ජෙට්ඨාධිපති රජ

බක්මස පුරසතවක්දා රජකුමරිය දිවංගත විය. අවදොළොස්වක්දා ඒ මෘත දේහය රන් තහඩුවලින් තැනූ දෙණක තබා සිංහලාරාමයට ගෙනවුත් කොටස් තුනේ සංඝයාට කොසෙය්‍ය-චම්පාදි වස්ත්‍ර සහිත මහාදානයක් දී දැවීය. ඉන්පසු අටසිය අසූහතරවෙනි තුරංග වර්‍ෂයේ වෙසක් මස පුරඅටවක් ලත් ගුරු දින බෙරණ නැකත ඇතිකල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවිය. දෙසියවිසි දෙනෙක් උපසම්පදාපේක්‍ෂකයෝ වූහ. දෙවෙනි ඇසළමස පස්වෙනි ගුරු දින පුසේ නැකත ඇතිකල්හි ධම්මසේනාරාමයෙහි විහාරයක ආරම්භය විය.

ඉන්පසු රජතුමා තමාගේ දුවණිය සඳහා පින් කරන්නේ දෙවෙනි ඇසළ මස තෙළෙස්වක්දා පටන් පුරපසළොස්වක්දා දක්වා රාජගුරු මහතෙරුන් ප්‍රධාන මහතෙරුන් පසළොස්නමකට ආරාධනාකොට බණ කියෙව්වේය. එක් එක් නමට ඉතා වටිනා සිවුරු ජෝඩුව බැගින් ධර්‍මපූජා සඳහා දුණි. ඉන්පසු ඉල්මස පුර සිවුවෙනිදා වූ බදාදා රත්තවනාරාමයෙහි පුස්තකාලයක් ආරම්භ කර විය. උඳුවප්මස පළමුවෙනි බදාදා මහභූමිකම්පාවක් විය. රජතෙම නැවත ද තමාගේ දුව සඳහා පින් කරන්නේ ඒ පක්‍ෂයේ අටවෙනිදා පටන් පසළොස්වක දක්වා රාජගුරු තෙරුන් ප්‍රමුඛ තෙරුන් සවිසි නමකට ආරාධනාකොට බුද්ධවංශය දේශනා කෙරෙව්වේය. ඒ එක් එක් නමට කෝසෙය්‍ය දෙපට සිවුර බැගින් පිදී.

දුරුතු මාසයේදී රජතෙමේ මහාබෝධාරාමයේ පෝයගෙය වූ නොයෙක් විචිත්‍ර රන් කැටයමින් හෙබි රන් ආලේප කළ ප්‍රසාදයෙහි නොයෙක් පූජා සත්කාර ඇතිව කාම්බෝජ ප්‍රතිමාව තැන්පත් කෙළේය. අටවක්දා පටන් පසළොස්වක දක්වා රාජගුරු තෙරුන් ප්‍රමුඛ ත්‍රිපිටකධර තෙරුන් සතිස් නමකට ආරාධනාකොට චරියා පිටකය දේශනා කරවා එය ඇසුවේය. එක් එක් නමට උතුම් සිවුරු යුගල බැගින් පුදන ලදී. රජතෙම පසළොස්වක්දා දක්‍ෂිණ රාජදූතයා ලවා හරිපුඤ්ජය මහාධාතුව වැන්දවිය. එදවස්හි රජතෙමේ හංසාවතියට අධිපති රජුගේ මිත්‍රසන්‍දෙශයට කළාසේම අරිමද්දනයේ රජු විසින් මිත්‍රධර්‍මය දියුණු කිරීම සඳහා රාජදූතෝප දූතයන් අත එවූ සන්‍දෙශය හරිපුඤ්ජය මහාධාතු චෛත්‍යයේ පාමුල තැන්පත් කෙළේය.

නවම්මස තෙළෙස්වක්ලත් ගුරු දින රත්තවන විහාරයෙහි ආගන්තුක ශාලාවක් ගොඩනැංවීම ආරම්භ කෙළේය. ඉන්පසු අටසිය අසූපස්වෙනි අජ වර්‍ෂයේදී බක්මස අවසතරවෙනිදා වූ සෙනසුරාදා දෙටනැකත ඇති කල්හි සිංහල ගණයාගේ උපසම්පදාව කරවීය. එය අටවක්දා අවසානයට පැමිණියේය. දෙසිය සතළිස් දෙනෙක් අපේක්‍ෂකයෝ වූහ. පස්වෙනි ඉරිදා භටසමූහය උතුරු දිශාවෙන් පිටවිය. එකොළොස්වෙනි සෙනසුරාදා ඛෙමාධිපතිගේ වංශයෙහි උපන් ජයගංගා කුමරා තමාගේ පිරිවර සමග රත්නත්‍රය ඉදිරියෙහි දිවුරා දිවුරුම් දිය බීවේය.

