ජිනකාලමාලී ප්‍රකරණය

1. යම් බුද්ධ නමැති සූර්‍ය්‍යයෙක් ඥාන රශ්මියෙන් හා ධර්‍ම රශ්මියෙන් ඉතා ඝන වූ මෝහ නමැති අන්‍ධකාරය දුරුකොට ත්‍රිවිධවිනේය ජනයන් නමැති පියුම් පුබුදු කළේද, ඒ බුද්ධ සූර්‍ය්‍යයා වඳිමි.

2. තුන්ලොව රාගාතුරයන්ට ශ්‍රේෂ්ඨ ඖෂධයක් වූ, මෝහාන්‍ධකාරයෙහි උතුම් පහන් වැටක් වූ - යම් ධර්‍මයක් ග්‍රිෂ්මයෙන් මැඬුනවුන් සනසන රුවන් මාලාවක් මෙන් ද්වේශ ගින්නෙන් මැඬුනවුන් සැනසුවේද, ඒ ධර්‍මය වඳිමි.

3. පින් සොයන්නන්ට කෙතක් බඳු වූ, බුදුරදුන්ගේ වංශය රක්නා වූ යම් සමූහයක් බුදුන්ගේ ප්‍රතිමාවක් මෙන් සන්හුන් ඉඳුරන් ඇත්තේද, දෙවි මිනිසුන්ට උතුම් දක්ෂිණාර්‍හවේද, ගණයන්ට උතුම් වූ ඒ සංඝයා වඳිමි.

4. (මේ ගාථාව දැන් තිබෙන සැටියෙන් තේරුමක් ගත නොහැක.)

5. බුද්ධ-ධර්‍ම-සංඝ යන රත්නත්‍රයට නමස්කාරකොට යම් මහත් පිනක් ලැබුවෙම්ද ඒ පිනින් නැසූ අනතුරු ඇත්තේ ජිනකාලිමාලී නම් ග්‍රන්‍ථය කියන්නෙමි.

එහි ජිනකාලය නම් අපගේ භාග්‍යවත් ගෞතම ශාස්තෲන් වහන්සේගේ ප්‍රාර්‍ථනා කාලය මුල්කොට ගෙන පවත්නා ශාසන පරම්පරා කාලයයි. එය අනේකවිධයි. පිළිවෙළින් මෙසේ දතයුතු; පෙරුම් පුරණ කාල වශයෙන් ප්‍රඥාධිකය, ශ්‍රද්ධාධිකය, වීර්‍ය්‍යාධිකය යන තුන් බෝසතුන් අතුරෙහි අපගේ බෝසත්තෙමේ කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍ය සතරක් පෙරුම් පුරා බුද්ධත්‍වයට පැමිණියේ ප්‍රඥෙන්‍ද්‍රීය බලවත් බැවින් ප්‍රඥාධික නම් වේ. අපගේ භාග්‍යවත් තෙමේ සිතින් සත් අසංඛ්‍යයක් ද වචනයෙන් නව අසංඛ්‍යයක් ද කයෙන් හා වචනයෙන් කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති කල්ප අසංඛ්‍ය සතරක් ද බුදුබව පැතීය. අපේ බෝසතුන්ට ඊට පෙරත් බුදුබව සඳහා ප්‍රණිධානය ඇතත් බුද්ධ දර්‍ශනයක් (=බුදුවරයෙකු දැකීමක්) සිදු නොවූ බැවින් ඒ කාලය ගණන් ගැනීම සිදුනොවේ. එය මෙසේ දතයුතු;

