා ගොස් නැවත පිරිහෙමින් අනූදහසක් වයස පැමිණි කල්හි සුමන නම් බෝසත්තෙමේ පෙරුම් පුරා මේඛලා නුවර සුදත්ත රජුගේ සිරිමා දේවියට පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් ගොස් අභිනිෂ්ක්‍රමණය කොට අනූදහසක් අවුරුදු ජීවත්ව සිට අඞ්ගාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතුල නම් නාරජව නාග භවනයෙන් නික්ම බුදුපාමොක් සඟනට මහත් සත්කාර කෙළේය. සුමන බුදුරජද පෙරකී සේ ඕහට විවරණ දුණි.

සිව්වෙනි සුමන බුදුවරයායි

ඒ බුදුන් පිරිනිවි කල්හි එයින් පසුකලක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අනූදහසෙන් පිරිහී දසහවුරුදු ප්‍රමාණයට බැස නැවත අසංඛ්‍යය දක්වා නැගී නැවත පිරිහී අවුරුදු සැටදහසට පැමිණි කල රේවත නම් බෝසත්තෙමේ පෙරුම් පුරා සුධම්මවතී නුවර විපුල රජුගේ අගමෙහෙසිය වූ විපුලා දේවියගේ පුත්‍රව සයදහසක් අවුරුදු ගිහිගෙයි වාසයකොට රථයකින් නික්ම ගොස් සත්මසක් ප්‍රදහනවීර්‍ය කොට සැටදහසක් අවුරුදු ජීවත්ව සිට පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතිදේව නම් බ්‍රාහ්මණව ඒ බුදුරදුන්ගේ ගුණ වණා උතුරුසළුව පිදීය. ඒ බුදුරද “අනාගතයෙහි මෙයින් දෙයාසංඛ්‍ය කල්පලක්‍ෂයකින් මත්තෙහි මේතෙමේ ගෞතම නම් බුදුරජ වන්නේය”යි විවරණ දුණි.

පසවෙනි රේවත බුදුවරයායි

එයින් පසුකලක සෝභිත නම් බෝසත්තෙමේ කල්පලක්‍ෂයක් හා සතර අසංඛ්‍යයක් පෙරුම් පුරා සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධර්‍මා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ප්‍රසාදයෙන්ම ගොස් අභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට නාගසක් මුලදී බුද්ධත්‍වය ලැබ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සිංහාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ රම්මවතී නුවර සුජාත නම් බ්‍රාහ්මණයෙක් වී බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරජ “මේතෙමේ අනාගතයෙහි ගෞතම නම් බුදුරජ වන්නේ” යයි විවරණ දුණි.

සවෙනි සෝභිත බුදුවරයායි

ඒ කල්පය ඉක්මී ජය නමැති බුද්ධශූන්‍ය අසංඛ්‍යයක් ඉක්මගිය පසු එක්වර කල්පයෙක්හි අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු තෙනමක් උපන්හ. එයින් අනෝමදස්සී බුදුරද කල්පලක්‍ෂයක් හා සොළොස්අසංඛ්‍යයක් පෙරුම් පුරා චන්‍දවතී නුවර යසවන්ත රජුගේ දේවිය වූ යශෝධරාවගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස දෝලාවකින් නික්ම ගොස් දසමසක් ප්‍රදහනවීර්‍ය කොට කුඹුක් ගසක් මුලදී බුද්ධත්‍වය ලැබ අවුරුදු ලක්‍ෂයක් කල් වැඩ සිට ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ යක් සෙනෙවියෙක් වී අතිමනොඥ මණ්ඩපයක් මවා බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරද “මේ තෙමේ අනාගතයෙහි එක් අසංඛ්‍යයක් හා කල්පලක්‍ෂයක් ඉක්මුණු කල්හි ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි.

