තෘෂ්ණාව අනාගත භව දුඃඛයට හේතුවන ආකාරය

තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත හොත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයෙහි ඉතා ම ගැඹුරු තැන අවබෝධ කර ගත්තේ වන්නේ ය.

මේ ශරීරය ඇසින් දැකිය හැකි වූ ද, කයින් ස්පර්ශ කළ හැකි වූ ද, මහත් වූ ද, බර වූ ද, වස්තුවක් වන පරිදි සෑදී තිබෙන්නේ පස්-ජල-ගිනි-සුළං යන මහාභූත ධාතු සතරෙනි. ඇසට නොපෙනෙන්නා වූ ද කයින් ස්පර්ශ කළ නො හෙන්නා වූ ද බර නැත්තා වූ ද තවත් ධාතු කොටසක් මේ සතර මහාභූත කයෙහි ඇත්තේ ය. ඒවා යකඩයක පැතිර පවත්නා වූ විදුලි බලය සේ ශරීරයෙහි ඒ ඒ තැන්වල පැතිර පවත්නේය. කලින් විදුලි බලය පැවති යකඩයකින් විදුලි බලය පහවූයේ ද ඒ යකඩයෙහි අඩුවක් නො පෙනෙන්නාක් මෙන් ශරීරයෙන් සූක්ෂ්ම ධාතු කොටස් පහවූයේ ද එහි අඩුවක් නො පෙනෙන්නේ ය.

ඇසට පෙනෙන්නා වූ ස්පර්ශ නො කළ හැකි වූ නො බර ධාතු කොටසට අයත් ධාතු සයක් ඇසුරු කොට සත්ත්ව සන්තානයෙහි සිත් උපදනේ ය.

ඔවුහු නම් :-

  1. චක්ෂු ධාතුවය
  2. ශ්‍රෝත්‍ර‍ ධාතුවය
  3. ඝ්‍රාණ ධාතුවය
  4. ජිහ්වා ධාතුවය
  5. කාය ධාතුවය
  6. ධර්ම ධාතුවට අයත් වූ හෘදය වස්තු රූපය

යන මොහුය.

දුඃඛාර්‍ය්‍ය සත්‍යය විස්තර කිරීමේදී රූපස්කන්ධය දැක් වූ තන්හි “චක්ෂුඃ ප්‍ර‍සාදය, ශ්‍රෝත ප්‍ර‍සාදය, ඝ්‍රාණ ප්‍ර‍සාදය, ජිහ්වා ප්‍ර‍සාදය, කාය ප්‍ර‍සාදය, හෘදය වස්තු රූපය” යන නම් වලින් දක්වා ඇත්තේ මේ ධාතු සය ය. චක්ෂුඃ ප්‍ර‍සාදය යනු චක්ෂු ධාතුව ය. සෙස්ස ද මේ නයින් දත යුතු. මේ ධාතු සය අතුරෙනුදු නිතර ම හිත පවත්නේ හෘදය වස්තුව ඇසුරු කොට ගෙන ය. චක්ෂුරාදි ධාතු පස ඇසුරු කොට සිත පහළ වන්නේ ඒවාට රූප ශබ්දාදි ධාතූන් (අරමුණු) මුණ ගැසුණු අවස්ථාවලදී පමණය.

සිත හෘදය වස්තුව ඇසුරු කොට පවත්නේ ද පෙට්ටියක තිබෙන මැණිකක් සේ සෑම කල්හි එකක්ව තිබීම් වශයෙන් නොවේ. උපදින්නා වූ සිතක් ඇසිපිය වරක් හෙළන්නට ගතවන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණ කාලයකුදු නො පවත්නේය. සිත පමණ ඉක්මනින් නැති වන අන් වස්තුවක් නැත. එක් සත්ත්වයකු තුළ හට ගත්තා වූ එක් සිතක් තිබිය දී එය නිරුද්ධ වන තුරු තවත් සිතක් ද පහළ නො වන්නේය. එක සිතක් නිරුද්ධ වනු සමග ම ඒ සිත හා බැඳී පහළ වන්නාක් මෙන් දෙවන සිතක් පහළ වීම් වශයෙන්, භාවනා බලයෙන් චිත්ත ප්‍ර‍වෘත්තිය නැවැත්වූ අවස්ථාවන්හි හැර නිදන්නා වූ ද නො නිදන්නා වූ ද සෑම අවස්ථාවකදී ම නිවනට පැමිණෙන තුරු ම සත්ත්වයා තුළ සිත් පහළ වන්නේ ය.

