ජංරාය රාජකථාව

සිරිධම්මචක්කවත්තිබිලක රජු දිවංගත වූ කල ඔහුගේ මුණුබුරු මූෂික වර්‍ෂයෙන් උපන් ජංරාය අගරජ තිස්එක් වියැත්තේ අජ වර්‍ෂයේදී රාජ්‍යයට පත්විය. හෙතෙම භට සේනාවක් හා සේන ඇමතියා සමග ස්වකීය මුත්තණුවන්ගේ ශරීරය රන් දෙණකින් ගෙන ගොස් මහාබෝධි විහාරයේදී දැවීය. දැවූ පසු එතැන මහාස්තූපයක් කරවා එහි ධාතු පිහිටුවා නිරන්තරයෙන් පිදී. ශක වර්‍ෂයෙන් අටසිය සිව්පණස්වෙනි මූෂික වර්‍ෂයේදී තපෝදාරාමය කරවිය. පල්ලංකදීපයේ ඤාණමංගල තෙරුන් විසින් සම්මත වූ ඛණ්ඩ සීමාව පශු වර්‍ෂයේ නවම් මාසයේදී රජතෙම ශුද්ධ කරවිය. කවර කෙනෙකුන් ලවා ශුද්ධ කරවීද? රජුගේ මාමා වූ මහඇමතියා ද වේළුවන්තතෙර ද ඤාණ‌බෝධි-සූරසීහ-නාරද-ධම්මසණ්ඨිර යන මේ මහතෙරුන් ද ලවාය. ඒ රජ ධජ ලක්‍ෂයකින් හරිපුඤ්ජය මහාධාතුව පිදී. හෙතෙම අට වර්‍ෂයක්රාජ්‍යයකොට ශශ වර්‍ෂයේදී සියපුත් කුමරුට රාජ්‍යය පාවා දුණි. එසේකොට එකොළොස් වර්‍ෂයක් ජීවත්ව සිට ව්‍යාඝ වර්‍ෂයේදී පරලොව ගියේය. ඔහුගේ වයස පණහක් විය.

ජංරාය රජුගේ පුත්‍රයා ශාර්දූල වර්‍ෂයෙහි උපන් බිලකපනත්තාධි රාජයා යයි දතයුතු. තෙළෙස් වියැති හෙතෙම අටසියසත්පණස් වෙනි ශක වර්‍ෂයේ නිකිණි මස පුරපසළොස්වක්දා අභිෂේක ලද්දේය. අභිෂේක ලැබූ කාලයේ පටන් බුදු සස්නෙහි පැහැදී උතුම් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අපරිමිත මහෝඝයකින් කැළඹුණු මහාසාගරය මෙන් නිරතුරුව නොයෙක් සියගණන් සිවුපසය දීම් ආදියෙන් යුක්ත විය. අභිෂේකයෙන් දෙවෙනි වූ මහෝරග වර්‍ෂයේදී, අටසියඅටපණස්වෙනි ශක වර්‍ෂයේ වෙසක්පුරසතවක් ලත් අඟහරුවාදා තමාගේ සීයා ද පියා වූ යුවරජු ද පෙර විසූ ගමෙහි එක් ආරාමයක් කරවිය. ඒ ආරාමය නබ්බිසි පුරයේ නැගෙනහිර දෙසැ පිහිටි බැවින් පූර්‍වාරාමයයි නම් කෙළේය. එයින් තුන්වෙනි වූ තුරඟ වර්‍ෂයේදී ඒ මහාවිහාරය මැද බුද්ධ ප්‍රතිමාවක් තැබීම පිණිස ප්‍රාසාදයක් ගොඩනැංවිය. එයින් සිවුවෙනි වර්‍ෂය වූ කුක්කුට වර්‍ෂයේදී බිලකපනත්තාධිරාජතෙමේ පූර්‍වාරාමයෙහි තමා කරවූ පොත්ගුලෙහි රන්පොත් පිහිටුවීමේ පූජාවකොට සිය මව වූ සිරියසවතී දේවියගේ උපන් තැන වූ කුසාවතියෙහි කරවූ කුමාරාරාමයේ ද මහෝත්සවයක් පැවැත්විය. ඉන්පසු අටසිය හැටහයවෙනි මූෂික වර්‍ෂයේ ඇසළමසපුර එකළොස්වක්ලත් බෘහස්පතින්දා පූර්‍ව ඵාල්ගුණි නැකත පවත්නා කල්හි ඒ අධිරාජතෙමේ පුෂ්පාරාමයෙහි මහපිළිමයක් වාත්තු කරවීමට පටන් ගත්තේය. එයින් දෙවෙනි වූ පශු වර්‍ෂයේ දී බක්මසපුර අටවක්ලත් ගුරු දින පුනර්‍වසු නැකත පවත්නා කල්හි ඒ පිළිමය වැක් කරවිය. තඹලෝ කෝටියක ප්‍රමාණය ඇති මේ බුද්ධ රූපය කොටස් අටක් ඇතිවෙන සේ වාත්තු කරවන ලදී. පොසොන් මස මුල්රිවි දින තයසීයපුරයෙහි සිරිපා සටහනක් ප්‍රකට විය. මහාබුද්ධ රූපයේ වැඩ අවුරුදු පසකින් නිමාවට ගියේය. අටසියඑක්සැත්තෑ වෙනි ශකවර්‍ෂයේ බක්මස පුරසිවුවෙනිදා වූ බදාදා රජතෙමේ සෙනවි-ඇමතියන් හා නුවර වැසියන් ද නිකාය තුනේ භික්‍ෂූන්ද අසල්වැසි රජුන්ගේ දූතයන්ද සමග ඒ පිළිමය වාත්තු කළ තැනින් ගෙන ගොස් පුෂ්පාරාමයේ පෝයගෙයි තැබීය. එසේ තබා, තුන්කොටසේ වූ දහසක් පමණ භික්‍ෂූන්ට සුදු හා රතු පැහැති චන්‍ද්‍රකෞශික වස්ත්‍රාදිය ඇති මහාදානයක් දී විශාල වූ ප්‍රතිමා පූජාවක් කෙළේය.

