ඉන්පසු රජතුමා දේවිය සමග නවම්මස පුරපස්වෙනිදා වූ බදාදා දීඝාය්වීසාරාමයේ මහසෑයේ ධාතු නිධානය කෙළේය. ඉන්පසු අධිරාජතෙමේ ශක වර්‍ෂයෙන් අටසිය එක්අසූවෙනි ශශ වර්‍ෂයේ වෙසක්මස තමාට අයත් වූ බදාදා මධ්‍යාහ්න කාලයෙහි රත්තවන විහාරයේ මහලැගුම් ගෙය සඳහා ලී දඬු සම්පාදනය කරවිය. අටවක්දා සිංහල වංශික සංඝතෙමේ උපසම්පදාව කෙළේය. සිංහල සංඝයාගේ උපසම්පදා වාර තුනක් මුලසිටම පැවතියේය. එයින් එක් එක් වාරයක කොටස් දෙකක් ද උපසම්පදා පේක්‍ෂකයෝ සූවිසි දෙනෙක් ද වූහ. මේ වර්‍ෂයේදී වාර සතරක් වූහ. එයින් එක් එක් කොටසෙහි වර්‍ග එකක් ද අපේක්‍ෂකයෝ දොළොස් දෙනෙක් ද වූහ. සියල්ලෝ තුන්සිය දෙනෙක් වෙති. ඒ උපසම්පදා කර්‍මය තුදුස්වක්දා නිමකළහ. පොසොන්මස පුරඅටවක්දා පටන් පසළොස්වක දක්වා අධිරාජ තෙමේ නුවරුන්ද සාමන්ත රජුන්ගේ දූතානුදූතයන් ද සමග සිංහල පිළිමය නාවා මහපිරිවෙන කරවීම පිණිස නොයෙක් දහස් ගණන් රන්මිල පරිත්‍යාගකොට තමා ලියවූ මහාවෙස්සන්තර නිදානය හා මහාවෙස්සන්තර නමැති දහම් කොටස ඇසුවේය. ඉන්පසු පළමු ඇසළමස පුරපස සයවෙනිදා පුසේ නැකත නමැති සිද්ධියෝග ඇති බෘහස්පතින්දා පුෂ්පාරාමයෙහි මහාවිහාරයක් ගොඩනැංවිය. දෙවෙනි ඇසළමස පුර අටවක්දා පටන් පසළොස්වක දක්වා රජද රාජ මාතාවද භටසේනා හා සාමන්ත රජුන්ගේ දූතානුදූතයන් සමග හරිපුඤ්ජය මහාධාතු චෛත්‍යයට රන්තහඩු කරවීම සඳහා රිදී ප්‍රාකාරයකින් වටකොට බුද්ධවංශ ධර්‍මය ඇසූහ. පසළොස්වක්දා ලෝකඩ ප්‍රාකාරයකින් වටකරන ලදී.
ඉල්මස පුරපස්වෙනිදා වූ බෘහස්පතින්දා කුම්භාමදිපාරාමයේ මහආසනයෙහි තිස්දහසක් බරැති මහාලෝහ ප්‍රතිමාව නැංවිය. උඳුවප්මස පුරඑකොළොස්වක්දා වූ සිකුරාදා නබ්බිසි නුවර ගිනිකොණ දෙසෙහි වූ වේළුවන විහාරයෙහි මහාසෑයේ ධාතු නිධානය කරවිය. තෙළෙස්වක්ලත් බදාදා උදය රාජමන්‍දිරය අසළ ප්‍රාකාර සහිත ප්‍රාසාද සතරක් ගොඩනැංවිය. තුදුවක්ලත් ගුරු දින මධ්‍යාහ්න කාලයේදී රත්තවන මහාවිහාරයේ පරණ පෝයගෙය සංස්කරණය කරවිය.
