අතිදූරෙ නිදාන

star_outline

දැන් අතිදූරෙ නිදාන කථාවයි.

12. සබ්බභද්‍ර අසංඛ්‍යය, සබ්බඵුල්ලය, රතනය, උසභක්‍ඛන්‍ධකය, මාණිභද්‍රය, පදුමය, උසභය, ඛන්‍ධුත්තමය, සබ්බඵාල අසංඛ්‍යය නවවෙනි යයි කියනු ලැබේ.

පුණ්ඩරීක අසංඛ්‍යයට අනතුරු වූ සබ්බභද්‍ර අසංඛ්‍යයෙහි අපේ බෝසත්තෙමේ බඹලොවින් ච්‍යුතව බුදුවරුන් සිවුනමක් උපදනා එක් සාරමණ්ඩ කල්පයෙක්හි ධඤ්ඤවතී නුවර රජකුලයෙහි උපණි. පසුකලක සක්විතිවත් පුරා සක්විති රජෙක් විය. ඒ ධාර්මික රජ සිවු දිසාවන්හි හැම රජුන් ජයගෙන ස්ථීරභාවයට පත් ජනපද ඇත්තේ චක්‍රරත්නාදී රත්න සතෙන් යුක්ත වූයේ මූද කෙළවරකොට ඇති මේ පොළොව දඬුවම් දීම් නොමැතිව, ආයුධ පාවිච්චියක් නැතිව ධර්‍මයෙන් ජයගෙන මනාසේ වසමින් සක්විතිරජ අනුභව කළේය. එකල පුරාණශාක්‍යමුණි බුදුරද කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් කල් පෙරුම් පුරා ලොව පහළ විය.

හෙතෙම පන්දහසක් හවුරුදු ගිහිගෙයි වැස සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය කොට අඩමසක් ප්‍රදහනවීර්‍යකොට බුදුබවට පැමිණියේය. එකල ඒ බුදුරද දම්සක් පැවැත්විය. ඒ ධර්‍මානුභාවයෙන් මහපොළොව කම්පාවෙනවිට රජුගේ සක්රුවන ද කම්පිත විය. රජතෙම එය කම්පා වීමට හේතුව නිමිති දන්නන්ගෙන් විචාළේය. ඔවුහු “මහරජ, බුදුන්ගේ අනුහසින් සක්රුවන කම්පිත විය; එයින් ඔබට අනතුරක් නැතැ”යි කීහ. රජතෙම ඔවුන් කී නානාවිධ බුදුගුණ අසා පස්වැදෑරුම් ප්‍රීතියෙන් පිරුණු ශරීර ඇත්තේ “දැන් බුදුරද කොහිදැ”යි ඔවුන්ගෙන් විචාළේය. “දැන් ඒ බුදුරද මේ ධඤ්ඤවතී නුවර ආශ්‍රයකොට මිගාචීර උයනෙහි වසන්නේය”යි කී විට මහත් සක්විති සිරියෙන් දොළොස් යොදුනක් පැතිර සිටිනා සේනාව සමග නික්ම මිගාචීර උයනට පිවිස සැරසූ බුද්ධාසනයෙහි වැඩහුන් බුදුරදුන් දැක උන්වහන්සේගේ පා දෙක සමීපයෙහි වැටී අනෝපම බුද්ධශ්‍රීය බලා නොයෙක් අයුරින් බුදුගුණ වණා “අනාගතයේදී මේ ශාක්‍යමුනි ගෞතමයන් වහන්සේ මෙන් මමත් බුදුවී සත්ත්‍වයන්ට නිවන් අවබෝධ කරවන්නෙමි, සසරින් මිදුනේ සත්ත්‍වයන් සසරින් මුදවන්නෙමි, සසරින් එතර වූයේ සත්ත්‍වයන් සසරින් එතර කරන්නෙමි”යි සිතා බුදුන් ප්‍රමුඛ සංඝයාට හැමදෙයින් දහස බැගින් දානයක් දී “යම්සේ ඔබ දැන් ගෞතම නම් වෙත්ද, එසේ මමත් අනාගතයේදී ගෞතම නම් බුදුවන්නෙමි”යි වචනයෙන් ප්‍රාර්‍ථනා කළේය. එයසා බුදුරද අනාගතංසඤාණය මෙහෙයවා “මේ සක්විති රජ අනාගතේදී කල්පලක්‍ෂයක් හා තෙළෙස් අසංඛ්‍යයක් ඉක්මවා බුදුවරුන් පස්නමක් උපදනා භද්‍රකල්පයෙක්හි ගෞතම නම් බුදුවරයෙක් වන්නේය”යි දැක “මහරජ, බුද්ධකාරක ධර්‍මයන් පුරව”යි කීය. මේ ආත්මයේදී බුදුන් දැකීම ඇතත් පැවිදිවීම ආදි අංග නොපිරුණි; එබැවින් පුරාණශාක්‍යමුනි ගෞතම බුදුන් සමීපයෙන් විවරණ නොලැබී.

එයසා බෝසත්තෙමේ හෙට බුදුවන්නාක් මෙන් සතුටට පැමිණියේ සක්විති රාජ්‍ය සම්පත් හැර බුදු සස්නෙහි පැවිදිව ජීවිතාවසානයෙහි බඹලොව උපන්නේය. ඒ සබ්බභද්‍ර අසංඛ්‍යයෙහිම අන්‍ය වූ එකුන්පණස් දහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු වූ සබ්බඵුල්ල අසංඛ්‍යයෙහි සැටදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ සබ්බරතන අසංඛ්‍යයෙහි සැත්තෑදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ උසභක්‍ඛන්‍ධ අසංඛ්‍යයෙහි අසූදහසක් බුදුවරුද, ඊටඅනතුරු වූ මාණිභද්‍ර අසංඛ්‍යයෙහි අනූදහසක් බුදුවරුද, පදුම අසංඛ්‍යයෙහි විසිදහසක් බුදුවරුද, උසභ අසංඛ්‍යයෙහි පන්දහසක් බුදුවරුද, සබ්බඵාල අසංඛ්‍යයෙහි දෙදහසක් බුදුවරුද උපන්හ. ඒ බුදුවරුන් සමීපයෙහිදීත් වචනයෙන් ප්‍රාර්‍ථනාව සිදුවිය. මෙසේ නව අසංඛ්‍යයක් තුළ අපේ බෝසත්තෙම තුන්ලක්‍ෂ සත්සැත්තෑදහසක් පුරාණශාක්‍යමුනි ආදි බුදුවරුන් සමීපයෙහි සත්කාරකොට වචනයෙන් ප්‍රාර්‍ථනාව කළේය. මෙසේ අතිදූරෙනිදාන කථාවෙහි වාක්ප්‍රණිදහන කාලය පිරුණේයි.

වාක්භෙද කථාවයි