අතීතයේදී අපේ බෝසත්තෙමේ ගන්‍ධාර රට දිළිඳු මිනිසෙක්ව වනයෙන් තමා විසින් ගෙනෙන ලද දර හා තණකොළ විකිණීමෙන් ලත් මුදලෙන් මවට උපස්ථාන කළේය. ඉක්බිති එක් දිනක් ග්‍රීෂ්මයෙන් මැඬුනේ, පිපාසාවෙන් පීඩිතවූයේ මහත් බර උසුළමින් අවුත් එක් නුගගසක් මුල විශ්‍රාම ගනිමින් මෙසේ සිතී; “දැන් ශරීර ශක්තියෙන් යුක්ත වූ මම මේ දුක උසුළන්ට සමත් වෙමි. මහලු කල්හි හෝ රෝගී වූ කල්හි නොහැකි වෙමි. මා ස්වර්‍ණභූමියට ගොස් එහෙන් රන් ගෙනවුත් සුවසේ මවට උපස්ථාන කරන්නෙම් නම් මැනවැ”යි. මෙසේ සිතා බැලමෙහෙ කිරීමෙන් මව සමග නැවක නැග වෙළඳුන් හා ස්වර්‍ණභූමි දේශයට ගියේය. සත්වෙනි දිනයේදී ඒ නැව බිඳුණි. වෙළෙන්ඳෝ මහා විනාශයට පත්වූහ. බෝසත්තෙමේ සිය මව කරේ තබා ගෙන මූදේ පීනයි. එකල්හි ශුද්ධාවාස බඹලොව වැසි එක් බ්‍රහ්මයෙක් “එක් අසංඛ්‍යයක් කල්පයක් ඉක්මීත් බුදුවරයෙක් නූපන්නේය; බුද්ධකාරක ධර්‍මයන් පිරීමට සමර්‍ථ යම්කිසි පුරුෂයෙක් ඇද්දැ”යි මුළු ලොව බලන්නේ තමාගේ ජීවිතය පරිත්‍යාගකොට සිය මව කඳෙහි තබාගෙන කෙළවරක් නැති මහමුහුද තරණය කරන බෝසතුන් දැක “මේ මහාපුරුෂතෙමේ ඒකාන්තයෙන් දෘඪ වීර්‍ය්‍යය ඇත්තේය, අනුන්ට හිතවැඩ පතන්නේය”යි දැනගත්තේය. බෝසත්තෙමේ බ්‍රහ්මයාගේ ආනුභාවයෙන් “මම බුදුවී අන්‍යයන්ට නිවන් අවබෝධ කරවන්නෙමි; මම සසරින් මිදුණේ අන්‍යයන් සසරින් මුදවන්නෙමි; මම සසරින් එතෙර වූයේ අනුන් සසරින් එතෙර කරවන්නෙමි”යි සිත් උපදවා මහාමුහුද තරණය කරන්නේ දෙතුන් දිනක් අවෑමෙන් මූදුතෙරට පැමිණියේය. ඉක්බිති හෙතෙම ජීවිතාන්තය දක්වා මවට උපස්ථානකොට මරණින් මත්තෙහි දෙව්ලොව උපණි. ඔහුගේ මවද කර්‍මානුරූපව උපණි. මේ ප්‍රථම චිත්තොත්පාද කාලයයි.

