මැණික් පිළිමයේ කථාව

ඉන්පසු බිලක රජතෙමේ සිංහල වංශික භික්‍ෂූන් වෙතින් බෝගස් සිටුවීමේ ධර්‍ම කොටස අසා මහාබෝධියක් පිහිටුවනු කැමතිව තැනක් සොයන්නේ මේ මහාබෝධාරාමය පිහිටි තැන දිටී. එසේ දැක ශක වර්‍ෂයෙන් අටසිය සතළොස්වෙනි කුංජර වර්‍ෂයේදී නබ්බිසි නුවරින් වයඹ දෙස රෝහිණී ගංතෙර එක්තරා උස් වූ රම්‍ය ස්ථානයක උත්තමපඤ්ඤ නම් තෙරුන්ට විසීම පිණිස ආරාමයක් කරවිය. ඒ වර්‍ෂයේදීම එහි බෝගසක් රෝපණය කරවිය. ඉන්පෙරදීම ලක්දිවට ගිය භික්‍ෂූහු දකුණු ශාඛා මහාබෝධියෙන් ඇට ගෙනවුත් දේව පර්‍වත පාදයෙහි වූ ආරාමයක පැලකළහ. රජතෙම එතැනින් එය ගෙනවුත් මෙහි රෝපණය කරවිය. මහාබෝධියක් රෝපණය කරන ලද බැවින් මේ ආරාමය “මහාබෝධාරාමය”යි ප්‍රකට විය. එය රෝපණයකොට මාරවිජය කළ මහාබෝධිය අසළ පිහිටි වේදිකාව වැනි වේදිකාවක් ද සත්සතියැ වූ තැන්ද ගොඩනැංවිය. ඉන්පසු අටසිය තිස්වෙනි මර්‍කට වර්‍ෂයේදී ඒ ආරාමයෙහි මහාවිහාරයක් කරවිය. ඉන්පසු අටසිය සාළිස්වෙනි කුක්කුර වර්‍ෂයේදී බිලක මහරජ ලක්‍ඛපුරාගම රජු කරවූ පුරාණ රාජකූටය සීහළගොත්ත නම් සෙන්පතියා ලවා සංස්කරණය කරවිය. එය පරණකූටයට වඩා උසින්ද මහතින් ද වැඩිවිය. පළලින් බඹතිස් පහක් ද උසින් බඹ හතළිස් පහක්ද ඇති එක් මුදුනකින් යුත් රාජකූටය අතිශයෙන් ප්‍රසාද එළවන්නේ, නබ්බිසි පුරයට තිලකයක් වැනි වූයේ, ශක්‍රයාගේ මසක්කසාර නුවර සිළුමිණ සෑය මෙන් බබළයි. මහාධම්මගම්භීර තෙරුන් විසින් ලක්දිවින් ගෙනෙන ලදින් පරම්පරාගතව සීහළගොත්ත මහසෙනෙවියා විසින් පුදන ලද ධාතු නමද හෙතෙම එහි පිහිටුවිය. එයින් සිවුවෙනි පශු වර්‍ෂයේදී එය නිමකරවිය. ඒ රාජකූටය ආරම්භ කළ වර්‍ෂයේ පටන් නිමවීම දක්වා නොයෙක් ආශ්වර්‍යයෝ පහළ වූහ. ධාතු තේජසින් මහපොළොව නැවත නැවත කම්පා විය. රාජකූටය නිමිකල්හි බිලක මහරජ තෙමේ ශක වර්‍ෂයෙන් අටසිය හතළිස් තුන්වෙනි පශු වර්‍ෂයේදී ඛෙලාංග නුවරින් අප්‍රමාණ තේජස් බල ඇති මැණික් පිළිමය ගෙනවුත් ඒ රාජකූටයෙහි තැබීය.

