සිංහල වංශය බැබළවීම

ඒ වර්‍ෂයේදීම බිලකපනත්තාධිරාජතෙමේ රත්තවන මහාවිහාරය දියුණු කරනු කැමතිව “දැන් සිංහල පරම්පරාවට මහාස්වාමි නමක් නැත; රත්තවන විහාරයද අතිශයෙන් දිරා ගියේය. රත්තවන විහාරයෙහි සිංහල ශාසන වංශයේ මහාස්වාමි තනතුරට මහාබෝධාරාමාධිපති වූ සද්ධම්මසණ්ඨිර නම් මහතෙරුන්ට ආරාධනා කළොත් යෙහෙකි. එසේකළවිට රත්තවන මහාවිහාරය අතිශයෙන් බබළන්නේය. සිංහල ශාසන වංශය ද නගා සිටුවීමක් වන්නේය”යි සිතා නවම්පුර දොළොස්වක් ලත් සෙනසුරාදා රත්තවන විහාරයෙහි මණ්ඩපයක් ද පිරිවෙණක් ද සඳහා පොළොව ශුද්ධ කරන්ට ආරම්භ කරවිය. ඒ මාසයේදීම අවපෑලවියලත් බදාදා රජතුමා තෙමේම රත්තවන මහාවිහාරයට ගොස් ඒ ස්ථානය විමසා බැලී. ඉන්පසු මැදින් මස පුරදසවක් ලත් සිකුරාදා හවස ප්‍රථම යාමයෙහි කැති නැකත පවත්නා කල්හි පිරිවෙණ ද මණ්ඩපය ද පිහිටුවීම රජතුමාම කරවිය. ඒ මණ්ඩපය වනාහි නබ්බිසි නුවරින් ඊශාණ දෙසැ සිරිභූමගමේ මුත්තණු රජු විසූ ප්‍රාසාදය විය. එය එතැනින් ගෙනැවිත් මහතෙරුන්ගේ විසීම පිණිස මෙහි සවිකරවිය. පිරිවෙණ සඳහා සකස්කළ බිම දිගින් බඹවිසි නවයක් ද සරසින් බඹ විසිතුනක් ද ඇති ගජ ලක්‍ෂණයෙන් (=ඇතෙකුගේ ආකාරයෙන්) යුත් එකක් විය. (116, 117) වෘෂභ රාශියෙහි (බක්‍රින්‍දහෝරා?) චන්‍ද්‍රයා හා අඟහරු ද, කටක රාශියෙහි රාහු ද, වෘශ්චිකයෙහි සෙනසුරු ද, කන්‍යාවෙහි ගුරු ද, මකරයෙහි සිකුරා ද, කුම්භයෙහි බුද-හිරු දෙදෙන ද ඇතිකල්හි ධර්‍මරාජ තෙමේ ශාසනය බැබළවීම සඳහා රත්තවන මහාවිහාරයෙහි මණ්ඩපයක් ද පිරිවෙණක් ද පිහිටු විය.

එදවස්හිම කුම්භාමදීපාරාමයේ මහපිළිමයේ හිස වාත්තු කිරීම ද සිදුවිය. ඉන්පසු බක්මස පුරපස් වෙනිදාට පැමිණි අඟහරුවාදා අස්විද නැකත ඇතිකල්හි තමාගේ විසීම සඳහා රජ ගෙයක් ආරම්භ කෙළේය. ඉන්පසු වෙසක්මස පුරනවවක්දා තමාට අයත් ඉරිදා පුනර්‍වසු නැකත ඇතිකල්හි චන්‍ද්‍රයා කටක රාශිගත වූ කල්හි මහාකූටයට අත්තිවාරම් දැම්මවිය. අටසිය නව සැත්තෑවෙනි පශු වර්‍ෂයේ වෙසක් මස පුරතෙළෙස්වක් ලත් බෘහස්පතින්දා මානැකත ඇතිකල සූර්‍යෝදයට පෙර මුහුර්‍ත කාලයේදී බිලකපනත්තාධිරාජතෙමේ නබ්බිසි පුරයේ ප්‍රාකාරය ගඩොල්වලින් බැන්දවිය. එදිනම මධ්‍යාහ්න කාලයේදී රජතුමා මහාවිනිශ්චය ශාලාවට ප්‍රවිෂ්ට විය.