මෙසේ පවත්නා වූ මේ චිත්ත පරම්පරාව නො නවත්වා බෙරයකට ගැසීම නිසා පවත්නා වූ ශබ්ද පරම්පරාවක් මෙන් දත යුතුය. නො නවත්වා දවසක් මුළුල්ලෙහි බෙරයකට ගැසුවහොත් බෙර හඬ දවසක් මුළුල්ලෙහි පැවැත්තේ ය යි කියනු ලැබේ. දවසක් මුළුල්ලෙහි තබා මොහොතකුදු පවත්නා බෙර හඬක් නො මැත්තේ ය. ගසා අත ඔසවනවාත් සමග ම ගැසීමෙන් හටගන්නා වූ හඬ නිරුද්ධ වන්නේ ය. එහෙත් එක එක හඬකට යාව තව තවත් හඬ හට ගැනීම් වශයෙන් බෙර හඬ පරම්පරාව එකක් සේ පැවති බැවින් දවස මුළුල්ලේ ම බෙර හඬ පැවැත්තේ ය යි කියනු ලැබේ. එමෙන් ම එක සිතක් නිරුද්ධ වනු සමග ම නිරුද්ධ වන සිත හා බැඳී හට ගන්නාක් මෙන් පසු පසු සිත් උපදනා බැවින් නිවනට පැමිණෙන තෙක් සිත පවත්නේ ය යි කියනු ලැබේ.

බෙර හඬ වැලක් සේ පවතින මේ සිත කඳු මුදුනකින් පහළට ගලා යන ගංගාවක් මෙන් ඉතා වේගයෙන් ඉක්මනින් ගලා යන්නේ ය. සත්ත්වයන් විසින් කරන්නා වූ එක් එක් ක්‍රියාවක් සිදු කිරීමට ලක්ෂ ගණනක් සිත් උවමනා ය. පහත් කොට තිබෙන අතක් ඔසවන්නේ ලක්ෂයක් පමණ සිත් වලිනි. එස වූ අත පහත් කරන්නේ ද ලක්ෂයක් පමණ සිත්වලිනි. යන කල්හි බිම තිබෙන පය වරක් ඔසවා ඉදිරියෙහි තබන්නේ ලක්ෂ ගණනක් සිත්වලිනි. අනිකකු කියන කථාවක එක එක වචනයක් තේරුම් ගන්නේ ලක්ෂ ගණනක් සිත්වලිනි. මෙසේ ඉතා වේගයෙන් පැවතීම චිත්තයාගේ ස්වභාවයයි.

සිත වනාහි දැනීමේ උපකරණය යි. කැපීමේ උපකරණය වූ පිහියෙන් අන් දෙයක් කැපෙනවා මිස කිසි කලෙක ඒ පිහිය ම නම් නො කැපෙන්නේය. එමෙන් දැනීමේ උපකරණය වූ සිතට අනිකක් දැනෙනු මිස සිත නමැති තමාගේ සැටි නො දැනෙන්නේ ය. එබැවින් සත්ත්වයෝ සිතේ සැටි තත්ත්වාකාරයෙන් නො දනිති. ඔවුහු බෙර හඬ වැල සේ පවත්නා වූ සිත් පරම්පරාව දීර්ඝ කාලයක් තිබෙන එක දෙයක් සේවරදවා ගෙන එය ආත්මය කොට ගනිති. එසේ ගෙන ඇතැමෙක් ඒ ආත්මය ගසකින් ගසකට ඉගිළ යන කුරුල්ලකු මෙන් ජාතියෙන් ජාතියට ශරීරයෙන් ශරීරයට යන දෙයක් හැටියට සලකති. ඇතැමෙක් පහනක් නිවී යන්නාක් මෙන් මරණින් අවසන් වන දෙයක් කොට සිතති. මේ දෙයාකාරය අතුරෙන් කෝකකින් වුවත් වරදවා ගෙන සිටින්නා වූ තැනැත්තාට ආර්‍ය්‍ය සත්‍ය ධර්මය වටහා ගත හැකි නො වේ. එබැවින් මෙය අවබෝධ කර ගැනීමට චිත්ත තත්ත්වය ද දැන සිටිය යුතුය.