ඒ මැණික් පිළිමයේ උපත මෙසේ දතයුතු: බුදුන් පිරිනිවීමෙන් අවුරුදු පන්සියයක් ඇවෑමෙන් ධම්මරක්‍ඛිත නමැති තෙරනමක් පුප්ඵවතීපුරය (-පාටලීපුත්‍රය) ආශ්‍රයකොට අශෝකාරාමයෙහි විසී. එතුමාගේ ශිෂ්‍ය නාගසේන නමැති තෙරනමක් විය. හෙතෙම මිලිඳු රජුගේ ආචාර්‍යස්ථානයෙහි සිටියේය. ධම්මරක්‍ඛිත තෙරුන් ඇවෑමෙන් නාගසේන තෙර “කොයි ආකාරයකින් අනාගතයේදී ශාසනය බබළවන්නෙම්දැ”යි සිතී. ඉක්බිති බුදුපිළිමයෙන් ශාසනය බබළන්නේ යයි දැනගත්තේය. නැවත “ඉදින් මම රනින් හෝ රිදියෙන් බුද්ධ රූපයක් කරවන්නෙම් නම් අනාගතයේ මිනිස්සු ලෝභයට වසඟව පවිටු අදහස් ඇත්තෝ බුදුපිළිමයට අනතුරු කරන්නාහ. ඍද්ධිමත් මැණිකකින් බුදුපිළිමයක් කරවන්නෙම් නම් යෙහෙකැ”යි සිතී. එකෙණෙහි එතුමාගේ සිතිවිල්ල දැන සක්දෙව් රජ තව්තිසාවෙන් බැස විශ්වකර්‍මයා සමග තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, කිමෙක්ද? ඍද්ධිමත් මැණිකකින් බුදුපිළිමයක් කරවන්නාහුදැ”යි ඇසී. “එසේය, මහරජ”යි කීවිට ශක්‍රතෙමේ විස්කම් අමතා “දරුව, යව, වේපුල්ල පවර්‍ත පාර්ශවයෙහි තිබෙන ජෝතිරතන මැණික ගෙන එව”යි අණ කෙළේය. විස්කම්තෙමේ “දේවයෙනි, කුම්භාණ්ඩයෝ එය මට නොදෙන්නාහ”යි කීය. එවිට ශක්‍රතෙම ඔහු හා වේපුල්ල පවර්‍තයට ගොස් කුම්භාණ්ඩ රජු අමතා “මම ජෝතිරතන මැණික ගෙන යාම සඳහා ආවෙමි; එය මට දෙව”යි කීය. කුම්භාණ්ඩ රජ “මේ මැණික සක්විති රජුගේ පරිභෝගයකි; එබැවින් එය දිය නොහැක. එසේද වුවත් ප්‍රමාණයෙන් දෙරියනක් හා අඟල් තුනක් ඇති මරකත මාණික්‍යයක් සත්සිය පණසක් රත්නයන් පිරිවරකොට ගෙන ජෝතිරතන මැණික තිබෙන ප්‍රාකාරය ඇතුළේ තිබෙයි; එය ගත මැනවැ”යි කීය. ඉක්බිති ශක්‍රයා එය ගෙනවුත් තෙරුන්ට දුණි. තෙරණුවෝ “මේ ගලෙන් බුදුපිළිමයක් කරන්නා කවරෙක්දැ”යි සිතී. එකෙණෙහි විශ්වකර්‍මතෙමේ රූප සාදන ශිල්පියකුගේ වෙසින් අවුත් ඍද්ධියෙන් නොව අතින්ම එය කැපී. හෙතෙම සත්රෑ දාවලකින් රියනක් හා අඟලක් උසැති බුදුපිළිමයක් ඒ ගලෙන් කපා නිම කෙළේය. ඉක්බිති රහතන් සමග තෙරනම ද දෙවියන් සහිත සක්දෙව්රජ ද සත්දිනක් මුළුල්ලේ ඒ පිළිමයට පූජා පැවැත්වූහ. එකල්හි එය නොයෙක් ප්‍රාතිහාර්‍යයන් පෙන්විය. තෙරනම ධාතු සත්නමක් ඒ පිළිමයට ඇතුල් වෙන සේ අධිෂ්ඨාන කෙළේය. ඒ අධිෂ්ඨානය සමග එක් ධාතුවක් හිස මුදුනෙහි එකක් නළලෙහි ද එකක් හෘදයෙහි ද දෙනමක් අත්දෙකෙහිද දෙනමක් දන දෙකෙහිද ඇතුල්වූහ. තෙරනම අනාගත කාලය දැක “මේ පිළිමය කාම්බෝජ-අරිමද්දන-සියම් යන රට තුනක බබළන්නේ”යි ප්‍රකාශයක් කෙළේය. රාජපරම්පරාව අටසියවෙනි ශාසනවර්‍ෂය දක්වා එය පිදීය. බන්‍ධුමරජය, ඔහුගේ මුණුබුරු කලංධම්ම රජය, සිරිධම්මකිත්ති රජය යන රජවරු තිදෙන ඒ පරම්පරාවේ අන්තිමයෝ වූහ.