ඉන්පසු ආත්මයකදී මහාපුරුෂතෙමේ දෙව්ලොවින් ච්‍යුතව සිරිමතී නුවර සත්තුතාප නම් රජෙක් විය. එකල්හි බරණැස් නුවර “සිරිමතී” නම් විය. ඒ රජ ඇතුන් කෙරෙහි ඇලුනෙක් විය. හෙතෙම වැද්දෙකු කී ඇත් රජෙකුගේ පුවත් අසා මුළු යුධ සේනාව සමග ගොස් ඒ ඇත් රජු බන්දවාගෙන ආවේය. එයින් අටවෙනි දිනයේදී හස්ති ශිල්පය දත් හස්ත්‍යාචාර්‍ය්‍යයකු විසින් මනාසේ හික්මවන ලද ඇතුපිට නැගී නුවර ප්‍රදක්ෂිණා කළේය. එකල්හි බොහෝ ඇත් සමූහයෝ රාත්‍රී කාලයෙහි වනයෙන් අවුත් උයනට පිවිස ගස්වල අතු කඩා දමා මලමූත්‍ර විසුරුවා ගියාහුය. රජතෙම ප්‍රදක්‍ෂිණාවසානයේදී උයන් පල්ලාගෙන් ඒ ප්‍රවෘත්ති දැනගෙන උයන බැලීම සඳහා උයනට ඇතුල්ව ඒ මේ අත හැසුරුණි. එකල ඒ ඇතාට ඇතින්නියකගේ ගඳ දැනී කාමරාගයෙන් මත්වූයේ ඇතරුවා බිම දමා පලා ගියේය. රජතෙම දියමන්ති බැඳි අංකුශයෙන් අදින්නේද නැවැත්විය නොහැකිව ඇතුපිටින් දිඹුල් අත්තක එල්ලී ඒ ගසෙහි හිඳගති. ඔහුගේ පිරිස ඇතුගේ පියවර අනුව ගොස් රජු දැක කැඳවාගෙන නුවරට ආහ.

රජතෙම හස්ත්‍යාචාර්‍ය්‍යයා ගෙන්වා “තෝ මා මරණු කැමැත්තෙන් වංචාවක් කෙළෙහි” යයි කීය. හස්ත්‍යාචාර්‍ය්‍යයා “මහරජ කුමක් හෙයින් මෙසේ කියන සේක්ද? මේ ඇතා අතිශයෙන් දැමුණේය. කාමාතුර වූ බැවින් මෙසේ ගොස් තමාගේ මනෝ රථය සිදුකරගෙන නැවත එන්නේය”යි කීය. ඒ ඇතා වනයට වැද ඇතින්න හා අභිරමණය කොට සත්වෙනිදා අවුත් තමා සිටි ඇත්හලේ සිටියේය. රජතෙම ඒ පුවත අසා ඇත්හලට ගොස් සොඬය අතගා “හස්ත්‍යාචාර්‍ය්‍යයෙනි, මෙවැනි ඇතා මා විසින් අකුස්සෙන් නවත්වන්ට නොහැකිවූයේ කුමක් හෙයින්දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, කුමක් කීයෙහිද? රාගය නම් වජ්‍රාංකුශයටත් වඩා ඉතා තියුණුය; එබැවින් ඔහු නැවත්වීම නොහැකි විය; හෙතෙම රාගබලයෙන් එහි ගොස් මාගේ මන්ත්‍ර බලයෙන් නැවත ආවේය”යි කීය. “එසේනම් තාගේ මන්තෞෂධ බලයන් මට පෙන්වව”යි කීවිට හස්ත්‍යාචාර්‍ය්‍යයා “යහපත, දේවයන් වහන්සැ”යි කියා තමාගේ මන්ත්‍ර බලයෙන් ඇතුට ගින්නෙන් රත්වී දිලිසෙන විශාල ලොහො ගුළියක් ගන්ට සැලැස්විය. ඇතා ඔහුට බියෙන් එය සොඬින් රැගෙන අත්නොහැර සිටියේය. රජතෙම ඇතා මැරේය යන බියෙන් එය අත්හරවන්නට නියමකොට සංවේගයට පැමිණියේය. “මේ රාගය ඉතා උණුසුම්ය; රාගය නිසා මේ සත්ත්‍වයෝ නොයෙක් ආකාර ඇති දුක් විඳිත්. මම බුදුවී මොවුන් රාගයෙන් මුදවන්නෙමි”යි බුදුබව සඳහා මනඃප්‍රණිදහනය ඉපිදවීය. එහෙයින් කියන ලදී.

6. “බුදුවූ මම අන්‍යයන්ට නිර්‍වාණාවබෝධය කරවන්නෙමි; මිදුණු මම අන්‍යයන් සසරින් මුදවන්නෙමි; මහත් භයැති සංසාරෝඝයෙන් එතර වූ මම අන්‍යයන් එයින් එතර කරන්නෙමි”යි.