ශරීරය පරණව දිරායාමෙන් හෝ ශරීරයාගේ පැවැත්වීමට වුවමනා ආහාර පානාදිය නො ලැබීමෙන් හෝ විෂම සෘතු, විෂම ආහාරාදිය නිසා ධාතූන්ගේ කෝපයෙන් හෝ අන් හේතුවකින් හෝ ශරීරය නො පවත්නා තැනට පැමිණි කල්හි උණුසුම් යකඩයක් සිසිල් දියෙහි ලූ කල්හි එහි උණුසුම නිවී යන්නාක් මෙන් ශරීරයෙහි ඒ ඒ තැන පවත්නා වූ යට කී නො බර නො පෙනෙන ධාතු ගණයට අයත් වූ චක්ෂු ශ්‍රෝත්‍රාදි ධාතූහු නිරුද්ධ වෙති. සිතට නිශ්ශ්‍ර‍ය වන දෙයක් ඒ ශරීරයෙහි නැති බැවින් ඉන්පසු එහි සිත් නො හට ගන්නේ ය. ශරීරය ක්‍රියා විරහිත වන්නේ ය. එකල්හි සත්ත්වයා මළේ ය යි කියනු ලැබේ.

සිතට බිම් වන ධාතූන් නිරුද්ධ වන්නා වූ මේ මරණාවස්ථාවෙහි තෘෂ්ණාව සහමුලින් නසා සිටියේ නම් සිත් පරම්පරාව ඔබ්බට නො ගොස් එතන දී ම සිඳී යන්නේ ය. ඔහුට එයින් දුක් ද කෙළවර වන්නේ ය. රහත් නො වූ සත්ත්වයා මේ අවස්ථාවේ දී සිටින්නේ ලෝකය දෙස බලා තෘප්තියට නො පැමිණ තවත් ලෝකය දෙස බැලීමට ඕනෑකම ඇතුව ය. ලොව ඇති හඬවල් ඇසීම ඇති නොවී තවත් හඬවල් ඇසීමට ඕනෑකම ද ඇතිව ය. ආඝ්‍රාණය කළ ගන්ධය ඇති නො වී තවත් ගන්ධයන් ආඝ්‍රාණය කිරීමට ඕනෑකම ද ඇතිව ය. රසයන් වැළඳුවා ඇති නොවී තවත් බොහෝ රසයන් වළඳන්නට ඕනෑකම ද ඇතිව ය. ස්ත්‍රී ස්පර්ශ පුරුෂ ස්පර්ශාදි නොයෙක් ස්පර්ශයන් ස්පර්ශ කළා ඇති නොවී තවත් බොහෝ දේ ස්පර්ශ කිරීමේ ඕනෑකම ද ඇතිව ය. ලෝකයෙහි සිටියා ඇති නො වී ඉදිරියට තව තව බොහෝ කලක් එක්තරා කෙනකු වශයෙන් ලොව සිටීමේ බලවත් ඕනෑකම ද ඇතිව ය. මේ ඕනෑකම් රාශිය වූ තෘෂ්ණාව සත්ත්වයාගේ චිත්ත පරම්පරාව හා බැඳී අනුශය වශයෙන් පවත්නේය.