සත්වෙනි අනෝමදස්සී බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි කල්හි මනුෂ්‍යයෝ ක්‍රමයෙන් පිරිහී දසහවුරුදු ඇත්තෝ ද නැවත ක්‍රමයෙන් දියුණු වී අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ ඇත්තෝ ද නැවත පිරිහී අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇත්තෝ ද වූහ. එකල පදුම නම් බුදුවරයා පෙරුම් පුරා චම්පක නුවර අසම රජුගේ අසමා නම් දේවියගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස ආජානීය අසුන් යෙදූ රථයකින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍ය කොට මහාසෝණක ගස මුලදී[2] බුද්ධත්‍වය ලැබ අවුරුදු ලක්‍ෂයක් කල් වැඩ සිට ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සිංහයෙක්ව ඉපද සත්දිනක් මහවෙනෙහි නිරෝධසමවතට සමවැදී වැඩහුන් බුදුන් දැක වැඳ පැදකුණු කොට තෙවරක් නාදකොට බුදුරදුන්ට උපස්ථාන කළේය. ඒ බුදුරජ ද “අනාගතයෙහි ගෞතම නම් බුදුරජ වන්නේය”යි විවරණ දුණි.

අටවෙනි පදුම බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි පසු යටකී ක්‍රමයෙන් මිනිසුන්ට අනූදහසක් අවුරුදු ආයුෂ ඇතිකල්හි නාරද නම් බුදුරජ අසංඛ්‍ය සතරක් හා කල්පලක්‍ෂයක් පෙරුම් පුරා ධඤ්ඤවතී නුවර සුදේව රජුගේ අනෝමා දේවියට පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස පයින් නික්ම ගොස් සත්දිනක් ප්‍රදහනවීර්‍ය කොට මහාසෝණක ගසක්[3] මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු වැඩ හිඳ සුදස්සන නුවර ධර්‍මාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ තවුස් පැවිද්දෙන් පැවිදිව පිරිවර සහිත බුදුන්ට මහදන් දී රත්සඳුන්වලින් පිදීය. ඒ බුදුරජද “අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේය”යි විවරණ දුණි.

නවවෙනි නාරද බුදුරජයි

ඒ කල්පය ඉක්මි කල්හි රුචි නමැති එක් බුද්ධශූන්‍ය අසංඛ්‍යයක් විය. තණ්හංකර-කොණ්ඩඤ්ඤ-මංගල-අනොමදස්සි ආදි බුදුවරු යම් කල්පවල උපන්නාහු නම් ඒ කල්පයෝ සේල-භාස-ජය-රුචි යන අසංඛ්‍යයන්හි ඇතුළත් නොවෙති. නමුත් ඒවා අතරේ පිහිටි බැවින් ඒ අසංඛ්‍ය සතර විසින් සංග්‍රහ කරනු ලැබේ. එබැවින් ඒ අසංඛ්‍ය සතරේදී බුදුවරු දොළොස් නමක් උපන්නාහයි දතයුතු. රුචිඅසංඛ්‍යය ඉක්මගිය පසු මෙයින් කල්පලක්‍ෂයකට පෙර එක් සාරකල්පයෙක්හි පදුමුත්තර නමැති එක් බුදුවරයෙක් පහළ විය. හෙතෙම පෙරුම් පුරා හංසවතී නුවර සුනන්‍ද රජුගේ සුජාතා දේවියගේ පුත්‍රව ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස ප්‍රසාදයෙන්ම අභිනිෂ්ක්‍රමණය කොට සලල බෝමුලදී[4] බුද්ධත්‍වය ලබා අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට නන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ ජටිල නමැති මහරැටියෙක්ව බුදුපාමොක් සඟනට වස්ත්‍ර සහිත මහදන් දුණි. ඒ බුදුරජද “මේතෙමේ අනාගතයෙහි කල්පලක්‍ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදුරද වන්නේ යයි විවරණ දුණි. මේ කල්පය සාර කල්පයක් වුවත් ගුණ සම්පත්තියෙන් මණ්ඩ කල්පයකට සමාන බැවින් පාළියෙහි මණ්ඩ කල්ප යයි කියන ලදී.