118, 119. මීනයෙහි සිකුරා ද කටකයෙහි ගුරු-රාහු දෙදෙනද මේෂයෙහි ඉරු ද සිංහයෙහි චන්‍ද්‍රයා ද මිථුනයෙහි අඟහරු ද (-?පසභණෙ) බුදහු ද ධනුවෙහි ශනි ද සිටිකල්හි රජතෙමේ නබ්බිසි පුරය ආරක්‍ෂා කිරීම ද හෙබවීම ද සඳහා ගඩොලින් ප්‍රාකාරයක් බැන්දවිය.

අජ වර්‍ෂයෙන් පසු අවුරුද්දක් ගතවීමෙන් පශු වර්‍ෂයේදී මහාබෝධාරාමයේ ඛණ්ඩසීමාවේදී උපසම්පදාව කළ යුතු විය. නමුත් බිලකපනත්තාධිරාජතෙමේ රත්තවන මහාවිහාරයේ බැබළීමද මහාස්වාමීන්ට විසීම සඳහා ගොඩනංවන ගෙයි වැඩ වහා නිම කිරීම ද පතමින් මුත්තණු රජු කරවූ ඛණ්ඩ සීමාවේ නාගරූප සෑදවීම හා රන් ගෑමද උළු සෙවිලි කිරීම ද අලුතෙන් කරවා මේ පශු වර්‍ෂයේදී සිරිධම්මචක්කවත්තිබිලක බද්ධ සීමාවේදී එය කරවිය. එකල මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ සංඝතෙමේ වෙසක්මස අවපක්‍ෂයේ සිවුවෙනිදා පටන් අටවෙනිදා දක්වා දෙසියපණස් දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. (120, 121) සිංහල ගණයට අයත් සංඝතෙමේ සුදුසු කාලයෙහි රැස්ව පශු වර්‍ෂයේ වෙසක්මස අව සිවුවෙනි බදාදා චන්‍ද්‍රයා විසා නැකතෙහි සිටිකල්හි ශාසනොපස්තම්භයක් වූ උපසම්පදා කර්‍මය කෙළේය.

ඉන්පසු රජ ද රාජ මාතාව ද බුදුපාමොක් සඟනට දෙදහසක වියදමෙන් දන්දී පළමු ඇසළ මස පුරනවවක්දා වූ බදාදා උත්තර ඵාල්ගුණී නැකත ඇති කල්හි තිරියවාපියට අධිපති ඇමතියා පෙර විසූ ගමෙහි රාජමාතාව වූ සිරියසවතී දේවිය විසින් කරවන ලද ආරාමයෙහි බුද්ධසාගර නම් මහතෙර නමකට ආරාධනාකොට වාසය කරවූහ. ඒ ආරාමය රාජමාතාව කරවූ බැවින් සුධම්මාරාම යයි නම් තැබූහ. ආරාමිකයන් විසි දෙනෙකුන්ද එයට දුන්හ. එදවස්හිම එහි මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ මහතෙරවරු ඛණ්ඩ සීමාවක් බැන්දාහ. ඒ මස අවපක්‍ෂයේ දශවෙනිදා රජ දෙදෙන[1] මහදන් දී ඛෙලාංග නුවර තිරියවාපි අධිපතියාගේ සිරුර දැවූ තැන කරවූ ආරාමයෙහි මහාපූජාවක් කරවූහ. එහෙයින් එයට නන්‍දාරාම යයි නම් කළහ.