අනාගත වස්තූන් සම්බන්ධයෙන් පවත්නා වූ මේ තෘෂ්ණාව මරණාසන්න චිත්තයෙහි පටන් ඉදිරියට භව බොහෝ ගණනකට ම දිග ය. මරණාසන්නාවස්ථාවෙහි ඒ ශරීරයෙහි පවත්නා වූ සිතට ආධාර වන ධාතූන් නිරුද්ධ වූයේ ද මරණාසන්න චිත්තයෙන් ඔබ්බට දික්ව තිබෙන මේ තෘෂ්ණානුශය පවත්නා බැවින් නිඃශ්‍ර‍ය වස්තූන් නිරුද්ධ වූයේ ද චිත්ත පරම්පරාව නො සිදේ. මැරෙන සත්ත්වයාගේ ශරීරය ඇසුරු කොට පහළ වූ අන්තිම සිත නිරුද්ධ වනු සමග ම ඒ සිතට අනතුරු ව ඒ සිත හා යාව ඉපදිය යුතු දෙවන සිත ඊට පෙර ජාතිවල දී හෝ ඒ ජාතියේ දී කරන ලද කුශලා’කුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයකින් ඉදිරිපත් කර දෙන ලද, කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් එක්තරා දෙයක් අරමුණු කිරීම් වශයෙන් ගෙන, එහි එල්බ උපදනේය. එසේ උපදනා වූ සිත දෙවන භවයෙහි පළමුවන සිත ය. එයට ප්‍ර‍තිසන්ධි චිත්තය යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිසන්ධි චිත්තයට නිශ්ශ්‍ර‍ය වස්තුවක් කර්මානුභාවයෙන් හා ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ආනුභාවයෙන් ද ඒ සිත සමග ම හට ගන්නේ ය. එය ප්‍ර‍තිසන්ධි චිත්තයට නිශ්ශ්‍ර‍ය වන්නේ ය. එතැන් පටන් ඒ වස්තුව ඇසුරු කොට සිත් පරම්පරාව පවත්නේ ය.

ප්‍ර‍තිසන්ධි විඥානය පහළ වන්නා වූ අවස්ථාවෙහි එය හා සමග තවත් රූප ස්වල්පයක් ද පහළ වන්නේ ය. ඒ සියලු ම රූප පිණ්ඩය මිනිස් ඇසට නො පෙනෙන තරම් කුඩා දෙයකි. එයට කලල රූපය යි කියනු ලැබේ. ඒ කලල රූපය මතු හටගන්නා වූ ශරීරයට බීජය වන්නේ ය. ප්‍ර‍තිසන්ධි විඥානය සහිත වූ මේ කලල රූපය මිය ගිය තැනැත්තහු ගේ ශරීරයෙන් ආ දෙයක් නොව, අමුතුවෙන් හට ගත් දෙයකි. නමුත් ප්‍ර‍තිසන්ධි චිත්තය මිය ගියා වූ තැනැත්තාගේ චිත්ත පරම්පරාවට අයත් දෙයක් වන බැවින් අභිනව භවයෙහි උපන් තැනැත්තා මිය ගිය පුද්ගලයාගෙන් අනිකකුදු නොවේ.

ශරීර බීජය වූ කලල රූපය කුඩා වූ ද මෘදු වූ ද දෙයක් බැවින් එයට පිහිටීමට මෘදු වූ ද වැඩීමට වුවමනා පෝර ඇත්තා වූ ද ස්ථානයක් වුවමනා ය. ශුක්‍ර‍ ධාතුව එයට ඉතාම යෝග්‍ය දෙයකි. විඥානය මාතෘ ගර්භයට පැමිණෙන්නේ එහෙයිනි. ශුක්‍ර‍ ධාතුවෙහි මෙන් ම කුණු වූ බොහෝ වස්තුවල ද මෘදු බව හා පෝර ගතිය ද ඇත්තේ ය. කුණු වූ දේවල බොහෝ සත්ත්වයන් උපදිනුයේ ද එබැවිනි. මේ නො දන්නෝ කෙළ පඩික්කම් ආදියෙහි උපදනා සත්ත්වයෝ එයින් ම උපන් පෙර නො සිටි සත්ත්වයෝ ය යි වරදවා ගනිති. අභිනව සත්ත්වයන්ගේ උත්පත්තියක් බුද්ධ ධර්මයෙහි උගන්වා නැත. පවිත්‍ර‍ ස්ථානයන්හි සත්ත්වෝත්පත්තියක් නො වන්නේ කලල රූපයාගේ පිහිටීමට යෝග්‍ය වූ මෘදු බව හා පෝර ගතිය ඒවායින් නො ලැබෙන බැවිනි.