මෙසේ චිත්තප්‍රණිදහනය කොට රාජ්‍යය හැර හිමවතට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව ආයුෂ ඇතිතාක් සිට ආයු කෙළවර දෙව්ලොව උපන්නේය. ඉන්පසු කලක බෝසත් තෙමේ දෙව්ලොවින් ච්‍යුතව මගධ රට සාලද්දියා නම් බ්‍රාහ්මණ ගමෙහි බ්‍රාහ්මණ තරුණයෙක්ව පන්සියයක් බමුණු තරුණයන්ට ත්‍රිවේදය කියෙව්වේය. මවුපියන් මැරුණු කල සියලු ධනය දන්දී තාපස පැවිද්දෙන් පැවිදිව පණ්ඩර නම් පර්‍වතයෙහි වාසය කරයි. මේ ඒරක පර්‍වතයම එකල්හි පණ්ඩර පර්‍වත නම් විය. බෝසතුන්ගේ ශිෂ්‍ය තාපසයන් අතරෙහි දෙටු ශිෂ්‍යතෙමේ මෙතේ බෝසත් විය. ඉක්බිති එක් දිනක් බෝසත්තෙමේ පර්‍වතපාදයක තමාගේ පැටවුන් කනු කැමති එක් ව්‍යාඝ්‍ර ධේනුවක් දැක “අහෝ, සංසාරයට නින්දා වේවා”යි සිතා “මිත්‍රය, සිංහාදීන් කා ඉතිරිකොට ඇති දෙයක් සොයා මේ ව්‍යාඝ්‍රදෙනට දෙන්නෙමු”යි දෙටු ශිෂ්‍යයාට කීය. ඔහු ඒ සඳහා ගිය කල්හි තම සිරුර නොයෙක් පවින් ගැවසුණු බවත් දුකට හේතු බවත් සලකා එයින් මිදෙන උපාය සොයන්නේ බුද්ධකාරක ධර්‍මයන් දුටුවේය. දැකද “අති දුෂ්කර දෙය නොකොට, පරිත්‍යාගයට අපහසු දෙය පරිත්‍යාග නොකොට, ඉවසීමට අපහසු දෙය නොඉවසා බුදුබව ලබන්ට නොහැකිය”යි සිතමින්. (7) “මේ පින්කමින් අනාගතයේදී බුදුවන්නෙමි; සත්ත්‍වයන් සංසාර දුකින් මුදා නිවණට පමුණුවන්නෙමි”යි සිත් උපදවා දෙටු ශිෂ්‍යයා නා කල්හිම පණ්ඩර පර්‍වතය මුදුනෙන් තමා බිමට හෙළා ව්‍යාඝ්‍රිය ඉදිරියෙහි වැටුණි. ව්‍යාඝ්‍රිය එය දැක තමාගේ පැටවුන් කෑම හැර දමා බෝසතුන්ගේ ශරීරය කෑය. එතුමා ඒ කර්‍මයෙන් දෙව්ලොව උපණි.