දසවෙනි පදුමුත්තර බුදුරජයි

ඉන්පසු කල්ප සැටනව දහසක් මුළුල්ලේ බුදුවරු නූපන්හ. මෙයින් කල්ප තිස්දහසකට උඩදී එක් මණ්ඩ කල්පයක සුමේධ-සුජාත යන බුදුවරු දෙනමක් උපන්හ. එයින් සුමේධ බුදුරජ පෙරුම් පුරා සුදස්සන නුවර සුදත්ත රජුගේ සුදත්තා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්මගොස් අඩමසක් ප්‍රදහනවීර්‍යකොට කොසඹ ගසක්[5] මුලදී බුද්ධත්‍වයට පැමිණ අනූදහසක් අවුරුදු ජීවත්ව සිට මේධාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ උත්තර නම් මාණවකයෙක්ව අසූකෙළක් ධනය පරිත්‍යාග කොට බුදුපාමොක් සඟනට මහදන් දුණි. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් තිස්දහසක් කල්පයන් ගතවූ පසු බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

එකොළොස්වෙනි සුමේධ බුදුරජයි

ඒ මණ්ඩ කල්පයෙහිම පෙර කී සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අනූදහසක් වූ කල්හි සුජාත බුදුරද පෙරුම් පුරා සුමංගල නුවර උග්ගත රජුගේ ප්‍රභාවතී දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්ව යානයකින් නික්ම ගොස් නවමසක් ප්‍රදහනවීර්‍යකොට මහඋණ ගසක් මුලදී බුද්ධත්‍වය ලබා අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සීතාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සක්විති රජෙක්ව බුදුපාමොක් සඟනට සප්ත රත්නයන් සමග සිවු දිවයිනට අයත් රාජ්‍යය පුදා පැවිදි විය.

දොළොස්වෙනි සුජාත බුදුරජයි

එයින් පසුව මේ කල්පයෙන් කල්ප එක්දහස් අටසියයකට මත්තෙහිදී එක් වර කල්පයකදී පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන බුදුවරු තුන්නමක් උපන්හ. එයින් පියදස්සී බුදුරද පෙරුම් පුරා සුධඤ්ඤ නුවර සුදත්ත රජුගේ චන්‍ද්‍රවතී දේවියගේ පුත්‍රව ඉපිද නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස රථයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට කුඹුක් ගසක් මුලදී බුදුව අනූදහසක් අවුරුදු ජීවත්ව සිට අස්සත්‍ථාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ කාශ්‍යප නම් බ්‍රාහ්මණයෙක්ව කෝටිලක්‍ෂයක් ධනයෙන් සංඝාරාමයක් කරවා බුදුන්ට පිදී. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් කල්ප එක්දහස් අටසියයකින් මත්තෙහි බුදු වන්නේය”යි ප්‍රකාශ කෙළේය. “අට්ඨාරසෙ කප්පසතෙ” යන්නේ තේරුම නම් අටසියයක් අධිකකොට ඇති කල්ප දහසකගේ අවෑමෙන්ය යන අර්‍ථ ඇත්තේය”යි බුද්ධවංස අටුවාවෙහි කියන ලදී. “අට්ඨාරසන්තං කප්පසහස්සානං උපරි” යන මෙයින් සුජාත-පියදස්සී යන බුදුවරුන් දෙනමගේ අතරෙහි එකක් අඩු දොළොස්දහසක් කල්පයෝ බුද්ධශූන්‍ය වූවාහයි දක්වන්නේය”යි ටීකාවෙහි කියන ලදී. චරියාපිටක අටුවාවෙහි වනාහි සුජාත-පියදස්සී යන බුදුවරුන් දෙනමගේ අතරෙහි කල්ප විසිනවදහසක්ද අටසිය දොළසක්ද වෙති”යි කී බැවින් “අට්ඨාරසාධිකෙ කප්පසතෙ” යන්න යුතුමය.