රජතෙම දුවණිය සඳහා පින් කරමින් ඇසළ තෙළෙස්වක්දා රාජගුරු ප්‍රමුඛ තෙරුන් අටළොස් නමකට ආරාධනාකොට සිංහලාරාමයෙහි බණ කියවිය. එය පසළොස්වක්දා නිමාවට ගියේය. එක් එක් තෙරනමට කෝසෙය්‍ය වස්ත්‍ර යුගලය බැගින් ධර්‍මපූජා සඳහා පිදී. නිකිණි මස දෙවෙනි බදාදා පූර්‍වඵාල්ගුණී යෝගය ඇති මධ්‍යාහ්න කාලයේදී රත්තවනාරාමයෙහි රාජගුරු මහතෙරුන්ට විසීම පිණිස බඹ විස්සක ප්‍රමාණ ඇති මහලැඟුම් ගෙයක් ආරම්භ කරවිය. (152-154) කුම්භයෙහි ශනි-රාහු-ගුරු යන මොවුන් ද කටකයෙහි සිකුරා ද සිංහයෙහි රවි-බුධ දෙදෙනද කන්‍යාවෙහි චන්‍ද්‍රයාද, අඟහරු තුලාවෙහිද වෘශ්චිකයෙහි කේතුද සිටි කල්හි අජ වර්‍ෂයේ නිකිණි මස දියවක්ලත් බදාදා මධ්‍යාහ්නයෙහි පූර්‍වඵාල්ගුණිය ඇතිකල්හි ශාසනය බබුළුවන රජතෙමේ මහාකුටිය ආරම්භ කරවිය.

රජතෙමේ මුත්තණු රජුගේ වාසස්ථානය වූ මනාසේ සංස්කරණය කළ රජගෙයි රාජගුරු තෙරුන් ප්‍රමුඛ දොළොස්නමක් ගෙන්වා තුන්දිනක් පිරිත් කියවා ඒ තෙරවරුන්ට පූජා සත්කාරකොට උඳුවප් මස අවසතර වෙනිදාට පැමිණි බෘහස්පතින්දා පුසේ නැකත ඇතිකල්හි අතිශය ශ්‍රී විලාසයෙන් ඒ රජගෙට ඇතුල්විය. දුරුතු මස තෙළෙස්වක්ලත් ශනිදින කුම්භාමදීප නුවර “සුවර්‍ණකූට” නම් තැන මහාවිහාරයක් ආරම්භ කරවිය. පසළොස්වක්දා පිරිවර සහිත දේවමංගල තෙරුන්ට උතුම් වස්ත්‍ර යුග්මවලින් යුත් පිරිකර දනක් දී සැටක් පමණ ත්‍රිපිටක පොත් සමග ඒ තෙරුන් දසලක්‍ඛකුඤ්ජර නුවර රජුගේ ප්‍රසාදය පිණිස එහි යැවී.

නවම්මස දශවෙනි සිකුරාදා පුෂ්පාරාමයෙහි ද පූර්‍වාරාමයෙහි ද අධිපති තෙරවරුන්ට අගනා පිරිකර පුදා පිටත් කරවිය. මැදින් මස තෙළෙස්වක්ලත් බදාදා රත්තවනමහා විහාරයේ පොකුණක් සෑරවිය. අසූසවෙනි වර්‍ෂයේ උඳුවප්මස අවපැළවියලත් සිකුරාදා රාජගුරු තෙරුන් මහලැගුම්ගෙට ප්‍රවේශ කරවිය. අටසියසත් අසූවෙනි කුක්කුට වර්‍ෂයේ වෙසක්පුර දොළොස්වක්ලත් සඳුදා උපසම්පදා කර්‍මය කෙරෙව්වේය. එය පසළොස්වක්දා නිමියේය. පොසොන් පුර පස්වෙනි සෙනසුරාදා රත්තවනාරාමයෙහි මහපිළිම ගෙයක් ආරම්භ කරවිය. දෙවෙනි ඇසළ මස පුරනවවක්ලත් ..... මහාබෝධාරාමයේ පෝයගෙයි සඳුන් පිළිමය පිහිටෙව්වේය. හතළිස්තුන් වියැති ඒ රජ නවම්මස පුරදසවක්දා පරලෝ සැපත්විය.