ඉන්පසු රජතෙමේ ශක වර්‍ෂයෙන් අටසිය දෙයාසූවෙනි මහෝරග වර්‍ෂයේ බක්මසපුර දොළොස්වක්ලත් සිකුරාදා පූර්‍වඵාල්ගුණී යෝගය ඇති කල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවිය. රජතෙම මවුදේවිය සමග ඇසළ මස තෙවෙනි දා වූ ඉරිදා මධ්‍යාහ්න කාලයේදී දීඝාය්වීසාරාමයෙහි මහසෑයේ කොත් පැලඳවීම කරවිය. දසවක්ලත් ඉරිදා රත්තවන මහාවිහාරයේ පුස්තකාලයේ පරණ දැව දඬු (ඉවත් කරවා) ප්‍රතිසංස්කරණයක් කරවිය. අවඑකොළොස්වක් ලත් අඟහරුවාදා මහාචන්‍දන ප්‍රතිමාව කරවීමට ආරම්භ කරවිය. දුරුතුපුර තෙළෙවක්දා රජගෙයි මංගල සූත්‍රය දේශනා කරවිය. එය පසළොස්වක්දා නිමියේය.
අවදියවකලත් අඟහරුවාදා පුසේ නැකත ඇති කල්හි බ්‍රාහ්මණාචාර්‍ය පුරෝහිතයාගේ රජුට ශාන්තිකර්‍ම (?) කළාහුය. ඔවුහු නවම් මස අවතියවකලත් සිකුරාදා උත්තරඵාල්ගුණී යෝගය ඇතිකල අභිෂේක කළහ. එය තෙවෙනි අභිෂේකයයි. අභිෂේක ලැබූ රජ එදිනම තුන් ගණයේ භික්‍ෂූන් පන්සිය නමකට කෝසෙය්‍ය-චම්පා-චන්‍ද්‍ර වස්ත්‍රවලින් මැහූ සිවුරු දන් දුණි. මැදින්මස පුරදසවක්ලත් සිකුරාදා ලක්‍ඛපුරාගම විහාරයේ මහසෑයට අත්තිවාරම් කැප්පවිය. සාරවා බක්මස පුරදසවක්ලත් ඉරිදා අත්තිවාරම් බැන්දවිය. එය සරසින් බඹ අටහමාරකි, උසින් බඹ තුදුසක් හා භාගයකි.
ඒ වර්‍ෂයේදී බිංගසේනාතොමෝ රත්තවන විහාරයේදී තුන්පිටකය ලියෙව්වේය. ඉන්පසු රජතෙම ශක වර්‍ෂයෙන් අටසිය අසූතුන්වෙනි ශශ වර්‍ෂයේ බක්අවදසවක්ලත් සඳුදා ශ්‍රාවණ යෝගය ඇති කළ සිංහල වංශිකයන්ගේ උපසම්පදාව කෙරෙව්වේය. සංඝතෙමේ එදවස පටන් තුදුස්වක් පෝය දක්වා එය කොට නිම කෙළේය. දෙසිය සූවිසි දෙනෙකුට වැඩි උපසම්පදාපේක්‍ෂකයෝ වූහ. ඉන්පසු රජ ද රාජ දේවිය ද නැන්දා වන දේවිය ද රාජගුරු තෙරුන් ප්‍රමුඛ තුන් ගණයේ භික්‍ෂූන් ද සමග නිකිණි මස පුරතෙළෙස්වක් ලත් බුද දින චන්‍ද්‍රයා පූර්‍වාෂාඪයෙහි යෙදී සිටියදී ලක්‍ඛපුරාරාමයේ මහසෑයෙහි ධාතු නිධානය කරවිය. මුත්තණු රජුගේ කාලයේ පටන් පැවති පුරාණ විනිශ්චයශාලාව අභිවෘද්ධිකාරණයකැයි රජතෙම සිතීය. එබැවින් එය සංස්කරණය කරවා රජ මිදුලේ බටහිර පැත්තේ නෘත්‍ය මණ්ඩලයක් (සඳහා ආරම්භයක් කරවිය)[1] පිහිටෙව්වේය. ඒ ධාතු