තෙළෙස්වෙනි පියදස්සේ බුදුරදයි

ඒ බුදුන් පිරිනිවි කල්හි ක්‍රමයෙන් වැඩෙන ආයුෂය පිරිහී නැවත අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ඇති කල්හි අත්‍ථදස්සී බුදුරජ පෙරුම් පුරා සොභන නුවර සාගර රජුගේ සුදර්‍ශනා දේවියගේ පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්ව යානයෙන් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍යකොට සපු ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට අනෝමාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුසීම නම් ජටිලයෙක්ව දෙව්ලොවින් මදාරා මල් හා පරසතු මල් ගෙනැවිත් බුදුන්ට පිදීය. ඒ බුදුරජ “මේ තෙමේ මෙයින් අටළොස් කල්පයකින් මත්තෙහි බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

තුදුස්වෙනි අත්‍ථදස්සී බුදුරජයි

ඒ බුදුන් පිරිනි වී අන්තඃකල්පය ඉක්මි කල්හි සත්ත්‍වයන්ගේ ආයුෂය ප්‍රමාණරහිත-තත්ත්‍වයට පැමිණ නැවත පිරිහී අවුරුදු ලක්‍ෂයේ වයසට පැමිණි කල්හි ධම්මදස්සී බුදුරද ලෝකයෙහි උපණි. හෙතෙම පෙරුම් පුරා සරණ නුවර සරණ රජුගේ සුනන්‍දා දේවියට පුත්‍රව අවුරුදු අටදහසක් ගිහිගෙයි වැස සුදර්‍ශන ප්‍රාසාදයෙන් නික්මී සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට බිම්බල ගස මුලදී[6] බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට කේසාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත් සක්දෙව්රජ වී දිව්‍යමය පූජාවෙන් බුදුන් පිදී. ඒ බුදුරජ “මේතෙමේ මෙයින් කල්පඅටළොස් සියයක් ඉක්මිකල බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

පසළොස්වෙනි ධම්මදස්සී බුදුරජයි

ඒ කල්පය අවෑමෙන් මෙයින් කල්ප අනූසතරකට පෙර එක් සාරකල්පයකදී සිද්ධත්‍ථ නමැති එක් බුදුවරයෙක් උපණි. හෙතෙම පෙරුම් පුරා වේහාර නුවර උදේන රජුගේ සුඵස්සා නම් දේවියට පුත්‍රව දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස රන්සිවි ගෙයකින් ගොස් දසමසක් ප්‍රදහනවීර්‍යකොට කිණිහිරි ගසක් මුලදී බුද්ධත්‍වයට පැමිණ අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට අනෝමාරාමයේදී අපවත් විය. එකල බෝසත්තෙමේ මංගල නම් තවුසෙක් වූයේ මහදඹ ගසින් දඹ ගෙනවුත් බුදුන්ට දුණි. ඒ බුදුරද “මේ තෙමේ මෙයින් සිවු අනූකපකට පසුව බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

සොළොස්වෙනි සිද්ධත්‍ථ බුදුරජයි

එයින් පසු එක් කල්පයක් බුද්ධශූන්‍ය විය. මෙයින් දෙයානූකපකට පෙර තිස්ස, ඵුස්ස යන බුදුවරු දෙනමක් එකම මණ්ඩ කල්පයකදී උපන්හ. එයින් තිස්ස බුදුරද පෙරුම් පුරා ඛේම නුවර ජනසන්‍ධ රජුගේ පදුම දේවියට පුත්‍රව සත්දහසක් අවුරුදු ගිහිගෙයි වැස අශ්වයකු පිටින් ගොස් පැවිදිව අටමසක් ප්‍රදහනවීර්‍යකොට පියා ගසක් මුලදී බුදුව අවුරුදු ලක්‍ෂයක් ජීවත්ව සිට නන්‍දාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ සුජාත නම් රජව රාජ්‍යය හැර තවුස් පැවිද්දෙන් පැවිදිව දිව්‍යමය මල් ගෙනවුත් බුදුන් පිදී. ඒ බුදුරද “මේතෙමේ මෙයින් දෙයානූවන කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