පුෂ්පාරාමයෙහි මහාබුද්ධ රූපය පිහිටි කාලයයි.

ඉන්පසු බිලකපනත්තාධිරාජයෝ තමාගේ පිය රජුගේ සිරුර දැවූ තැන සීයා වූ බිලක රජු කරවූ මහාබෝධාරාමයෙහි සරසින් රියන් අටසැත්තෑවක් හා වියතක් ඇති වෘෂභ ලක්‍ෂණ ඇති එක් පෝයගෙයක් කරවිය. එහි ගල්කණු නිමිති ඇති තැන පළලින් රියන් එක්සාළිසක් ද දිගින් එක්සියසොළොස් රියනක්ද විය. ගම්කෙත පළලින් තිස්බඹයක් ද දිගින් ඔබ සතළිස් නමයක් ද විය. රජතෙමේ එය අවට වටේ යාහැකි භූමියක්ද වෙන් කරවිය. එය දිගින් බඹ සැටක්ද පළලින් සතළිසක් ද ඇත්තේ විය. බුදුන් පිරිනිවීමෙන් දෙදහස් සිවුපණස්වෙනි වර්‍ෂයෙහි, ශක වර්‍ෂයෙන් අටසියදෙසැත්තෑවෙනි තුරංග වර්‍ෂයේ බක්මස අවඅටවක්දා රාජාධිරාජතෙමේ ග්‍රාමක්‍ෂේත්‍රයට අයත් ඒ වටේ යා හැකි භූමිය දුන්නේය. සීමාසම්මුති කාලයේදී රජුගේ ආරාධනා ඇතිව නොයෙක් නුවරවලින් පැමිණි භික්‍ෂුසංඝතෙමේ මහාබෝධරාමයෙහි රැස්විය. විනයධර තෙරවරු එහි කළ යුතු සියලු දේ කළහ. එයින් දෙවෙනි වර්‍ෂයෙහි හෙවත් අටසිය තෙසැත්තෑවෙනි අජ වර්‍ෂයේ වෙසක්පුර තියවක්ලත් තමා උපන්දින වූ ඉරිදා අස්විද නැකත ඇතිකල්හි එය පිරිසිදු සීමාසම්මුති වාක්‍යයෙන් සම්මත කරවිය. එකල බිලකපනත්තාධිරාජතෙමේ “මෙය වෙනම ගමක් වේවා”යි කියා (ප්‍රශ්නයට උත්තර වශයෙන්) “ස්වාමීනි, ගල්ක්” යයි කීය. බෝධාරාමධිපති මහතෙරුන් හා අභයසාර මහතෙර සම්මුතිකමර්‍ වාක්‍යය කීහ. ඒ සීමාව සම්මත කළ කාලයේදී රජතුමා තිස්වයස් ඇත්තේය; බෝධිරාමාධිපති මහතෙර සත්සාළිස්වස් ඇත්තේය. එකල නබ්බිසි පුරයෙහි අන්‍ය වූ සුමංගල-බ්‍රහ්මදත්ත-ඤාණසිද්ධි-සුරිය-ඤාණරංසි-ධම්මවංස-දීපංකර-ආනන්‍ද-සහස්සරංසී-සරභංග-බුද්ධාදිච්ච-වජිරපඤ්ඤා යන තෙරවරු ද හරිපුඤ්ජයෙහි ඤාණමංගල තෙරද, ජංරාය පුරයෙහි ඤාණාලංකාර තෙරද, ජයසේන පුරයෙහි ඤාණවිලාස-ඤාණසිද්ධි-සද්ධම්මරංසි තෙරවරුද, බ්‍යාව නුවර රතනපඤ්ඤ-සීලවිලාස තෙරවරුද ඛෙලාංග නුවර චන්‍දරංසි, රතනපඤ්ඤ තෙරවරුද, ජාංග නුවර දේවමූළ තෙරද යන මේ චිරරාත්‍රඥ වූ, පිටකත්‍රයෙහි කළ පුරුදු ඇති, විනයෙහි තත්ත්‍වය දන්නා වූ මහාශිෂ්‍ය පිරිස් ඇති, ගණාචාර්‍ය වූ තෙරවරු මහාබෝධාරාමයෙහි රැස්ව සමගියට පත්වූහ.