ඉන්පසුකලක බෝසත්තෙමේ දෙව්ලොවින් ච්‍යුතව කර්‍මාවශෙෂයෙන් පුරාණදීපංකර බුදුරදුන්ගේ වෛමාතෘක[1] සොහොයුරියක්ව උපණි. එකල්හි පුරාණදීපංකර බුදුරද කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ පාරමිතාවන් පුරා සාර නමැති එක් කල්පයකදී චම්පකවති නුවර රජකුලයෙහි ඉපද අවුරුදු දසදහසක් ගිහිගෙයි වැස සතර පෙරනිමිති දැක මහාභිනිෂ්ක්‍රමණය කොට සත්දිනක් ප්‍රදහනවීර්‍යකොට සර්‍වඥතා ඥානය අවබෝධ කළේය. එකල පශ්චිම දීපංකර බෝසත්තෙමේ බමුණු කුලයෙහි ඉපද බුදුසස්නෙහි පැවිදිව පඤ්චාභිඥා-අෂ්ටසමාපත්තීන් ලබා ඒ බුදුන් සමීපයෙන් විවරණ ලැබුවේය. ඉක්බිති එක් දිනක් රජුගේ දුවණියක් පශ්චිමදීපංකර තෙරුන්ට අබ තෙල් දන්දී “අනාගතයෙහි මම බුදුවන්නෙමි; මා බුදුවූ කල මේ අබතෙල් දුන් අනුසසින් සිද්ධාර්‍ථ යන නම ලැබේවා”යි ප්‍රාර්‍ථනාවක් කළාය. “මාගේ ප්‍රාර්‍ථනාව ගැන මාගේ සොහොයුරු බුදුරදුන්ට කිව මැනවැ”යි ද තෙරුන්ගෙන් අයැද තෙරුන් අත පණිවිඩය යැවීය. තෙරනම ඒ කාරණය බුදුරදුන්ට දැනුම් දුණි. බුදුරද “අනාගතයෙහි කල්පලක්‍ෂයක් අධිකකොට ඇති සොළොස් අසංඛ්‍යයක් ඉක්මි කල්හි ඔබ දීපංකර නමැති බුදුහු වන්නාහ. එකල්හි ඔබ මාගේ සොහොයුරියට විවරණ දෙන්නාහ”යි බුදුරද කීය. හෙතෙම බුදුන්ගේ කීම අසා සතුටුව වැඳ පැදකුණුකොට ගියේය. අපේ බෝසත් බුදු හමුවට පැමිණි නමුත් ස්ත්‍රීභාවයෙහි සිටි බැවින් ඒ පුරාණ දීපංකර බුදුන්ගෙන් විවරණ නොලැබී මෙසේ බාහිර නිදාන කථාවේ මනඃප්‍රණිදහනකාලය පිරුණේයි.

දැන් මහානිදාන කථාව පැමිණියෝය.

8. සිතීම හෙවත් මනෝපණිධානය අසංඛ්‍ය සතකි; වචනයෙන් ප්‍රකාශ කිරීම අසංඛ්‍ය නවයකි. (ඉතිරි සාරාසංඛ්‍යකල්ප ලක්‍ෂය) මුළුල්ලේ වචනයෙන් කීම හා ක්‍රියා කිරීමෙන් බුද්ධත්‍වයට පැමිණියේය.

බ්‍රහ්මදේව බුදුරදුන් පටන් පුරාණශාක්‍යමුනි බුදුරදුන් දක්වා සත් අසංඛ්‍යයක් සිතින් ප්‍රාර්‍ථනා කිරීමේ කාලයයි. පුරාණශාක්‍යමුනි බුදුරදුන්ගේ පටන් දීපංකර බුදුරදුන් දක්වා නව අසංඛ්‍යයක් වචනයෙන් ප්‍රාර්‍ථනා කිරීමේ කාලයයි. දීපංකර බුදුන් පටන් පදුමුත්තර බුදුන් දක්වා අසංඛ්‍ය හතර වචනයෙන් ප්‍රාර්‍ථනා කිරීමේත් කයින් ඒ සඳහා ක්‍රියා කිරීමේත් කාලයයි. හේ කෙසේද?