සතළොස්වෙනි තිස්ස බුදුවරයායි

ඉන්පසුකලක ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී දෙවෙනි වර පිරිහෙමින් අනූදහසක් අවුරුදු ආයුෂ ඇති කල පැමිණි විට ඵුස්ස බුදුරද පෙරුම් පුරා කාසි නුවර ජනසේන රජුගේ[7] සිරිමා දේවියගේ පුත්‍රව නවදහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට නෙල්ලි ගසක් මුලදී බුදුව අනූදහසක් අවුරුදු ජීවත්ව සිට සේනාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ විජිතාවී නම් රජෙක්ව මහා රාජ්‍යය හැරදමා පැවිදි විය. ඒ බුදුරද “මේතෙමේ මෙයින් දෙයානූවෙනි කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කළේය.

අටළොස්වෙනි ඵුස්ස බුදුවරයායි

ඒ කල්පය ඉක්මි කල්හි මෙයින් එක්අනූකල්පයකට මත්තෙහි එක් සාරකල්පයකදී විපස්සී බුදුරජ පෙරුම් පුරා බන්‍ධුමතී නුවර බන්‍ධුමත් රජුගේ බන්‍ධුමතී දේවියගේ පුත්‍රව ඉපද අටදහසක් අවුරුදු ගිහිගෙයි වැස ආජානීය අශ්ව රථයකින් නික්ම අටමසක් ප්‍රදහනවීර්‍යකොට පළොල් ගසක් මුලදී බුදුව අසූදහසක් අවුරුදු ජීවත්ව සිට සුමිත්තාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අතුල නම් නාරජව දිව්‍යතූර්‍ය නාදයෙන් බුදුන් පිදී. ඒ බුදුරජ “මේ තෙමේ මෙයින් එකානූවන කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

එකුන්විසිවෙනි විපස්සී බුදුවරයායි

ඉන්පසු මෙයින් එක්තිස්වෙනි කල්පයේදී එක් මණ්ඩ කල්පයකදී සිඛී-වෙස්සභු යන බුදුවරු දෙනමක් උපන්හ. එයින් සිඛී බුදුරද පෙරුම් පුරා අරුණවතී නුවර අරුණවත් රජුගේ ප්‍රභාවතී දේවියට පුත්‍රව සත්දහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම අටමසක් ප්‍රදහනවීර්‍යකොට ඇටඹ බෝමුලදී බුදුව සැත්තෑ දහසක් අවුරුදු ජීවත්ව සිට දුස්සාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ අරින්‍දම නම් රජව බුදුපාමොක් සඟනට බොහෝ උතුම් වස්ත්‍රද සැරසූ ඇත් යානයක්ද දුණි. ඒ බුදුරජද “මෙයින් එක්තිස්වෙනි කල්පයේදී මේ තෙමේ බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

විසිවෙනි සිඛී බුදුවරයායි

ඉන්පසුකලක ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ පිරිහී නැවත වැඩී නැවත පිරිහෙමින් ගොස් සැටදහසක් අවුරුදු ආයු ඇති කල්හි වෙස්සභු බුදුරද පෙරුම් පුරා අනෝම නුවර පුප්ඵවතික රජුගේ යසවතී දේවියට පුත්‍රව හයදහසක් අවුරුදු ගිහිගෙයි වැස රන්සිවිගෙයකින් නික්ම ගොස් සයමසක් ප්‍රදහනවීර්‍යකොට සල් ගසක් මුලදී බුදුව සැටදහසක් අවුරුදු ජීවත්ව සිට ඛෙමාරාමයේදී පිරිනිවියේය. ඒ බුදුවරයාද මේ තෙමේ මෙයින් එක්තිස්වෙනි කල්පයේදී බුදුවන්නේය”යි ප්‍රකාශ කෙළේය.

