ඔහු ඇවෑමෙන් ඔහු පුත් ලක්‍ඛපුරාගම නමැති තෙවිසි හැවිරිදි රජ නබ්බිසි පුරයෙහි ධර්‍මයෙන් රාජ්‍යය කරවිය. එකල මහාබ්‍රහ්මතෙමේ මහත් සේනාවක් සන්නද්ධ කරගෙන නබ්බිසිපුරයට අවුත් හරිපුංජය දේශය අල්වාගෙන තමා කැමති දේවල් රැගෙන ජංරාය පුරයටම ගියේය. පසුව ලක්‍ඛපුරාගම තෙමේ මහා සේනාවක් සන්නද්ධ කොට යෝන රටට ගොස් සුළු පියා සමග මන්ත්‍ර යුද්ධයක් කිරීමෙන් ඔහු පණ පිටින් අල්වාගෙන ජංරාය පුරයට ගොස් එතැනින් සිංහල ප්‍රතිමාව රැගෙන නබ්බිසි නුවර තුළ මහා චෛත්‍යයෙහි පියා කරවූ ගුහාවෙහි තබා සකසා පිදී.
103. උතුම් සිංහල ප්‍රතිමා තොමෝ ලක්දිවද සිරිධම්ම පුරයෙහි ද සුඛෝදය නුවර ද ජයනාද පුරයෙහිද අයෝධ්‍ය නුවර ද වජිරපාකාර පුරයෙහිද (104.) නබ්බිසි පුරයෙහිද ජංරාය නුවර ද පල්ලංක දීපකයෙහි ද මිනිසුන් හා රජුන් විසින් පුදන ලදී. (105.) රත්නත්‍රයමාමක වූ ලක්‍ඛපුරාගම රජ බහුශ්‍රැත වූයේ ධර්‍මධර වූයේ ඉගනීම්-විචාරීම් ඇත්තේ (106.) බොහෝ දෙනෙකුන්ට ධර්‍මය ඉගැන්විය. යම්කෙනෙක් සන්‍ධි-නාමාදිය පමණවූත් ව්‍යාකරණයක් ඉගෙන ගත්තාහු නම් ඒ සියල්ලන්ට සිවුපසයෙන් සංග්‍රහ කෙළේය. හෙතෙම දෙලක්‍ෂ දශදහසක් රන් කොළවලින් හරිපුංජය නුවර මහාධාතු චෛත්‍යය වැසීය. (=රත්රන් ගෑවීය.)
107. තිස්නව වියැති ලක්‍ඛපුරාගම රජ නබ්බිසි නුවර සොළොස් වර්‍ෂයක් රාජ්‍යය කරවිය. (108). නබ්බිසි පුරය මැද රාජකූටයක්[1] කරවීමට ඒ රජ ආරම්භ කෙළේය. එය නොනිමිකල්හි හෙතෙම පරලොව ගියේය. ඔහුගේ ප්‍රධාන දේවිය වූ රායාතොමෝ එය නිමකරවිය.
ඔහු ඇවෑමෙන් ඔහු පුත් දොළොස් හැවිරිදි කුමරා රාජ්‍යය කරවිය. (109.) ශාසනයෙහි මැද ශ්‍රද්ධා ඇති පිටත් දෙයෙහි පැහැදුණු හෙතෙමේ සත්පුරුෂයන් කරා නොපැමිණ යක්‍ෂ දාසයන් පිදී. (110.) ඒ රජ ආරාම වෘක්‍ෂ චෛත්‍යයන් ද පර්‍වතයන් ද වනයන්ද ගවමහිෂාදි වස්තුවලින් පිදී. (111.) ඔහුට අයිති රටෙහි ඒ ඒ පටුනුවල යක්‍ෂදාසයෝ යයි ප්‍රකට වූවෝ විසූහ. (112.) සාරනදී තීරයෙහි වූ තමා උපන් ස්ථානය වූ රම්‍ය නගරයෙහි පුරච්ඡන්න නමින් ප්‍රකට වූ මහාවිහාරයක් කරවිය. හෙතෙම ඒ මහාවිහාරයට ප්‍රත්‍යය ලැබීම සඳහා කුඹුරු ආදිය වෙන්කොට දුණි. මුළු රටෙහි ඒ ඒ තැන බුද්ධ ප්‍රතිමාදියට කුඹුරු ආදිය වෙනකොට දුණි.