ඒ රජුගේම දෙටුපුත් යුවරජ අවපෑළවියදා ..... පැමිණියේය. අටසිය නවපණස්වෙනි සර්‍ප වර්‍ෂ‌යෙහි උපන් ඒ රජ එකල අටවිසිවයස් ඇත්තේ විය. (155-156) ශාර්දූලවාර්ෂික වූ පියරජ තෙළෙස් වියැත්තේ ශශ වර්‍ෂයේදී අභිෂේක ලබා තිස් වර්‍ෂයක් රාජ්‍යය කෙළේය. තෙසාළිස් වියැත්තේ කුක්කුට වර්‍ෂයේදී දිවංගත විය. ඒ රජුගේ දෙටුපුත් වූ සමාන වීර්‍ය ඇති යුවරජ අටවිසි වියැත්තේ කුක්කුට වර්‍ෂයේදී රාජ්‍ය සම්පත්තිය ලැබී. ඒ රජ ද ධාර්මික රජෙකි. කුක්කුට වර්‍ෂයේ වෙසක්මස පස්වෙනිදා රාජගුරු මහතෙර අපවත් විය. ඒ වර්‍ෂයේදී රජතුමා තමාගේ ගුරුවරයා ගෙන්වා තමා පැවිදි වූ තැන වූ මහාබෝධාරාමයෙහි නවතා මහාසාරභංග තෙරුන් ගෙනවුත් රත්තවනාරාමයෙහි නවතා එතුමාට .... රාජනාමය දුණි. මහාදේවියගේ ආරාමය වූ උත්තර විහාරයේ මහාසුරිය තෙරුන්ට “මහාසාමි” යන නම දුණි. (157) අටසියඅටඅසූවෙනි කුක්කුරශක වර්‍ෂයේ නවම්මස සොළොස්වෙනි ගුරු දින ජෙට්ඨාධිපති රජතෙමේ ශ්වෙතච්ඡත්‍රය නැංවිය.

ඒ වර්‍ෂය ඉකුත් වූ පසු අටසිය අසූනවවෙනි ශක වර්‍ෂයේදී වෙසක්පුර දියවක්ලත් සඳුදා ජෙට්ඨාධිපති රජ සිංහල ගණයා ලවා උපසම්පදාව කරවිය. ඒ කුඤ්ජර වර්‍ෂයේදුරුතු පසළොස්වක්දා පියරජු වාත්තු කරවූ මහරන්පිළිමය ගෙන ගොස් හරිපුඤ්ජය නුවර මහාවිහාරය මැද පිහිටි රන්පහයෙහි සකලලෝකයාට පින් ලබා ගැනීම සඳහා තැන්පත් කෙළේය.

158. සිරිධම්මචක්කවත්තිබිලක රජතෙමේ මංරාය වංශයෙහි උපන්නේ යයි හැමතැන ප්‍රකටයි. (159.) ඒ රජුගේ මීමුණුබුරු වූ බුද්ධමාමක වූ ධාර්මික වූ ශාසනය බබුළුවනු කැමති රජ (160) රත්තවන විහාරයෙහි මහාකුටියක් කරවිය. ඒ රජුගේ උපස්තම්භය ලැබ ඒ කුටියෙහි වසන (161) ප්‍රඥාව මොහුට රත්නයක් වේ යන අර්‍ථයෙන් රතනපඤ්ඤ නමැති තෙවිසිවස් ඇති තෙරනම වස් වසමින් බුද්ධ ශාසනයේ කාලපරිච්ඡෙදයන් ගනිමින් යම් ග්‍රන්ථයක් කෙළේද, (162) එය බුදුරදුන්ගේ පරම්පරාවෙන් ආවාවූද නොයෙක් ග්‍රන්ථවල විද්‍යාමාන වූද කාලපරිච්ඡෙදයන් පණ්ඩිතයන්ට සැපසේ දැනගැනීම සඳහා කළ බැවින් ජිනකාලමාලි යයි දතයුතු.

163. යම්සේ ඒ ග්‍රන්ථය අනතුරක් නැතිව අදහස් කළ පරිද්දෙන් සංක්‍ෂෙපයෙන් නිමාවට ගියේද එමෙන් සත්ත්‍වයන්ගේ සියලු යහපත් ප්‍රාර්‍ථනාවෝ සිද්ධියට පැමිණෙත්වා.

164. කුශලකරණයෙහි නියැලි වූ රජවරු ස්වකීය යටත් වැසියන්ගේ වචනයන් අසත්වා. පොළොවෙහි වර්‍ෂාව නියම කාලයෙහි වසීවා, සියලු සත්ත්‍වයෝ සැප අනුභව කරත්වා.

165. නුවණැති පුද්ගලයා මෙය දැක ශාසන කාලය සැපසේ දැනගන්ට සමර්‍ථ වෙයි. (ඒ කුශලයෙන්) අනාගතයේදී මෛතෙය බුදුරදුන්ගේ ධර්‍මය අසා වහා අවබෝධ කරගන්නෙක් වන්නෙම්වා.

බුදුන් පිරිනිවීමෙන් වර්‍ෂ දෙදහස් සැටක් ඉක්මිකල්හි, ශක වර්‍ෂයෙන් අටසිය සත්තෑවෙනි මූෂික වර්‍ෂයේදී බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සඳහා ලිවූ මේ ජිනකාලමාලි ග්‍රන්ථය නිමියේයි.