එක්විසිවෙනි වෙස්සභු බුදුවරයායි

ඉන්පසු කල්ප විසිනවයක් මුළුල්ලේ බුදුවරු නූපන්හ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ-කෝණාගමන-කස්සප යන තුන් නමය අපගේ බුදුරද යයි බුදුවරු සිවුනමක් උපන්හ. අනාගතයේදී අසූදහසක් අවුරුදු ආයුෂ ඇති කල්හි මෙත්තෙය්‍ය බුදුරජ උපදින්නේය. එයින් කකුසඳ බුදුරජ පාරමිතාවන් පුරා ඛෙමවතී නුවර ඛෙම රජුට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන අග්ගිදත්ත නමැති පුරෝහිත බමුණාගේ භාර්‍යා වූ විසාඛා බැමිණියගේ පුත්‍රව ඉපද අවුරුදු හාරදහසක් ගිහිගෙයි වැස අශ්ව රථයකින් නික්ම ගොස් අටමසක් ප්‍රදහනවීර්‍යකොට මහරි ගසක් මුලදී බුදුව සතළිස් දහසක් අවුරුදු ජීවත්ව සිට ඛෙමාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත්තෙමේ ඛෙම නම් රජව බුදුරදුන්ට බොහෝ දන් දුණි. ඒ බුදුරජ “මේ තෙමේ මේ භද්‍ර කල්පයේදී බුදුවන්නේය”යි විවරණ දුණි.

දෙවිසිවෙනි කකුසඳ බුදුවරයායි

එයින් පසුකලක යට කී ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ තිස්දහස් හවුරුදු වූ කල්හි කෝණාගමන බුදුරජ පෙරුම් පුරා සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ බිරිය වූ උත්තරා බැමිණියගේ පුත්‍රව තුන්දහසක් අවුරුදු ගිහිගෙයි වැස ඇත් යානයකින් නික්ම හයමසක් ප්‍රදහනවීර්‍යකොට දිඹුල් ගසක් මුලදී බුදුව තිස්දහසක් අවුරුදු ජීවත්ව සිට පර්‍වතාරාමයේදී පිරිනිවියේය. එකල බෝසත් පර්‍වත නම් රජව බුදුපාමොක් සඟනට-කෝසෙය්‍ය-කම්බල ආදි වස්ත්‍ර දන් දුණි. ඒ බුදුරජද පෙර කී සේ විවරණ දුණි.

තෙවිසිවෙනි කෝණාගමන බුදුවරයායි

එයින් පසුකලක යටකී ලෙසින් මිනිසුන්ගේ වයස අවුරුදු විසිදහසක් වූ කල්හි කාශ්‍යප බුදුරජ පෙරුම් පුරා බරණැස් නුවර බ්‍රහ්මදත්ත බමුණාගේ භාර්‍යාවූ ධනවතී බැමිණියගේ පුත්‍රව අවුරුදු දෙදහසක් ගිහිගෙයි වැස ප්‍රසාදයෙන් නික්ම ගොස් සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට නුග ගසක් මුලදී බුද්ධත්‍වය ලැබ විසිදහසක් අවුරුදු වැඩ සිට කසීරට සේතව්‍ය නුවර සේතව්‍ය උයනේදී පිරිනිවියේය. එකල බෝසත් ජෝතිපාල නම් තරුණයෙක්ව සිට පැවිදි වී බුදුසසුන හෙබවී. ඒ බුදුරජද යටකී ලෙසින් විවරණ දුණි.