ඉන්පසු නිකිණි මස පුරසතවකලත් සිකුරාදා නායපුරාධිපති වූද ජයසංකපුරාධිපති වූද ප්‍රාදේශික රජවරු දෙදෙන මේ නබ්බිසි පුරයට අවුත් රාජාධිරාජයන්ගේ පා වැඳ තමන්ගේ සේනා බලයත් තමනුත් මහරජුට පාවා දුන්හ. එදවස්හි මහරජ මහබෙරය වාදනය කරන්ට සැලැස්විය. නිකිණි පසළොස්වක්දා මහරජ තෙමේ භටසේනා සහිත ප්‍රාදේශික රජුන් දෙදෙනගේ මහත් අභිවෘද්ධිය පතමින් සිංහල පිළිමය ද තුන් කොටසේ සංඝයා ද පිටකත්‍රය ද වන්දවා රත්නත්‍රය ඉදිරියේදී පොරොන්දු කියවා දිවුරුම් දිය පෙව්වේය.

පෙර සිරිධම්මචක්කවත්තිබිලක මහරජු විසින් ත්‍රිපිටකධර මහතෙරුන් තෝරා තුන්පිටකය ශුද්ධ කරවා ඒ පොත් තැබීම පිණිස මහාබෝධාරාමයෙහි කරවූ මහාමන්‍දිරය දිරාගිය බැවින් රජතෙමේ මුත්තණු වූ සිරිධම්මචක්කවත්ති රජු විසින් ද තමාගේ පියරජු විසින් ද තමා විසින් ද පරිභෝග කළ පුරාණනගරකූටය පුස්තකාලයක් කරවිය. ඒ සිද්ධියෙන් පසු උඳුවප් මස පුරඅටවක්දා පටන් පුරපසළොස්වක දක්වා මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ ත්‍රිපිටකධර මහතෙරුන් සතළිස් නමක් ලවා තුන් පිටකය දේශනා කරවා මහාපූජාවක් කෙළේය.

ඒ රජ නුවර වැසියන් සමග මුත්තණු රජුගේ සිරුර දැවූ තැන තමාගේ පියා කරවූ මහාසෑය වසන්ට රන්තහඩු ගැනීම සඳහා නොයෙක් සියගණන් කෝශෙය්‍ය වස්ත්‍ර-චන්‍ද්‍ර වස්ත්‍රාදියෙන් මහාසෑය වැස්විය. ඉන්පසු නවම්මස පුරඅටවක්දා පටන් පසළොස්වක දක්වා රජතෙමේ බුද්ධ වංසය අසමින් හරිපුඤ්ජය මහාධාතුව පිදී. එය එක් ලක්‍ෂයට අධික වූ රන්කාසිවලින් වට කරවිය. ඒ මස අවනවවක් ලත් බදාදා විසා නැකත ඇතිකල උතුරු දිශාවෙහි විහාරයක් ආරම්භ කෙළේය. යම් මූෂික වර්‍ෂයක අභයසාරදමාහිමි දිවංගත වූයේද ඒ වර්‍ෂයත් ඊළග පශු වර්‍ෂයත් මාහිමිවරුන්ගෙන් ශූන්‍ය විය. කුමක් හෙයින්ද? රත්තවන මහාවිහාරයෙහි මහාස්වාමීන්ගේ විසීමට සෑදවූ මහාමණ්ඩපය නොනිමි බැවිනි. ඒ දෙවර්‍ෂයේදී ජිනකාලමාලී නමැති මේ ග්‍රන්ථය ලියූ මා විසින් මහාබෝධාරාමාධිපති තෙරුන්ගේ අනුමතියෙන් මහාකඨිනය අතුරන ලදී. රාජාධිරාජතෙමේ මවුදේවිය සමග දහසකට වැඩි රන්මිල පරිත්‍යාගකොට මහාබෝධාරාමාධිපති මහතෙරුන්ට විසීම පිණිස රත්තවනාරාමයෙහි යම් මහාමණ්ඩපයක් කරවීද එය සිවුකොණෙහි පිරිවර මණ්ඩප සතරකින් ද වේදිකා-දොරටුවලින් ද අවට පිරිවෙන්වලින් ද කුඤ්ජරශාලා-මහාගෘහ-රාජගෘහ ආදියෙන් ද යුක්ත විය. ශාර්දූල වර්‍ෂයේදී හැම ආකාරයෙන් නිමාවට පැමිණි එය ශක්‍ර භවනය මෙන් ශෝභමාන විය.