9. නන්‍දය, සුනන්‍දය, පඨවීය, මණ්ඩය, සාගරය, පුණ්ඩරීකය යන මේ සත් අසංඛ්‍යයෝ ප්‍රකාශ කරන ලදහ. මේ අසංඛ්‍යයන්ට ආදි වූ නන්‍ද අසංඛ්‍යයෙහි සාර කල්පයේදී කල්පලක්‍ෂයක් හා සොළොස් අසංඛ්‍යයක් පෙරුම් පුරා බ්‍රහ්මදේව නම් බුදුරද ලෝකයෙහි උපණි. එකල බෝසත්තෙමේ අබ තෙල් දුන් අනුහසින් තුසිත පුරයෙහි ඉපද සිටියේය. එයින් ච්‍යුතව කරණ්ඩක නුවර අතිදේව නම් රජ විය. එකල්හි මෙතේ බෝසත්තෙමේ ඒ රජුට අර්‍ථධර්‍මානුශාසක වූ සිරිගුත්ත නම් පුරෝහිතයා විය. ඒ බුදුරද දම්සක් පැවැත්වීම සඳහා කරණ්ඩක නුවර සමීපයෙහි වූ, සියලු බුදුවරුන් අත්නොහැරි, දම්සක් පවත්වන තැනට වැඩියේය. බුදුරදුන් අත්නොහැරි, දම්සක් පවත්වන තැනට වැඩියේය. රජතෙමේ සිරිගුත්ත බමුණා විසින්;

10. “මහරජ, මේ බුදුතෙමේ ලෝකයෙහි උතුම් පුද්ගලයෙකි; සියලු සත්ත්‍වයන්ට හිත පිණිස ඒ බුදුරජ උපන්නේය. (11) භාග්‍යවත්තෙමේ ලෝකයෙහි රහත් නමකි, යහපත් ගමන් ඇත්තෙකි, ලෝකයේ පරතෙරට ගියේය හෙවත් ලෝකය ඉක්මවා ගියේ; විද්‍යා-චරණ දෙකින් යුක්ත වූයේය; සසර දුකින් මිදීම ලබාදෙන්නේය” යනාදී වශයෙන් කියන ලද නානාවිධ බුදුගුණ අසා උන්වහන්සේ සමීපයට ගොස් නොයෙක් සත්කාරයෙන් පුදා පසඟ පිහිටුවා වැඳ යම්සේ ඒ බුදුරද “මම නිවන් අවබෝධකොට අනුන්ට අවබෝධ කරවන්නෙම්” යනාදියෙන් මනඃප්‍රණිදහනය කළේද එමෙන් අපේ බෝසත්තෙමේ ද බ්‍රහ්මදේව බුදුන් සමීපයෙහි සිතින් ප්‍රාර්‍ථනාව කළේය. ඒ අසංඛ්‍යයේදීම එක්නමක් අඩු පන්දහසක් බුදුවරු උපන්හ. බෝසත්තෙමේ ඒ බුදුවරුන් සමීපයට පැමිණ සත්කාරකොට සිතින් ප්‍රාර්‍ථනාව කළේය. ඊට අනතුරු සුනන්‍ද අසංඛ්‍යයේදී නවදහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු වූ පඨවි අසංඛ්‍යයේදී දසදහසක් බුදුවරු උපන්හ. ඊට අනතුරු මණ්ඩ අසංඛ්‍යයේදී එකොළොස්දහසකි; ඊට අනතුරු වූ ධරණී අසංඛ්‍යයේදී විසිදහසකි; ඊට අනතුරු වූ සාගර අසංඛ්‍යයේදී තිස්දහසකි; ඊට අනතුරු වූ පුණ්ඩරීක අසංඛ්‍යයේදී සතළිස් දහසක් බුදුවරු උපන්හ. ඒ බුදුවරුන් සමීපයෙහිත් මනොපණිධානය විය. මෙසේ සත් අසංඛ්‍යය තුළ අප බෝසත්තෙමේ එක්ලක්‍ෂ පස්විසිදහසක් පමණ වූ බ්‍රහ්මදේවාදී බුදුවරුන්ගේ සමීපයෙහි අධිකාරකොට සිතින් ප්‍රාර්‍ථනාව කළේය. මෙසේ මහානිදාන කථාවෙහි මනඃප්‍රණිදහන කාලය සම්පූර්‍ණ වේ.

චිත්තුප්පාද කථාවයි

  1. එක් පියකු ඇතත් වෙනස් මෑණිවරුන් ඇති