සූවිසිවෙනි කාශ්‍යප බුදුරජයි

ඒ බුදුන් පිරිනිවි කල්හි ඒ ආයුෂය දසහවුරුදු කාලයට පැමිණ නැවත වැඩෙමින් අසංඛ්‍යය වී නැවත පිරිහී ගොස් සියක් අවුරුදු කාලයට පැමිණියේය. එවිට බෝසත් තෙමේ

19. මනුෂ්‍ය බවය, පුරුෂ බවය, පෙර කළ පින් ඇති බවය, බුදුවරයකු දැකීමය, පැවිදි වීමය, ධ්‍යානලාභාදී ගුණයන්ගෙන් යුක්ත වීමය, ජීවිත පරිත්‍යාගය, මහත් වීර්‍ය ඇතිබවය යන ධර්‍ම අට එක්වීමෙන් ප්‍රාර්‍ථනාව සමෘද්ධ වන්නේයයි කී බැවින් මේ ධර්‍ම අට එක්රැස්කොට දීපංකරාදී සූවිසි බුදුවරුන්ගේ සමීපයෙහි විවරණ ලැබී. ඒ විවරණ ලැබ කළ ප්‍රාර්‍ථනා ඇති බෝසත්තෙමේ:

20. “මෙසේ අංග අටකින් යුක්ත වූ බුදුවීමට නියත වූ පුද්ගලයෝ කල්පකෝටි සියගණනිනුත් දීර්‍ඝ වූ කාලයක් සසර ඇවිදින්නාහු (21) අවීචියෙහි නූපදිති, ලොකාන්තරික නරකයන්හි නූපදිති, නිජ්ඣාමතණ්හික ප්‍රේතයෝද ඛුප්පිපාසික ප්‍රේතයෝද කාලකඤ්ජක ප්‍රේතයෝද නොවෙත්. (22) දුගතියෙහි උපදින්නාහුද කුඩා සත්ත්‍වයෝ නොවෙත්. මිනිස්ලොව උපදිනාහු ජාත්‍යන්‍ධයෝ නොවෙත්, (23) බිහිරෝ නොවෙති, ගොළුවෝ නොවෙති, ස්ත්‍රීහු නොවෙති, උභතොව්‍යඤ්ජනකයෝ හෝ නපුංසකයෝ නොවෙති. (24) මව මැරීම ආදි ආනන්තරික කර්‍මවලින් මිදුණාහු වෙති; හැමතැන පිරිසිදු පැවතුම් ඇත්තාහු වෙති. මිසදිටු නොගෙන කර්‍මවාදී - ක්‍රියවාදීහු වෙති. (25) දේව ලෝකයන්හි වසතත් අසඤ්ඤසත්ත භවයෙහි නූපදිති. ශුද්ධාවාස දෙවියන් කෙරෙහි ඉපදීමට හේතුවක් නැත. (26) කාමයන්හි අනාශක්ත වීමේ ස්වභාව ඇති සත්පුරුෂයෝ කුඩා මහත් භවයන්හි නොඇලුණාහු වෙති. හැම පාරමිතාවන් පුරමින් ලෝකාර්‍ථ චර්‍ය්‍යායෙහි හැසිරෙති”යි කී මේ ආනිසංසයන් අනුභවකොට කල්පලක්‍ෂයක් හා අසංඛ්‍ය සතරක් කල් ආවේයයි දතයුතු.

දුරෙනිදානයෙහි විවරණ ලැබූ කාලය නිමියේයි

අනු මාතෘකා
keyboard_arrow_rightපරම්පරා කථාව
  1. පූජාවලිය “සල්සිරිබෝ”

  2. ස.රත්නාවලිය. “හුණගස”

  3. ස.රත්නාවලිය. “මුරුතගස”

  4. හොරගසයි

  5. ස.රත්නාවලිය. “බක්මීගස”

  6. රත්තකූරදීක නමැති “රත්කරව්” ගස මුලදී යයි බුද්ධවංසයෙහි කියන ලදී.

  7. බුද්ධවංසයෙහි “ජයසේන” යයි පෙනේ.