සිඛී පිළිමයේ කථාව

ඒ කුඤ්ජර වර්‍ෂයේදී අයෝධ්‍ය රජ බලසෙනග සමග ඛෙලාංග නුවරට ආවේය. හෙතෙම උඳුවප් පසළොස්වක්දා වූ අඟහරුවාදා එනුවරට අවුත් ශ්වේතකූටාරාමයෙන් සිඛී නමැති බුදුපිළිමයක් ගෙන ඉවත්විය. මෙතැන සිට සිඛී පිළිමයේ උත්පත්තිය කියයුතුය. අයෝධ්‍ය නුවරින් නුදුරු තැන ගඟේ බටහිර ඉවුරෙහි එක් කළු ගලක් විය. අප බුදුන් ජීවමාන කල්හි එක්දිනක් රහතන් විසින් පිරිවරන ලදුව අහසින් වඩින්නේ එහි බැස ඒ කළුගල මත්තේ වැඩහිඳ භික්‍ෂූන්ට දාරුක්‍ඛන්‍ධොපම සූත්‍රය දෙසී, එතැන්පටන් ඒ ගල දෙවිමිනිසුන් විසින් වැඳිය යුතු පිදිය යුතුවිය. එබැවින් එය “ආදරගල” යයි ප්‍රකට විය. එතැන් පටන් ඒ ගල වැඩිමහලු රාමඤ්ඤ දේශවාසීන් විසින් සියබසින් සිලාධිමි යයි කියන ලදී. ඉන්පසු ප්‍රාදේශික රජුන්ට අධිපති වූ රාමඤ්ඤ රට එක් අධිරාජයෙක් මෙසේ සිතී: “ඒ මේ ගල පරිභෝග කළ පමණින් දෙවිමිනිසුන්ට මහත් පින් ලබා ගැනීම පිණිස පවතී. ඉදින් මම එයින් බුදුපිළිමයක් කරවන්නෙම් නම් ශාසනාන්තර්ධානය දක්වා දෙවිමිනිසුන්ට මහත් පින් පිණිස පවතින්නේය”යි. එසේ සිතා ප්‍රතිමා ශිල්පීන් රැස්කරවා බුද්ධරූප පසක් සෑදවිය. එයින් එකක් මහානගරයෙහි ද එකක් ලවපුරයෙහි ද එකක් සුධම්ම නුවර ද තබා දෙකක් රාමඤ්ඤ රටෙහි තබා ගත්තේය. ඒ සියලු බුද්ධ රූප තේජස් ඍද්ධි ඇත්තෝ වූහ. රාමඤ්ඤ රජ ඒ බුද්ධ රූප දෙකට නිතර පුද පවත්වා ස්වර්‍ගපරායණ විය. ඔහුගේ පුත්‍ර රජද එසේම පිදී. ඔහුගේ පුත් මනෝහාර රජ එරට රාජ්‍යය කරවමින් ඒ පිළිම දෙකට නිතර පුද පැවැත්විය.