මහරජතෙමේ මහතෙරුන් තමාගේ ගුරු ස්ථානයෙහි අභිෂේක කිරීම පිණිස හරිපුඤ්ජය-ජයසේන-ජයජේහ-ජංරාය-ඛෙලාංග-වංගඛර යන නුවරවලින් මහතෙරවරුන්ට ආරාධනා කෙළේය. ඒ තෙරවරු මෙහි රැස්වූහ. හෙතෙමේ ඒ තනතුරේ ද මහතෙර නමගේ ද අභිවෘද්ධිය වැඩිවීම පතමින් එක්සිය විසිනමක් භික්‍ෂූන් ලවා නොයෙක් පුදසත්කාර ඇතිව තුන් දිනක් මුළුල්ලේ මංගල සූත්‍රය ද දම්සක් පැවතුම් සුතුර ද මහාසමය සූත්‍රය ද දේශනා කරවිය. ශක වර්‍ෂයෙන් අටසිය අසූවෙනි ශාර්දූල වර්‍ෂයේදී බක්මස දොළොස් වෙනිදා පටන් අමාවක් දින දක්වා පිරිත් කිවූ කාලයයි. ඊළඟ දවස වූ වෙසක්මස පුරපෑළවිය ලත් සිකුරාදා[2] අසූනමක් භික්‍ෂූන් සමග මහතෙරුන් රාජ මන්‍දිරයේ දී වැලඳ විය. එසේ රාජ භවනේ දී ගෞරවකොට හවස් වරුවේ ප්‍රථම කොටසේදී ඡායාව වැඩෙන කල්හි නොයෙක් සත්කාර සම්මානයෙන් යුක්තව උතුම් ඇතුන් යෙදූ ප්‍රසාදයකින් පන්සියයක් භික්‍ෂූන් පිරිවරකොට ඇති මහතෙරුන් වඩම්වාගෙනවුත් සිරිධම්මචක්කවත්තිබිලක සීමාව ඉදිරියෙහි සරමජ්ජග්ග නමැති විසිතුරු ප්‍රාසාදයේ දී රජ-කුමර-බ්‍රාහ්මණ-මහසිටු යන මොවුන් ලවා අභිෂේක ජලයෙන් අභිෂේක කරවිය. ඊට අනතුරුව රජතෙමේ තුන් ගණයේ තෙරුන් අතුරෙන් ප්‍රමුඛ තෙරුන් අසූනමක් තෝරවා මහාමණ්ඩප නම්වූ සංඝාවාසයට ප්‍රවිෂ්ට කරවිය. එකල්හි රාජයෝග්‍ය වූ නොයෙක් සත්කාර සම්මානවලින් ද අගනා ශ්‍රමණ පරිෂ්කාරවලින් ද පූජාකොට මහතෙරුන්ට රන්කාසි සියයක ප්‍රමාණය ඇති රන්පටක ලිවූ නාම ප්‍රඥප්තිය කියවන්ට සැලැස්විය. ඒ නාමය නම් “සමගේච-බ්‍රහ්මමහාසාමි-ත්‍රිලෝකනාථරාජගුරුචූඩාමණි-සද්ධම්මරංසි-සීලවිසුද්ධ-ව්‍යක්තමුත්තවාදී-මහාකවි-සීහළවංශපරිනායක-රත්තවනාධිපති-වීරසුමන-අතුල්‍යමුඤ්ජවන්තොළාරජ්ඣාසය-තෙපිටකධර-වරමෙධංකර-පරමතිලොකාචාර්‍ය”[3] යන්නයි. අනූහත්වරක් එය කියෙව් පසු මහතෙරවරු අධිරාජයන්ගේ මහාදානයට අනුමෝදනා වශයෙන් මේ ගාථාවන් කියෙව්වාහ. (මේ ගාථාවන්ගේ අර්‍ථ තේරුම් ගැනීම ඇතැම් තැන අපහසු බැවින් ගාථාවන් එසේම යොදමි. අනුවාදක.)