පවිත්‍ර‍ ස්ථානයන්හි උපදින්නා වූ සත්ත්ව කොටසක් ද ඇත්තේ ය. ඔවුන්ගේ උත්පත්තිය ප්‍ර‍තිසන්ධි විඥානය සමග ම සකලාංග ප්‍ර‍ත්‍යංගයන්ගෙන් සම්පූර්ණ වූ ශරීරයකින් යුක්තව ම සිදුවන්නේ ය. ඉපදීමෙන් පසු වැඩීමක් ඔවුනට නැත්තේ ය. ඔවුනට ‘ඕපපාතික’ සත්ත්වයෝ යයි කියනු ලැබේ. නේරයික සත්ත්වයෝ ද ප්‍රේතයෝ ද දෙවියෝ ද බ්‍ර‍හ්මයෝ ද මේ ඕපපාතික සත්ත්ව ගණයට ඇතුළත් වන්නෝ ය.

විඥානය ඇසට නො පෙනෙන ස්පර්ශ නො වන සියුම් දෙයකි. චිත්ත පරම්පරාව හා බැඳී පවත්නා වූ තෘෂ්ණානුශය එයට ද වඩා සියුම් දෙයකි. නිරුද්ධ වූ කුශලා’කුශල චේතනාවන්ගෙන් ඉතිරි ව තිබෙන කර්ම ශක්තිය ද අනුශය ධර්මයක් සේ ම සියුම් දෙයකි. අභිනව භවයෙහි උපන්නහුගේ ශරීරය නිර්මාණය කරන්නේ පරම සූක්ෂ්ම වූ විඥාන, තෘෂ්ණා, කර්ම යන මේ ධර්ම තුනෙනි. මේ ධර්ම තුනට සෘතු ආහාරාදි බාහිර හේතූන්ගේ උපකාරත්වයෙන් තොර ව අපගේ ශරීර වැනි ඖදාරික ශරීර නිර්මාණය කළ නොහේ. නිර්මාණය කළ හැකි වනුයේ සිතට අනුව පවත්නා සූක්ෂම ශරීරයකි. එබැවින් බාහිර දෙයක උපකාරයක් නො ලැබ විඥාන තෘෂ්ණා කර්මයන් ගේ ශක්තියෙන් නිර්මිත දිව්‍ය බ්‍ර‍හ්මාදි ඕපපාතික සත්ත්වයන් ගේ ශරීර, සුළං - සඳරැස් - හිරුරැස් - ගිනිරැස් ආදි සියුම් දේවලට වඩා අතිශයින් සියුම් ය. ඒවා කැඩපත්වල පෙනෙන, දියෙහි පෙනෙන ඡායාරූප බඳුය. මිනිස් ඇසට නො පෙනෙන්නේ ය. මිනිස් කයින් ස්පර්ශ ද නො කළ හැක්කේ ය. සිතට අනුකූලව ම ඒ ශරීරය පවත්නා බැවින් තම තමාගේ ශරීර කැමති සේ කුඩා මහත් කරගන්නට ද විකෘතියට පමුණුවා ගන්නට ද ඔවුනට අපහසුවක් නැත. සිතීමෙන් ම ඒවා සිදුවන්නේ ය. නො බර ධාතූන්ගෙන් නිර්මිත බැවින් සිතීම් මාත්‍රයෙන් ම ඔවුන්ගේ ශරීර අහසෙහි ඕනෑ තැනකට ගෙන යා හැකි ය. මරණය වීමත් සමග ම පහනක් නිවී ගියාක් මෙන් ඒ ශරීරය අතුරුදහන් වන්නේ ය. මළ සිරුරක් ඉතිරි නො වන්නේ ය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ - යාන - වාහන - විමානාදි සියල්ලක් නිර්මිත වී තිබෙන්නේ මිනිස් ඇසට අවිෂය වූ ධාතු වර්ගයෙන් ම ය.