සිරිධම්මකිත්ති රාජ කාලයේදී මහාකලියුගය විය. එබැවින් ඒ පිළිමය මිනිසුන් ගෙන යාමෙන් ලංකාද්වීපයෙහි පිහිටියේය. බුද්ධ වර්‍ෂයෙන් එක්දහස් දෙසියයක් ඉක්මි කල්හි අරිමද්දන නුවර එක් ධාර්මික රජෙක් පහළ විය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් අනුරුද්ධ රජ ඍද්ධි ඇති අහසින් යන්නෙක් විය. බුදුසස්නෙහි පැහැදුණු ඒ රජ තුන්පිටකය ලියවනු කැමැත්තේ “අපේ රටේ පිටකත්‍රය ශුද්ධද අශුද්ධදැ”යි පණ්ඩිතයන්ගෙන් විචාළේය. ඔවුහු “මේ රටේ පොත් අශුද්ධය; ලක්දිව පොත් ශුද්ධය”යි කීහ. එය’සා හෙතෙමේ තුන්පිටකය ලබාගන්නෙමියි ආජානීය අසකු පිට නැගී අහසින් ලක්දිවට ගියේය. ඔහුගේ පිරිවර ජනයෝ නැවකින් ගියහ. එහි ගොස් ලංකේශ්වර රජුට “අපි තුන්පිටකය ගන්නෙමු”යි කීහ. “එසේනම් අපි ලියවන්නෙමු”යි ලක්දිව රජ කීය. අනුරුද්ධ රජ “තොපගේ ලිවීම මට රුචි නැත; අපිම ලියන්නෙමු”යි කියා තුන් පිටකයද නිරුත්ති පිටකයද ලියාගෙන එක් නැවක පිටක දෙකක් ද එක් නැවක පිටක දෙකක් හා මැණික් පිළිමය ද තබ්බවාගෙන ආවේය. මූදට බැස්ස ඒ නැව් දෙකෙන් එකක් අරිමද්දනයට පැමිණියාය; පිළිමය තැබූ නැව සැඩ සුළඟින් ගොස් මහානගරයට[1] පැමුණුණු. බොහෝකලක් ඒ මැණික් පිළිමය ද පිටක දෙකක ද මහානගරයෙහි තිබුණාහ. අනුරුද්ධ රජ ඒ ප්‍රවෘත්තිය අසා අසකු පිට නැගී අහසින් මහානගරයට පැමිණ සංඝාරාමයට ගොස් අසුපිටින් බැස එක් ගලක් උඩ මූත්‍ර කෙළේය. ඔහුගේ මූත්‍ර ගල බිඳගෙන යටට බැස්සේය. එක් භික්‍ෂු නමක් ඒ සිද්ධිය දැක “උපාසකය, ඍද්ධිමත් වූ ඔබ කවරෙක්දැ”යි ඇසී. රජතෙම තමාගේ නම නොකියා “ස්වාමීනි, මම අනුරුද්ධ රජුගේ සේවකයෙක්මි”යි කීය. “කුමක් පිණිස ආවෙහිදැ”යි ඇසූවිට “පිටක දෙක ගැනීමට ආවෙමි”යි කීය. ඒ භික්‍ෂු නම මහාස්වාමීන්ට කීය. මහාස්වාමිතුමා රජුට මෙසේ දැන්විය: “අනුරුද්ධ රජ ඔබට ලැබුණු පිටක දෙක ගෙන යාමට දූතයෙක් එවීය”යි. රජතෙම “මාගේ පිනින් ලැබුණු පිටක දෙක මම කිසිවකුට නොදෙමි”යි කීය. එයැසූ අනුරුද්ධ රජ ලී කැබැල්ලකින් කඩුවක් සාදා ඒ කඩුවේ මුවාතේ සුණු තවරා අසුපිට නැගී තුන්වරක් ප්‍රාකාරය මත්තේ කරකැවී රාජාදීන් බලා සිටියදීම ඒ ලී කඩුවෙන් ඔවුන්ගේ ගෙලවල් සිඳ තර්‍ජනයකොට “ඉදින් තොපි මට පිටක පොත් නොදෙව් නම් මේ ආකාරයෙන් තොපගේ ගෙලවල් සිඳින්නෙමි; තොපගේ බෙලි අතගා බලව්” යයි කීය. නුවර වැසියෝ බෙලි අතගා බලා සුණු තැවරී තිබෙනු දැක මරණ බියෙන් බියපත්ව රජුට ඒ කාරණය දැනුම් දුන්හ. ඉක්බිති මහානගරාධිපති රජ අනුරුද්ධ රජුට පිටක දෙක දුණි. අනුරුද්ධ රජ පිටක පොත් ගෙන මැණික් පිළිමය ගැන සිහිනැතිව සිය නුවරට ගියේය.