නිධානය කළ දවසේදීම රජතුමා රාජගුරු තෙරුන් ප්‍රධාන මහතෙරවරුන්ට අරාධනාකොට ඒ රංග මණ්ඩපයෙහි පිරිත් කියෙව්වේය. එය පෝය දිනයේදී අවසන් විය. තමාගේ අභිරමණය පිණිස රජු කැණවූ මගුල් පොකුණ ඉවුරෙහි රාජගුරු තෙරුන් ප්‍රධාන විසිඅටනමක් හිඳුවා බක්පුර පසළොස්වක්ලත් ඉරු දින උදෑසන පිරිත් කියෙව්වේය. එදිනම මංගල භුත්තානුමෝදනාව අවසන්හි රාජගුරු මහතෙරුන්ට කැප බඩු ගැනීම සඳහා නුවර (අයබදු) අත්හැරියේය. රජතෙමේ නවම්මස පුර අටවක්දා පටන් පසළොස්වක්දා දක්වා නොයෙක් විසිතුරු තලි පහන් වශයෙන් ගෙන දැල්වීමෙන් හරිපුඤ්ජය මහාධාතු සෑය පිදී. ඒ විසිතුරු තලි විකුණා ඒ මුදල චෛත්‍යයේ රන්තහඩු ඇල්ලීම සඳහා යෙදවිය. (139-140) මේ වර්‍ෂයේ නවම්මස අවතුදුස්වක්ලත් ඉරිදා ග්‍රහයෝ සත්දෙනෙක් මකර රාශියෙහි එක්වූහ. රවි-චන්‍ද්‍ර-බුධ-ගුරු-ශුක්‍ර-ශනි-අඟහරු යන මේ සත්දෙන මකරයෙහි වූහ. මීනයෙහි රාහු විය.
මැදින්මස නවවෙනි අඟහරුවාදා රත්තවනාරාමයේ මහාආවාසයට ද ධම්මසේනාපති තෙරුන්ගේ ආරාමයෙහි විහාරගෙය සඳහා ද ලී දඬු කැප්පවීම කරවිය. (141) පරමධාර්මික රජ නවම්මස පුරඅටවක්දා බෙරණ නැකතෙහි සිකුරු සිටිකල්හි සිය මාලිගාවෙන් සඳුන් පිළිමය ගෙනැවිත් පූර්‍වාරාමයෙහි තැබ්බවිය. ඒ සඳුන් පිළිමයේ පිළිවෙළ කථාව මෙසේයි:-
පසේනදී කොසොල් රජ බුදුරදුන් සැවැත් නුවරදී ත්‍රිවිධ චෛත්‍යයන් අනුදත් බැවින් පසුකලක සියලු ලෝකවාසීන්ට වැඳීමාදියෙන් පුණ්‍ය බීජ රෝපණය සඳහා මේ සඳුන් පිළිමය කෙරෙව්වේය. විඩූඩභ රජු රාජ්‍යය කරවන කල්හි සුවර්‍ණ භූමියේ රජ ඒ පිළිමය ගෙනැවිත් පිදී. (142) යම් වර්‍ෂයකදී රජතුමා සඳුන් පිළිමය කෙරෙව්වේද ඒ වර්‍ෂයෙන් සත්වෙනි අවුරුද්දේ දී බුදුරජ පිරිනිවන් පෑවේය. (143) සුවණ්ණ භූමියේ රජවරු ඒ පිළිමය (ගෙනවුත්) පරම්පරාවෙන් පිදූහ. මෙසේ පිරිනිර්‍වාණයෙන් වර්‍ෂ දහසක් ඉක්ම ගියේය. සුවර්‍ණ භූමික රජුන්ගේ වංශයෙහි උපන් නරපති රජුගේ පුත්‍ර වූ ආදිත්‍ය රජ සුවණ්ණ භූමියෙන් එය ගෙනවුත් සියම් රට විජේත ජනපදයෙහි විජේව පර්‍වත මස්තකයෙහි නුවරක් මවා එහි තබා බොහෝ කලක් පිදී. ඒ විජේත නගරයෙහි අවුරුදු නවසිය තිහක් පමණ කල් එය තිබුණි. බුද්ධරක්‍ඛිත