ශරීරයෙහි දොස් දැක රූපයෙන් දුරුවනු කැමැත්තෙන් රූප තෘෂ්ණාව දුරුකොට අරූප ධ්‍යාන උපදවා ගත්තෝ මරණින් මතු විඥාන මාත්‍රයෙන් ම උපදනාහු ය. රූප තෘෂ්ණාව නැති බැවින් රූපයට ඔවුන් විරුද්ධ බැවින් ප්‍ර‍තිසන්ධි විඥානය සමඟ රූපයක් ඔවුනට පහළ නොවේ. ඔවුන්ගේ විඥාන මාත්‍ර‍ය ම අහස්හි පවත්නේ ය. ඔවුනට අරූපී සත්ත්වයෝය යි කියනු ලැබේ. සිතෙහි දොස් දැක සිත් නැති කර ගන්නා වූ අදහසින් ධ්‍යාන භාවනා කළා වූ ඇතැම්හු සංඥා විරහිතව රූප මාත්‍රයෙන් උපදිති. ඔවුනට අසඥ සත්ත්වයෝය යි කියනු ලැබේ. ධ්‍යාන බලය අවසන් වූ කලෙක නැවතත් ඔවුනට පෙර පැවති චිත්ත පරම්පරාවට අයත් ව සිත් පහළ වන්නේ ය.

ප්‍ර‍තිසන්ධි චිත්තය සමග සර්වාඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග සම්පූර්ණ ශරීරයන් පහළ නො වන්නා වූ මනුෂ්‍යාදීන්ට ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධි චිත්තය හා පහළ වූ කලල රූපය, සෘතු ආහාරයන්ගේ උපකාරයෙන් වර්ධනය වී සකලාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණ ශරීරයක් සෑදෙන්නේ ය. ශරීරය සෑදෙන කල්හි ද එය සත්ත්වයාගේ චිත්ත සන්තාන ප්‍ර‍තිබද්ධ තෘෂ්ණාවට හා මව්පියන්ගේ ධාතුවලට ද ලබන්නා වූ සෘතු ආහාර වලට ද අනුරූප ව නොයෙක් ආකාරයෙන් සෑදෙන්නේ ය. ලෝකය දෙස බලනු කැමති බව ශබ්ද අසනු කැමති බව යනාදි තෘෂ්ණාවන් නිසා ඒ ඒ දෙය කිරීමට වුවමනා චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ඒ ඒ ශරීරයෙහි පහළ වන්නා හ. ශරීර සටහන මවුපියන්ගේ ධාතු අනුව වන්නේ ය. ශරීරයේ බලවත්කම් දුබලකම් යනාදිය මවුපියන්ගේ ධාතූන් හා සෘතු ආහාරයන් අනුව ද කර්ම ශක්තිය අනුව ද සිදුවන්නේ ය. ස්ත්‍රීන්ට තෘෂ්ණාව හට ගනුයේ ස්ත්‍රී අදහස් වලට අනුවය. පුරුෂයන්ට තෘෂ්ණාව හට ගන්නේ පුරුෂ අදහස් වලට අනුව ය. ස්ත්‍රී අදහස්වලට අනුව පැවති තෘෂ්ණාව ස්ත්‍රී ශරීරයක් ඇති කිරීමට ද පුරුෂ අදහස් අනුව පවත්නා තෘෂ්ණාව පුරුෂ ශරීරයක් ඇතිවීමට ද හේතු වන්නේ ය. පුරුෂයන්ගේ තෘෂ්ණාව පවත්නේ පුරුෂාකාරයෙන් බැවින් මතු උපදනා කල්හි පුරුෂයෝ පුරුෂයන් ම වන්නාහු ය. ස්ත්‍රීන්ගේ තෘෂ්ණාව ස්ත්‍රී ආකාරයෙන් යුක්ත බැවින් මතු උපදනා කල්හි ස්ත්‍රීහු ස්ත්‍රීන් ම වන්නාහු ය. මෙය වෙනස් වෙතත් වෙනස් වන්නේ කලාතුරකිනි.