මෙසේ මැණික් පිළිමය කාම්බෝජ රට ප්‍රකට විය.

එකල මහානගරාධිපති රජුගේ පුත්‍රයා එක් නිලමැස්සෙක් පෝෂණය කෙළේය. රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයා මකුළුවකු පෝෂණය කෙළේය. එක්දිනක් මකුළුවා රජකුමරුගේ මැස්සා අල්වා කෑවේය. රජකුමරා ඌ කෙරෙහි ප්‍රේමය නිසා මහත් සේ විලාප කීය. භටසේනාව ඒ කාරණය රජුට දැන්විය. එයසා රජ පුරෝහිත පුත්‍රයාට කිපී ඔහු ගෙන ගොස් දලේසාප නම් විලේදී මැරවිය. පුරෝහිතයා රජුට කිපී “මෙයින් මේතෙම අධාර්මිකය”යි තමාගේ භාර්‍යාව රැගෙන පලා ගියේය. ඉක්බිති නාරජෙක් රජුට කිපී මහාගංවතුරකින් එනුවර විනාශ කරවිය. නැව්-ඔරුවල සිටි මිනිසුන් හැර ඉතිරි සියල්ලෝ මහා විනාශයට පත්වූහ. එකල මිනිස්සු රුවන් පිළිමය ගෙන නැවකින් ගොස් එක් පිටිසර පෙදෙසක තැබූහ. ඉන්පසු ආදිත්‍ය නමැති අයෝධ්‍ය පුරාධිපති රජමහානගරය අල්වාගෙන මැණික් පිළිමය ගෙන ගොස් අයෝධ්‍ය පුරයෙහි තැබී. එහි රජවරු ද නුවරු ද බොහෝකලක් එය පිදූහ. ඉන්පසු වජිරපාකාරපුරාධිපති රජෙක් අයෝධ්‍ය පුරයට ගොස් රුවන් පිළිමය ගෙන වජිරපාකාරපුරයෙහි තබා දිගුකලක් පිදී. ඉන්පසු වජිරපාකාර නුවර තිපඤ්ඤ රජ රාජ්‍යය කරවන්නේ ඒ පිළිමය පිදී. එකල කිලනා රජුගේ බාලසොහොයුරු මහාබ්‍රහ්ම රජ ජංරාය පුරයෙහි රජය කරවිය. හෙතෙම සිංහල පිළිමයේ ද මැණික් පිළිමයේ ද ආශ්වර්‍යයන් අසා අසූදහසක් සේනාව සමග වජිරපාකාරයට ගොස් මැණික් පිළිමය ගෙන ජංරාය පුරයට අවුත් පූජා කෙළේය. සියල්ල සිංහල පිළිමය ගැන කී සේ දතයුතු.