122. රාජින්‍දාානං’ඛිලානං සුකතකමකූටෙ සෙලභාසෙනභාසං

රාගප්පත්තො භූපානං අසදිසසරණං නෙකසාතං නියාති.

සෙට්ඨෙමං රාජවංසෙ සුවිමලමතුලෙ යාව චංගාධිරාජා

තස්සෙවාලංකිභූතො පුථුලවරධජො භූතලෙ’කො විභාති.

.

123. රඤ්ඤා තෙනස්සමබ්‍යා සුරපතිභවනං හාසයන්තෙන ව්‍යම්හං

දානෙනානග්ඝදාතා සුවිමලමනසා පූජිතෙ’කො යතින්‍දො

යස්ස’ඤ්ඤෙසං අසන්තං කුසලමුපගතං දෙන්ති රාමාදිනාමං

ලංකාදීපාගතං තං මුනිවරවචනං ජොතනත්‍ථං උභොපි

.

124. නරවරපති හෙසො චන්‍දනෙය්‍යාණෙය්‍යො

ගුණවරතිකරො භාවන්තියො ආයතීන

සකලදිසමසෙසෙ කිත්තිමන්තො ජලන්තො

විමලසරදකාලෙ භානුමාලීව ඛම්හි

.

125. සකලජනහිතෙසී බුද්ධබීජංකුරෙ’සො

වරකනකචිචිත්තෙ ව්‍යම්හසෙට්ඨෙ තයොපි

සකලගුණනිවාසෙ ධම්මරාජා යජෙනි

ඉතරමයුගනාමෙ ප’ජ්ජ දින්නම්පි සෙට්ඨං

.

126. රාජින්‍දෙනූපචිත්තං කුසලඛිලවරං මොදමානා මයම්පි

සබ්බං භූමිං ජිනිත්‍වා දසබලපයුතං බුද්ධභාවං නරින්‍දො

දෙවී මාතා ආරොගී දසබලජනනී’නාගතෙ සාව හොතු;

දීඝායුද්‍යාතිසාතං සකලපිසිගණෙ රාජග්‍රෑ සො පයාතු.

.

127. සිරිධරමකුටින්‍දෙ රාජවංසෙ පුරෙ’සි

ඉභ-හය-බලකායෙ රාජයොගෙ අසෙසෙ

අමිතබහලිසෙරිං රාජධානිං අසෙසං

කුසලමුපචිතං තං රාජභාවංභිවාතූ.

.

128. යො සො බොධාය බොධිං අතුලකුලසිරී ඉද්ධිමා රාජසෙට්ඨො

පුඤ්ඤානන්‍දො ජනින්‍දො සහ ච සිරිමහාදෙවියා සජ්ජනෙත්‍යා

ථෙරං දුල්ලද්ධතූලං ධිතිසතිමතිමං මන්‍දකන්තාතිකන්තං

අඤ්ඤෙ රඤ්ඤෙ ච දළ්හං අතිව දයුදයං අත්‍ථකාරං පරෙසං,

.

129. උද්දිස්සොභාසසොභං රතනවරුජලං චිත්‍රකිච්චාභිකිණ්ණං

මාපෙත්‍වාවාසසෙට්ඨං තිදිවතලතුලං රාජගෙහාධිගෙහං

මණ්ඩෙත්‍වා පිණ්ඩයිත්‍වා සුඛුමතරවරං සම්පිරික්‍ඛාරදානං

දින්නො දින්නොභිබොධිං සකලජනවරෙ තොසයන්තො අහොසි

.