තෙර එය රැගෙන විජේත නුවර සුවණ්ණසාම රජුට දුණි. ඒ රජ දශ වර්‍ෂයක් පිදීය. ඉන්පසු මුද්දිකනේත්‍ර රජ එය ගෙනවුත් සෝසුද්ධ නුවර තබා දශ වර්‍ෂයක් පිදී. සීවතෙර නම එතනින් එය ගෙනවුත් විජේතරට “බලු” නම් ගමේ වැද්දෙකුට දුණි. හෙතෙම දහතුන් වසක් එය පිදී. ඉන්පසු බලිම නුවර අභයතෙරනම එය ගෙනවුත් පිදී. වැඩිකලක් යන්ට පෙර ඒ වැදිතෙමේ නැවත එය බලුගමට ගෙනගොස් පිදී. ඉන්පසු බුයාවරට මෝළී නමැති උපාසකයෙක් එය පදුමාරාමයට ගෙනවුත් සැට වර්‍ෂයක් පිදී. ඉක්බිති යුද්ධසණ්ඨිර නමැති බුයාම නගරාධිපතියා එය ගෙනවුත් විජය විහාරයෙහි තබා පිදී. (144-145) පිරිනිවි කාලයෙන් අවුරුදු දෙදහසක් ඉක්මි කල්හි, ශක වර්‍ෂයෙන් අටසිය අවළොසක් ඉක්මි කල්හි මූෂික වර්‍ෂයේදී විජය විහාරයෙහි පිහිටි සඳුන් පිළිමය දෙවිසි හවුරුද්දක් එහි තිබුණි.
ඉක්බිති ධම්මසේනාපති මහතෙර එය ගෙනවුත් නබ්බිසි නුවර නැගෙනහිර දිග අගලින් පිටත අශෝකාරාමයෙහි තබා පිදී. (146-147) ශක වර්‍ෂයෙන් අටසිය සතළිස්වෙනි කුක්කුර වර්‍ෂයේදී සඳුන් පිළිමය නබ්බිසි පුරයට ආවේය. බිලක රජු රාජ්‍යය කරවන කල්හි එහි පැමිණි ඒ පිළිමය උතුම් අශෝකාරාමයෙහි පසළොස් වර්‍ෂයක් තිබුණි. ඉන්පසු පාදේප නම් මහඇමතියා එය ගෙන ගොස් බුයාවරට විජය විහාරයෙහි තබා පිදී. (148) ශක වර්‍ෂයෙන් අටසිය පණස්පස්වෙනි වර්‍ෂයේදී එය විජය විහාරයෙහි විසිඅට වර්‍ෂයක් තිබුණි. ඉන්පසු බිලකපනත්තාධිරාජතෙමේ නාගරපණ්ණිකාධිපති ඇමතියා ලවා එය ගෙන්වා නවම් අටවක්දා පූර්‍වාරාමයෙහි පිහිටුවිය. (149) රජතෙමේ මිත්‍ර ධර්‍මය ස්ථීර කරවමින් දක්‍ෂිණ රාජදූතයා ලවා පූර්‍වාරාමයෙහි සඳුන් පිළිමය වැන්දවිය. (150) ශක වර්‍ෂයෙන් අටසිය අසූතුන්වෙනි සර්‍ප වර්‍ෂයේදී ඒ ප්‍රතිමාව නබ්බිසි පුරයට ආයේය. (151) ඒ කාලයේදී බුද්ධ පරිනිර්‍වාණයෙන් දෙදහස් සැටපස් වර්‍ෂයක් ඉක්ම ගියේ යයි දතයුතු. සඳුන් පිළිමයේ කථාව සංක්‍ෂෙපයෙන් මෙසේයි. විස්තර වශයෙන් වරචන්‍දනසාර නමැති ග්‍රන්ථයෙහි ආයේය.
සඳුන් පිළිමයේ කථාව නිමි.
-
ඒ ශාලාව එතැන සවි කෙරෙව්වේ යයිද පරිවර්‍තනය කළ හැක. උට්ඨාපෙසී යන වචනය නොයෙක් තේරුම් සඳහා යොදා තිබේ. ↑