මහාධාතු චෛත්‍ය කථාව

ඔහු ඇවෑමෙන් ඔහු පුත් ගෝ වර්‍ෂයෙහි උපන් බිලක රජ දෙතිස් වයස් කල්හි කුක්කුට වර්‍ෂයේදී නබ්බිසි නුවරදී අභිෂේක ලැබී ශූරවූ ශක්ති-පරාක්‍රම-අනුභාවයන්ගෙන් යුක්ත වූ, ආත්මාර්‍ත්‍ථ-පරාර්‍ථයන් දැනීමෙහි සමත් වූ පණ්ඩිත වූ ශ්‍රද්ධාවත් රත්නත්‍රයෙහි පැහැදුණු ඒ රජ ගැඹුරු නුවණින් යුක්ත විය. අභිෂේක ලැබූකල පටන් “සිරිධම්මචක්කවත්තිබිලකරාජාධිරාජ” යයි හැම දිශාවන්හි ප්‍රකට විය. ඒ වර්‍ෂයේදීම මේධංකර-ඤාණ-මංගල-සීලවංස යනමහතෙරුන් ප්‍රමුඛ සංඝතෙමේ අභිෂේකයට පැමිණ පස්මසක් ගත වූ ඒ රජු විසින් උපකාර කරනු ලබන්නාහු මැදින් මාසයේදී බිංග නදියේ මහාස්ථාන තොටේදී කුලපුත්‍රයන් උපසම්පන්න කරවිය. මහාමංගල-මහාසුරිය-මහාආලෝක ආදි තෙරවරු එහිදී උපසම්පන්න වූවෝය. ඉන්පසු ජයසේන පුරයෙහි සේනාය නමැති මහාමාත්‍යයා රාජ්‍යය කරවන කල්හි මහාඤාණමංගලතෙර ත්‍රිපිටකධර භික්‍ෂූන් පිරිවරාගෙන ජයසේන පුරයට ගියේය. ඊට අනතුර වූ මූෂික වර්‍ෂයේදී ඒ මහඇමතියා විසින් උපස්තම්භිතව පල්ලංකදීපයෙහි ඛණ්ඩ සීමාවක් සම්මත කළහ. එකල දදර පුරවැසි චන්‍දතෙර සීමාසම්මුති කර්‍මවාක්‍යය කීය. ඒ වර්‍ෂයේදීම මේ නබ්බිසි පුරයෙහි සූරසිහ නම් මහතෙර මහාස්ථාන තොටේදී උපසම්පදාව ලැබී. ඉන්පසු ශශ වර්‍ෂයේදී සිරිධම්මචක්කවත්ති රජුගේ උපස්තම්භය ඇතිව පුරාණ මහාධාතු චෛත්‍යය හාත්පසින් දශරියනක් පමණ ද ගැඹුරෙන් මිනිස් ප්‍රමාණයක් ද අත්තිවාරම් පිණිස කණවා මනාසේ ස්ථීර ලෙස අත්තිවාරම බන්දවා මේධංකර මහාස්වාමිතෙමේ රන් ආලේප කළ මංගල ගල් පතුරගෙන නවම්මස කළුවර පොහෝදා ඉර මුදුන් වේලෙහි හොරණෑ ශබ්දය පැවැත්වූ කල්හි නැගෙනහිර දෙස මංගලබලි කර්‍මය කරන තැන පළමුකොට පිහිටුවිය. ඊටඅනතුරුව සියලු භික්‍ෂූහු ද ස්ත්‍රී පුරුෂයෝ ද තමතමන්ගේ ආභරණාදිය එහි දමා බැඳීම පටන් ගත්හ. එහි සියලු බැම්ම ගල් කැබලිවලින් විය. නවම් මාසයේදී ආරම්භ කළ ඒ සෑය වෙසක් මාසයේ දී නිමියේය. එය බඳින කාලයේදී නොයෙක් ආශ්වර්‍යයෝ පහළ වූහ. දිග පළලින් දෙපණස් රිය නැති, උසින් දෙයානූරියන් ඇති, එක් මුදුනකින් යුත් ඒ මහා ධාතු චෛත්‍යය නිමකරවිය.

ඊට අනතුරුව එක් එක් පැත්තේ සත්පණස්රියන් දිගැති උසින් දෙරියනකට වැඩි වූ මලසුන් කරවිය. ආරක්‍ෂාව පිණිස සිවුදිශාවන්හි දිගින් දෙසියඅටවිසිරිය නැති, පළලින් එක්සියපණස් රියන් ඇති ප්‍රාකාරයක් ගලෙන් හා ගඩොලින් බැන්දවිය. ඒ වර්‍ෂයේදී අරිමද්දනයේ ඡප්පදතෙරනම සංඛෙපවණ්ණනාටීකාව ලිවී.[1] ඒ චෛත්‍යයේ සුණු පිරියම් අවසානයේදී ශශ වර්‍ෂයේදී සිරි ධම්මචක්කවත්ති බිලක මහරජ ඒ සෑයට උතුරු දිශාවෙහි අභිෂේක ප්‍රාසාදයක් කරවා තමාගේ ආචාර්‍ය වූ මේධංකර මහතෙරුන් එහි පමුණුවා ඉතා වටිනා විශේෂ පිරිකර වර්‍ග පුදා අභිෂේකකොට එතුමාට “අතුලසක්ත්‍යාධිකරණමහාසාමි” යයි නමක් දුණි. ඉන්පසු මහාධාතු සෑයට නොයෙක් පූජා සත්කාරවලින් මහාපූජාවක් කරවිය. ඉන්පසු ඒ සෑය අග සිට මුල් අඩිය දක්වා රන් අලේප කළ තඹ තහඩුවලින් වස්වා නැවත ඝන රන් තහඩුවලින් වැස්සෙව්වේය.

මහාධාතු චෛත්‍ය කථාව නිමි.

  1. මේ කියන්නේ බුරුම රටේ ප්‍රවෘත්තියකි. ඡප්පද තෙරනම ලක්දිවට ඇවිත් සවෙනි පැරකුම්බා කාලයේදී මෙහි සිටියේය.