130. රඤ්ඤඤ්ඤෙසං මකුටසිතපාදස්ස භුම්‍යාසපුඤ්ඤා

සග්ගෙ ඡග්ගෙ හබලතුලකෙ සාමමෙවානුභොගං

ලොකග්ගො ලොකං සනරමරුං රඤ්ජයං තාරයන්තො

දෙවා වා දෙවවිජයද දා සාදරං සො විජෙතං”

අනුමෝදනාවසානයේදී මිහිරි හඬින් යුත් මනාසේ අකුරු ශබ්ද කළ හැකි භික්‍ෂූන් අටනමක් තෝරා මහාමංගල පිරිත කියවේවාහුය.

131-134. සිංහල ගණයාගේ අභිවෘද්ධිය පතන අධිරාජතෙමේ ලග්නාධිපති සිංහ රාශියෙහි ද ඉරු සඳු දෙදෙන මේෂයෙහි ද වෘෂභයෙහි සිකුරා ද ධනුවෙහි සෙනසුරා ද මිථුනයෙහි රාහු ද මීනයෙහි බුධ ද කුම්භයෙහි අඟහරු ද ඇතිකල්හි ශාර්දූල වර්‍ෂයේ වෙසක්මස පළමු දින වූ සිකුරාදා අස්විද නැකත ඇතිකල්හි හවස්වරුවේ මහාබෝධාරාමයෙන් පස්පණස්වස් ඇති මහතෙරුන් ගෙනවුත් මහාවිහාරයෙහි නවතා තමාගේ ආචාර්‍ය ස්ථානයෙහි තැබීය.

යම්කලක බිලකපනත්තාධිරාජයා මහතෙරුන්ට රාජගුරු නාමය දුන්නේද, එකල බුදුන් පිරිනිවීමෙන් දෙදහස් දෙසැට වර්‍ෂයක් ඉක්ම ගියේය. නබ්බිසිපුරයට ගියකාලයේ පටන් සිංහල භික්‍ෂු වංශයට අවුරුදු අසූඅටක් ගතවිය. සතිස් හැවිරිදි රජ රාජ්‍යයට පැමිණීමෙන් තෙවිසි හවුරුදු ඇත්තේ විය. මහතෙරුන්ට රාජ ගුරුනාමය දුන් දිනයෙන් සිවුවෙනිදා සිංහල වංශික සංඝයා ලවා උපසම්පදාව කරවිය. රාජගුරු මහාස්වාමි ප්‍රමුඛ සංඝතෙමේ තුන්සියදශ දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කරවීය. ඒ උපසම්පදා කර්‍මය අටවක්දා නිමාවට පැමිණියේය.

ඒ වෙසක්මස අවඅටවක්දා පටන් පුණු පොහෝ දින දක්වා රජතෙමේ මවුදේවිය සමග රාජගුරු ප්‍රමුඛ ත්‍රිපිටකධර මහතෙරුන් දෙවිසිනමක් තෝරා මහත් සේ පූජාකොට සතරබණවර ග්‍රන්ථය කියෙව්වේය. සැටක් පමණ භික්‍ෂූන්ට ආරාධනාකොට තෙමේද මහාවිනිශ්චය ශාලාවෙහි සිටගෙන ඒ ධර්‍මය ඇසී.

සිංහල ශාසනය බැබළවීමේ කාලය නිමි.

  1. රජ හා රාජ මාතාව වියයුතු.

  2. “ආදිච්චචාරෙ සුක්‍රචාරෙ”යි වචන දෙකක් පොතේ පෙනේ. ආදිච්චචාර නම් ඉරිදායි.

  3. පොතේ ඇති සැටියෙන් ලීවෙමු.