ඒ සීමාව සම්මත කළ පසු අධිරාජතෙමේ තමාගේ පියාට ද මවට ද මහපින් රැසක් පතමින් සංඝයා ලවා එහි උපසම්පදා කර්‍මය කරවිය. අටසිය තෙතිස්වෙනි අජ වර්‍ෂයේ වෙසක්පුර සවෙනිදා වූ බදාදා රෙහෙණ නැකත ඇතිකල්හි ද සියලු සිංහල වංශික සංඝතෙමේ ඒ සීමාවේදී කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. ඒ උපසම්පදා කර්‍මය වෙසක් පසළොස්වක්දා නිමාවට ගියේය. එකල මහරජතෙමේ පිටරටවලින් ආවා වූද නබ්බිසි පුරවැසි වූ භික්‍ෂූන්ට සුදු රතු පැහැති චන්‍දකෝසෙය්‍ය චම්පා වස්ත්‍ර ආදිය ඇති සිවුපසය පිදී. මහාබෝධාරාමයේ සීමාව සම්මත කළ කාලයේ පටන් මුත්තණු රජුට ද පිය රජුට ද මහාපුණ්‍ය ස්කන්‍ධයක් වැඩීම පිණිස වර්‍ෂයක් හැර වර්‍ෂයකදී සංඝකර්‍ම කෙරෙව්වේය.

මහාබෝධාරාමයෙහි සීමාසම්මුති කාලයයි.

