ඊට අනතුරුව ඇසළ පුණුපොහෝදාට පසුදා පූර්‍වාෂාඪයෝගය ඇති කල්හි රජතෙමේ සංඝරාජ තෙරුන්ට විසීම පිණිස සිරිභූම ගම ද මහාස්වාමීන්ට පූර්‍වාරාමයද ඤාණබෝධි තෙරුන්ට මහාචෙතියාරාමය ද පිදී. ඉන්පසු උඳුවප් මස දශවෙනි සිකුරාදා උත්තර භද්‍ර යෝගය ඇතිකල්හි මධ්‍යාහ්න කාලයෙහි රජතෙමේ මහාචෛත්‍යාරාමයෙහි ද සිංහලාරාමයෙහි ද මහාවිහාරයන් සෑදවීමට අත්තිවාරම් දැම්මවිය. (135-138) ශාර්දුල වර්‍ෂයේ උඳුවප් මස දශවෙනි සිකුරාදා චන්‍ද්‍රයා උත්තරභද්‍රකයෙහි සිටි මධ්‍යාහ්න කාලයෙහි මිථුනයෙහි අඟහරු ද මීනයෙහි රාහු ද තුලාවෙහි චන්‍ද්‍රයා ද වෘශ්චිකයෙහි ගුරු-සිකුරු දෙදෙනද ධනුවෙහි හිරු ද මකරයෙහි ශනි ද සිටිකල අපගේ රජතෙමේ මහාචේතියාරාමයෙහිද සිංහලාරාමයෙහි ද විහාරයන් කරවීම ආරම්භ කෙළේය.
ඉන්පසු රාජගුරු ප්‍රමුඛ සියලු සිංහල වංශිකයෝ දුරුතුපුර පස්වෙනි සඳුදා උදය කාලයේදී සිරිධම්මචක්කවත්තිබිලක බද්ධසීමාවේ වේදිකාවක් බැන්දවූහ. සද්ධම්මජෝතිතෙර ඒ මස නවවක් ලත් සිකුරාදා දහාරාමයෙහි නවරියනක් උසැති බුද්ධ රූපයක් කරවිය. ඒ කාලපක්‍ෂයේ දෙවෙනිදා වූ ශනි දින ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයෝ මහරජුගේ හිස නැවීම (?) කළහ. ඒ මහරජුගේ පුණ්‍යානුභාවයෙන් ද නගරාරක්‍ෂක දෙවියන්ගේ මෙහෙයීමෙන් ද නවම්මස අවදිය වක්ලත් සඳුදා නබ්බිසිපුරයට උතුරු දෙසෙහි සකලමංගල ලක්‍ෂණයෙන් යුක්ත වූ සියල්ල සුදු වූ කෛලාශ පර්‍වතය වැනි හස්ති රාජයෙක් පහළ විය.
ඇතු පහළ වීමේ කාලය නිමි.