එකල අරිමද්දන නුවර අනුරුද්ධ නමැති රජෙක් රාජ්‍යය කරවිය. අහසින් යාමේ ඍද්ධි ඇත්තෙක් වූ හෙතෙම කළුගල් ප්‍රතිමාවක් ලබනු කැමතිව මනෝහාර රජු වෙත දූතයකු යැවී. මනෝහාරතෙමේ බුද්ධමාමක බැවින් එය නොදුන්නේය. අනුරුද්ධ රජ ඒ රජුට කිපී භටසේනා සමග රාමඤ්ඤ රටට ගොස් ඔහු හා යුද කොට ඒ රජු පණ පිටින් අල්වාගෙන අරිමද්දනයට ආවේය. අරිමද්දනයෙහි වසන මනෝහාරතෙමේ අතිවිශාල සැතපෙන පිළිමයක් කරවා නිතර පුද පැවැත්විය. ඒ රජ එහිදීම මළේය. අනුරුද්ධ රජු බුද්ධමාමක බව දැනගත් මහානගරාධිපති (කාම්බොජ) රජ තමා පිදූ කළුගල් පිළිමය ඔහුට දුණි. එයැසූ අනුරුද්ධ (බුරුම) රජ මහජනයා ලවා ඒ පිළිමය මහානගරයෙන් ගෙන්වා පිදී. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් දෙසිය වර්‍ෂයක් ඉක්මි කල්හි චම්ම දේවී තොමෝ කළුගල් පිළිමය ගෙන ලව පුරයෙන් අවුත් හරිපුඤ්ජය නුවර රජය කරවීය. ඕතොමෝ ලමක්ක නම් තැනට පැමිණ ලමක්කාරාමය සාදවා එහි එක් කළුගල් පිළිමයක් තැබී. ඒ කාරණය නිසා දැන් ඒ ආරාමයට ආරද්ධබුද්ධාරාමය යයි කියත්. චම්ම දේවිය තක්කාරපුරයෙහි සුධම්ම රජු ලවා රාජ්‍යය කරවිය. ඒ රජ එනුවර රාජ්‍යය කරවන්නේ තමා පිදූ කළුගල් පිළිමය සුධම්ම පුරයෙන් ගෙනවුත් තක්කාර පුරයේ සුධර්‍මාරාමයෙහි තැබ්බවිය. ඒ පිළිමය සුධම්ම රජු විසින් සුධම්ම පුරයෙන් ගෙනෙන ලද බැවින් සුධම්මා නමැත්තීය. සුධම්ම රජ ඒ පිළිමය සොලවන්ට බැරි වෙන සේ කරනු කැමතිව සත්කාරකොට අවසර ගෙන මහබුදුරුව නියනකින් විද ඒ මහබුදුරුව ඇතුළේ මේ කළුගල් පිළිමය තබා බදාම ගා ප්‍රකෘතිමත් කෙළේය. එතැන් පටන් ඒ පිළිමය අද දක්වා දෙවිමිනිසුන්ගේ පූජාවට සුදුසුවිය.

අනුරුද්ධ රජ හරිපුඤ්ජය නුවර සසුන බබළන බව අසා සතුටු සිතැත්තේ වැඩිපුරත් ශාසනයේ බැබළීම ප්‍රාර්‍ථනා කරමින් මහානගරාධිපති රජු විසින් තමාට දෙන ලද සිඛී බුදුන්ගේ ආකාර ඇති කළුගල් පිළිමය හරිපුඤ්ජය නුවර චම්ම දේවිය වෙත යැවී. ඒ අවස්ථාවේදී චම්ම දේවිය මහන්තයස නමැති තමාගේ පුත්‍රයා දැකීම පිණිස ඛෙලාංග නුවරට ගොස් සිටියාය. රාජදූතයෝ ඛෙලාංග නුවරට ගොස් එහිදී චම්ම දේවියට ඒ පිළිමය දුන්හ, චම්ම දේවිය හැරී යන කල මහන්තයස රජ සිය මෑණියන්ගෙන් ඒ පිළිමය ඉල්ලාගෙන ඛෙලාංග නුවර තබා පිදී. එකල සුබ්‍රහ්ම තාපස තෙමේ අනාගතය දැක මෙසේ කීය: “ඉදින් මේ සිඛී පිළිමය වංක නදියේ නැගෙනහිර ඉවුර පැත්තේ තිබෙන්නේ නම් මිනිසුන්ගේ මහත් අභිවෘද්ධිය පිණිස නොපවත්නේය. ඉදින් එය ගඟේ බටහිර පැත්තේ තිබෙන්නේ නම් මිනිසුන්ට අභිවෘද්ධිකාරණයක් වන්නේය”යි. එබැවින් අලුත් ඛෙලාංග පුරය ගොඩනැගු පසු සිඛී පිළිමය නුවරින් බටහිර දෙසැ වූ ගෙවත කූටාරාමයෙහි පිහිටියා යයි දතයුතු.

සිඛී පිළිමයේ උත්පත්ති කාලයයි.