ඒ අවුරුද්දේම දුරුතු පසළොස්වක්දා රජතෙමේ සියලු නුවර වැසියන් සමග මහාධාතු චෛත්‍යය රිදී වැටකින් වටකරවිය. තුන්වටයක් ඇති ඒ වැට රිදී දෙලක්‍ෂ විසිදහසකින් යුක්තවිය. ඒ[1] සියල්ල රත්තරන් මිලදී ගැනීම සඳහා යෙදවිය. ඒ මුදලෙන් රන් විසිපන්දහසක් ගෙන ඝන රන් පටින් ඒ මහාධාතු චෛත්‍යය වැස්විය. දුරුතු පසළොස්වකට පෙරදී ඒ මහාධාතු චෛත්‍යයෙහි වූ රන් ප්‍රමාණය පාද දහනවලක්‍ෂ අසූපන්දහස් සාරසිය දෙකකුත් භාගයක් විය. [2]ඒ මාසයේම පුරනවක්ලත් බදාදා ශ්‍රාවණ නැකත ඇතිකල්හි තාලාරාමයෙහි චෛත්‍යයක් කරවිය. එයින් දෙවෙනි වූ මර්කට වර්‍ෂයේ ඇසල පුරසත් වෙනිදා උත්තරඵාල්ගුණී නැකත ඇතිකල්හි බිලකපනත්තාධිරාජ තෙමේ හරිපුඤ්ජය නුවර උතුරු දිශාවෙහි ගංගා දෙක එක්වෙන තැන පිහිටි සණ්ඨිර ගමෙහි රාජ මන්‍දිරයක් ගොඩනැංවිය. එයින් දෙවෙනි නිකිණි මස පුරදසවක්ලත් සිකුරාදා අනුර නැකත ඇතිකල්හි රජතුමා ඒ මන්‍දිරයට ප්‍රවිෂ්ට විය. එයින් තුන්වෙනි කුක්කුර වර්‍ෂයේ වෙසක්මස පුරතෙළෙස්වක්ලත් බ්‍රෘහස්පතින්දා අධිරාජතෙමේ මේ නබ්බිසි පුරයෙහි තමාගේ මහාවිනිශ්චය ශාලාවත් හරිපුඤ්ජය නුවර මහාධාතු විහාරයත් කරවිය. ඒ දෙකේම පටන් ගැනීම එකවිට සිදුවිය. ඒ අටසියසයසැත්තෑවෙනි ශක වර්‍ෂයේ නවම්මස පුරසතවක්දා බිලකපනත්තාධිරාජතෙමේ ජයසේන පුරයට ගියේය. එහි යන්නේ නබ්බිසි පුරයෙහි සිටි ශ්‍රමණ සමූහ තුනට ආරාධනාකොට ගියේය. මහාබෝධාරාමාධිපති තෙරුන් ප්‍රමුඛ විසිනමක් පමණ සිංහල වංශික තෙරවරු එහි ගියහ. එහි ගිය රජ ජයසේන පුරයෙහි උපසම්පදාවක් කරවනු කැමැත්තේ නබ්බිසි පුරයෙන් ද අන්‍ය පිටදේසවලින් ද තුන්නිකායික භික්‍ෂූන්ට ආරාධනා කෙළේය. බක්මස පුරනවක්දාට පැමිණි සිකුරාදා මහරජ ජයසේන පුරය මැද පිහිටි මහාවිහාරයෙහි මහසෑයක් පිණිස අත්තිවාරම් කැණවිය. බක්මස අවපැළවියලත් තමාට අයත් සිකුරාදා මහාසෑය බැඳීම ආරම්භ කරවිය. එය පළලින් බඹපසළොසකි, උසින් බඹ විසිපහකි. ඒ රජු විසින් ආරාධිත වූ හැම භික්‍ෂූහු හැම නුවරවලින් අවුත් ජයසේන පුරයෙහි රැස්වූහ. රජතෙමේ භික්‍ෂූන්ට උපසම්පදාව කිරීම පිණිස පල්ලාකදීපයට උඩහින් නැව් එකතුකර බැන්දවිය. ශ්‍රමණ සමූහ තුන අතුරෙන් මහාබෝධාරාමාධිපති මහතෙරුන් ප්‍රමුඛ සිංහලවංශික එක්සිය අටනමක් වූ සංඝතෙමේ බුදුන් පිරිනිවීමෙන් දෙදහස් පණස්නවයක් වූ, අටසියසත්සැත්තෑවෙනි ශක වර්‍ෂයට අයත් කුඤ්ජර වර්‍ෂයේ බක් අටවක්දා උතුරුසළ නැකත පවත්නා කල්හි නාවාසංඝාටයට නැග උදකුක්‍ඛෙප සීමාවේදී දෙසිය තිස්පස්දෙනෙක් වූ කුලපුත්‍රයන් උපසම්පන්න කෙළේය. ඒ උපසම්පදා කර්‍මය එකොළොස් වෙනිදා නිමාවට ගියේය. ඊට අනතුරුව නගරවාසී භික්‍ෂු ගණයා ඒ පහුරටම නැගී තුන්සිය සැත්තෑවක් කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. ඊට අනතුරුව පුෂ්පාරාමවාසී[3] ගණතෙමේ එක්දහස් එකොළොසක් කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය.

රජතෙමේ මහාරත්තවනාරාමයෙහි පුස්තකාලය සඳහා තමාගේ රාජ මණ්ඩපය තැබ්බවීය. හෙතෙමේ ජයසේන පුරයේදී සිය මෑණියන් සමග ලක්‍ෂයක් පමණ වූ චන්‍දකොසෙය්‍ය-චම්පාදි වස්ත්‍ර පරිත්‍යාග කෙළේය. මෙසේ ජයසේන පුරයේදී රත්නත්‍රය පිදීමෙන් නොයෙක් කුශල කර්‍මයන් රැස්කොට නැවත ජංරාය පුරයට හැරී ආය. එහිදීත් නොයෙක් කුශල කර්‍මයන්කොට නබ්බිසි පුරයට හැරී ගියේය. ජයසේන පුරයෙන් ආ රජතෙමේ ඒ කුඤ්ජර වර්‍ෂයේ ඇසළපුර තුදුස්වක්දාට පැමිණි ඉරිදා දෙටනැකත පවත්නා කල්හි මේ නබ්බිසි නුවර උපසම්පදා කර්‍මය කරවිය.

ජයසේන පුරයට යාමේ කථාවයි.

  1. රිදී කාසි තුන් වටයක් තැබීමෙන් පූජාකොට ඒ මුදල් එක්කොට එයින් රත්රන් මිලට ගත්තේ යයි සිතමි.

  2. පාදය කහවණුවෙන් සතරෙන් කොටසකි. අද සියමේ රුපියලක වටිනාකම පාදයකි. එය ඔවුහු “භාත්” යයි ශබ්ද කරති.

  3. පොතේ පෙනෙන්නේ “පුප්ඵවාසී” යන්නයි.