113. ඒ නබ්බිසි පුරයෙහි තිස්ස රජු රජය කරවන කල්හි මෙධංකරාදි තෙරවරු ලක්දිවින් මෙහි ආහ. ඒ කෙසේද? බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සත්සැටවෙනි වර්‍ෂයේදී, හත්සිය අසූපස්වෙනි ශක වර්‍ෂයේදී මහාධම්මගම්භීර[2]-මහාමේධංකර-මහාඤාණමංගල-මහාසීලවංස-මහාසාරිපුත්ත-මහාරතනාකර-මහාබුද්ධසාගර ආදි තෙරවරු විසිපස් නමක්ද මේ නබ්බිසි පුරයෙහිත් පහළ කාම්බෝජ රටෙහිත් විසූ මහාඤාණසිද්ධ ආදි තෙරවරු අටනමක්දැයි තෙතිස් නමක් එකතුව මෙසේ මන්ත්‍රණය කළහ. “ජීවමාන බුදුරද ලක්දිව මාගේ ශාසනය පිහිටන්නේ යයි තෙවරක් ලක්දිවට වැඩියේය. අපිත් ලක්දිවට ගොස් ශාසනොපසම්පදාව ගෙනවුත් අපේ රටෙහි රෝපණය කරන්නෙමු”යි. මෙසේ කථා කොට ඒකමතිකව ක්‍රමයෙන් ලක්දිවට ගොස් වනරතන මාහිමියන් කරා එළඹ වැඳ මධුර වචනයෙන් පිළිසඳර කථාකොට එහි විසූහ. ඒ තෙරවරු ද රාමඤ්ඤ රටෙන් ආ තෙර සයනමක්දැයි තිස්නව නමක් තෙරවරු ලක්දිව පැවති අකුරු පිළිවෙළ ද වචන උච්චාරණය කරන සැටිද ස්වර නගා කීම ද ඉගෙන උත්තමාර්‍ථය ප්‍රාර්‍ත්‍ථනා කරමින් උපසම්පදාව ඉල්ලූහ. ඔවුහු බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සැට අටවෙනි වර්‍ෂයෙහි, හත්සිය අසූවෙනි ශක වර්‍ෂයේ මහෝරග නමැති වර්‍ෂයෙහි, දෙවෙනි ඇසළ මස පුරපසළොස්වක්ලත් ඉරිදා තෙළෙස්වෙනි තිථියේ දෙට නැකත පවත්නා කල්හි සිංහල රජු විසින් කැළණියේ යාපා පටුනෙහි ඔරු එකට ගළපා සෑදවූ මණ්ඩපයෙහි දී වනරතන මහාසාමීන් කර්‍මවාක්‍යාචාර්‍ය කොටගෙන ධම්මචාරී නමැති ධර්‍මාචාර්‍යයන් උපාධ්‍යාය කොටගෙන විංශති වර්ගික සංඝයා වෙතින් උපසම්පදාව ලබාගත්හ.
ඒ තෙරවරු උපසම්පන්න වී දළදාව ද සමන් කුළෙහි සිරිපාද සටහන ද සොළොස් මහාස්ථානයන් ද වැඳ ආචාර්‍යොපාධ්‍යායයන්ගෙන් අවසර ගෙන හැරී ආහ. ඔවුහු දුර්භික්‍ෂය නිසා සාරමසක් පමණ ලක්දිව විසූහ. හැරී එන තෙරවරු උපාධ්‍යාය බව පිණිස වික්‍රමබාහු තෙර, උත්තමපඤ්ඤ තෙර යන දෙනම ද වැඳීම සඳහා සර්‍වඥ ධාතුනමක් ද ඉල්ලූහ. එයින් වික්‍රමබාහු තෙර වස් පසළොසක් ඇත්තේය. උත්තමපඤ්ඤතෙර දශවස් ඇත්තේය. නැවෙන් එන කල්හි මූද මැදදී බ්‍රහ්ම ස්ථවිර - සෝම ස්ථවිර දෙනම හා මුණගැසී මූද මැදදීම ඒ දෙනම උපසම්පන්නකොට අයෝධ්‍ය පුරයට පැමිණ එනුවර අධිපති පරමරාජයන්ගේ දේවියගේ ආචාර්‍ය වූ සීලවිසුද්ධි මහතෙරුන් ද සද්ධම්මකෝවිද මහතෙරුන්ද උපසම්පන්න කළහ. ඒ තෙරවරු මුල් වස මූද මැද නැවෙහිද දෙවෙනි තෙවෙනි සිවුවෙනි පස්වෙනි වස් අයොජ්ඣ පුරාදියෙහිද විසූහ. ඉන්පසු සජ්ජනාලය නුවරට ගොස් එහිදී බුද්ධසාගර තෙරුන් උපසම්පන්න කරවා සුඛෝදය නුවරට අවුත් සවෙනි වස එහි විසූහ. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සිව්සැත්තෑවෙනි වර්‍ෂයේදී, ශක වර්‍ෂයෙන් සත්සිය අනූදෙකක් වූ කුක්කුර වර්‍ෂයේදී ධම්මගම්භීර-මහාමංගල තෙරුන් ප්‍රමුඛ මේ තෙරවරු නබ්බිසි පුරයට පැමිණියාහු රත්තවන මහාවිහාරයෙහි සත්වෙනි වස ද අටවෙනි වස ද විසූහ. ඔවුහු ශක වර්‍ෂයෙන් සත්සිය අනූහතරවෙනි මූෂික වර්‍ෂයේදී ඛෙලාංග නුවරට ගොස් එනුවර අධිපති වූ සූරමහාමාත්‍යයා විසින් තමාගේ සැපත නොසලකා උපකාර කරනු ලබන්නාහු නුවරින් ඊශාණ දෙස වංක නදියේ වච්‍යංජ නමැති තොටේදී පළමුවෙන් උපසම්පදා කර්‍මයක් කළාහුය. දදරපුරවාසී චන්‍ද තෙරනම එහි උපසම්පදාව ලැබූවන්ගෙන් එක් නමකි.
ඒ වර්‍ෂයේදීම හරිපුංජය නුවරට අවුත් බිංග නදියේ හරිපුංජය තොටේදී දෙවෙනි උපසම්පදා කර්‍මය කළහ. ධම්මරක්‍ඛිත-ධම්මරතන-ඤාණබොධි යන තෙරවරු එහිදී උපසම්පදාව ලැබුවෝය. ඉන්පසු නාළිකෙරයාංග නමැති තොටේදී තෙවැනි උපසම්පදාව කළහ. ඉන්පසු සිරිධම්මචක්කවත්ති රජුගේ දෙටු සොහොයුරු බාලිසිදේව නමැති රජකුමරා විසින් උපස්තම්භිත වූවාහු කුම්භාවආපන්න තොටෙහි සිවුවෙනි උපසම්පදාව කළහ. ඒ මූෂික ශක වර්‍ෂයේදීම නැන්දා වූ දේවිය විසින් කරවන ලද උපරි ආරාමයෙහි වස් එළඹෙන කාලයේදී ඛණ්ඩ සීමාවක් බැන්දාහ. බුදුන් පිරිනිවීමෙන් එක්දහස් නවසිය සත්සැත්තෑවෙනි වර්‍ෂයෙහි, ශක වර්‍ෂයෙන් හත්සිය අනූපස්වෙනි පශු වර්‍ෂයෙහි මේ තෙරවරු යෝන රට ජයසේන පුරයට ගොස් පල්ලංක දීපයෙහි බොහෝ කුලපුත්‍රයන් උපසම්පන්න කළහ. ධම්මසේනාපති-කුලවංසාදි මහතෙරවරු එහි උපසම්පන්න වූවෝය. ඒ ශක වර්‍ෂයෙහිම නවම් මස පුරපසළොස්වක්දා නුවරින් වයඹ දෙස පිහිටි කිත්තිකූට පර්‍වත පාදයෙහි වූ රත්තවන මහාවිහාරයට පැමිණියහ. ජයසේන පුරයෙන් අවුත් ජංරාය පුරයෙහි සුවණ්ණපාසාණක නම් තැනදී ඒ වර්‍ෂයේදීම උපසම්පදාවක් කළහ. ධම්මදින්නාදි තෙරවරු එහිදී උපසම්පන්න වූවෝ යයි දතයුතු. ඉන්පසු තිස්ස රජුගේ අණ පවත්නා රටෙහි ඒ සංඝතෙමේ බොහෝ වාරයක් උපසම්පදාවන් කෙළේය. එකල සිංහල වංශිකයෝ බොහෝ වූහ. සත්පණස් වයසැති තිස්ස රජ සොළොස් වසක් රාජ කුමාරව සිට සතළිස් එක් වර්‍ෂයක් රාජ්‍යයකොට තමාගේ පුත්‍ර වූ සිරිධම්මචක්කවත්ති නමැති යුවරජුට රාජ්‍යය පාවාදී (ඉන්පසුත්) සතර වර්‍ෂයක් සිට පරලොව ගියේය.
සිංහල උපසම්පදාව පැමිණි කාලය නිමි.