පඤ්චස්කන්ධයාගේ ඇතැම් කොටස් වලට හා ආකාර විශේෂවලටත් තෘෂ්ණාවෙන් අන්‍ය දේවල් ද හේතු වන නමුත් තෘෂ්ණා හේතුවෙන් ප්‍ර‍ථමකොට ප්‍ර‍තිසන්ධි විඥානය භවාන්තරයට නො පැමිණියේ නම් අන් හේතූන්ගෙන් ස්කන්ධයන් නූපදනා බැවින් සියල්ලට තෘෂ්ණාව හේතු වන බව ද තෘෂ්ණාව ම ප්‍ර‍ධාන හේතුව බව ද කිව යුතුය. පඤ්චස්කන්ධය එයට ඇලුම් කරන්නහුට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුකෙකි. පඤ්චස්කන්ධය පහළ වුවහොත් එය හා බැඳී පවත්නා වූ එයින් වෙන් නොවන්නා වූ ජාති ජරා මරණ ශෝක පරිදේවාදි දුඃඛයෝ පහළ වූවාහු ම වෙති. එබැවින් ජාති ජරා මරණාදීන්ගේ උත්පාදකයා ද තෘෂ්ණාව ම බව කිව යුතුය. තෘෂ්ණාවක් නොමැති නම් මේ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය, ජාති ජරා මරණාදි දුඃඛස්කන්ධ නො හට ගන්නේ ය. තෘෂ්ණාව ඇතහොත් මේ දුක්ඛස්කන්ධය නොහට ගැනීම ද නොවෙයි. ඒකාන්තයෙන් හට ගන්නේය. එබැවින් තෘෂ්ණාව ලෝකයේ මැවුම් කරුවා බව කිව යුතුය. තෘෂ්ණාවෙන් අන්‍ය මැවුම් කරුවෙක් නැත්තේය. මැවුම්කරු වශයෙන් සලකන්නා වූ යම් කිසි පුද්ගලයෙක් වේ නම් ඔහු ද තෘෂ්ණාවෙන් ම මවන ලද්දෙක් වන්නේ ය. අතීතයෙහි ද මේ ස්කන්ධයෝ තෘෂ්ණා හේතුවෙන් ම හට ගත්තාහු ය. තෘෂ්ණාවෙන් ම මවන ලද්දෝ ය. අනාගතයෙහි හට ගන්නා වූ ස්කන්ධයෝ ද තෘෂ්ණාවෙන් ම හටගන්නාහුය. තෘෂ්ණාවෙන් ම මවනු ලබන්නාහු ය.

දුඃඛස්කන්ධ සංඛ්‍යාත පඤ්චස්කන්ධය හටගත් කල්හි පඤ්චස්කන්ධ සංඛ්‍යාත ඒ විෂ වෘක්ෂයෙහි තෘෂ්ණා සංඛ්‍යාත විෂ ඵලය හට ගන්නේ ය. පඤ්චස්කන්ධයට ම අයත් වූ චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ද ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද රූප ශබ්දාදි ආරම්මණයෝ ද එයට ආහාර වන්නාහුය. ඒ විෂ ඵලයෙන් නැවත ද දුඃඛස්කන්ධ සංඛ්‍යාත පඤ්චස්කන්ධ වෘක්ෂයන් මවන්නේය. එහි ද තෘෂ්ණා සංඛ්‍යාත විෂ ඵලය නැවතත් හට ගන්නේ ය. එයින් නැවතත් පඤ්චස්කන්ධයක් මවන්නේ ය. මේ ක්‍ර‍මයෙන් බීජයෙන් වෘක්ෂයත් වෘක්ෂයෙන් බීජයත් හට ගැනීම් වශයෙන් වෘක්ෂ පරම්පරාව කල්පාන්තය දක්වා පවතින්නාක් මෙන් තෘෂ්ණාවෙන් ස්කන්ධ පඤ්චකයත් ස්කන්ධ පඤ්චකයෙන් තෘෂ්ණාවත් ඇතිවීම් වශයෙන් මේ දුක්ඛස්කන්ධ පරම්පරාව අර්හත් මාර්ග ඥානයෙන් තෘෂ්ණාව සහමුලින් නසන තාක් ම කොනක් නැත්තා වූ අනාගත කාලය මුළුල්ලෙහි පැවත යන්නේය. එබැවින් දුක්ඛෝත්පත්තියේ සැබෑ හේතුව සොයා ගත්තා වූ සර්වඥයන් වහන්සේ මේ තෘෂ්ණාව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය ය යි වදාළ සේක.