ලක්‍ඛපුරාගම රජ තමාගේ සුළු පිය වූ මහාබ්‍රහ්ම රජු සමග යුද්ධකොට ලත් ජය ඇත්තේ ජංරාය පුරයට ගොස් සිංහල පිළිමය පමණක් ලැබීය, මැණික් පිළිමය නොලැබී. කවරහෙයකින්ද? මිනිසුන් විසින් සඟවන ලද හෙයිනි. කලියුග කාලයේදී සුණු ආලේප කිරීමෙන් ඒ පිළිමය අප්‍රකට විය. බිලක රජු නබ්බිසි නුවර රජය කරවන කල්හි එය ජංරාය පුරයේදී ප්‍රකට විය. එපුවත අසා බිලක මහරජ ජංරාය පුරයෙන් එය ගෙන්විය. පිළිමය මහාමාර්‍ගයෙන් එන්ට නොකැමැති බැවින් ඔසවන්ට බැරි තරම් බරවී ප්‍රාතිහාර්‍යයක් පෙන්විය. මහ මගින් එය ගෙන යනු කැමති මහාජනයාට එය ඔසවන්ට නොහැකි විය. කුමක් හෙයින්ද? ඒ අතරමග මහානගරයන් නැති බැවිනි. ඛෙලාංග නුවර පිහිටි මගින් ගෙන යනු කැමති වූ විට එක් මිනිසකුටත් එය එසවිය හැකිවිය; ඛෙලාංග නුවර විශාල බැවිනි. එහෙයින් මහාජනයා ඒ පිළිමය ඛෙලාංග නුවරට ගෙනගොස් තැබීය. ඒ නුවර සුවර්‍ණ නමැති ඇමතියා රාජ්‍යය කරවන කල්හි බිලක මහරජ එනුවරින් එය ගෙන්වා වැඩ නිමකළ රාජකූටයෙහි තැබ්බවිය. මෙසේ ඒ මැණික් පිළිමය ඛෙලාංග නුවර තිබුණු බැවිනුත් එනුවරින් ගෙනෙන ලද බැවිනුත් “නගරප්‍රතිමාව” යයි ප්‍රකට විය.

මැණික් පිළිමය පැමිණි කාලය නිමි.

එයින් පසු අටසියපන්සාළිස්වෙනි ශකවර්‍ෂයේ ශශ නමැති අවුරුද්දේ ඇසළ මස පුරතියවක ලත් බදාදා සතභිස නැකැත ඇතිකල්හි සිරිධම්මචක්කවත්ති බිලකාජාධිරාජතෙමේ රජ අණ ඉටුකරන මහඇමතියා වූද සෙන්පතියා වූද සහගොත්ත නමැත්තා ලවා නබ්බිසි නුවර නිරිතදිග පිහිටි තාලවන මහාවිහාරයේ දී ලෝකඩ (වීසා) එක්ලක්‍ෂතිස්තුනක්[2] බරැති ලාව ප්‍රතිමාවට සමාන වූ මහාලෝහ ප්‍රතිමාවක් වාත්තු කරවිය. එසේ කරවා රජතෙමේ තමාගේ ධාතු මන්‍දිරයෙන් මැණික් පිළිම රන්පිළිම සමග පන්සියයක් පමණ ධාතු ගෙනවුත් පිළිමයේ හිසේ තැන්පත් කරවිය. එකල ඒ ආරාමයෙහි ධම්මදින්න නම් තෙර නමක් ගණාචාර්‍ය ද උපාධ්‍යාය ද විය. සිරිධම්මචක්කවත්ති බිලක රාජාධිරාජතෙමේ පන්සාළිස් වර්‍ෂයක් රාජ්‍යයකොට අජ වර්‍ෂයේදී දිවංගත විය. එකල ඔහුගේ වයස අටසැත්තෑවක් විය.

බිලකරාජ කථාවයි.

  1. කාම්බෝජ රට නුවරකි.

  2. “තෙත්තිංසගණිත කංසසතසහස්සපරිමාණං”යි පොතේ පෙනේ. එය තේරුම් ගැනීම අපහසුය. “තෙත්තිංසගුණිත” වුවහොත් තිස්තුනෙන් වැඩිකළ යුතුය. එවිට වීසා තිස්තුන්ලක්‍ෂයක් වේ. වීසාව රුපියල් 100 ක බරයි.