දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධය ඇලුම් කිරීමේ හේතුව

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන දෘඪ තෘෂ්ණාවක් හටගන්නේ කවර හේතුවකින් ද? සත්‍ය වශයෙන් එහි දුක් බවෙක් නැති නිසා ද? යන බව මෙහිදී කල්පනා කළ යුතු කරුණෙකි.

මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ආස්වාදයක් ඇත්තේ ය. ආදීනවයකුත් ඇත්තේ ය. යමක යම්කිසි සුවයක් හෝ සතුටක් හට ගනී නම් එය එහි ආශ්වාදය යි. යමකින් යම්කිසි නපුරක් වේ නම් එය එහි ආදීනවය යි. සත්ත්වයන් උපාදානස්කන්ධ පඤ්චකයට මෙපමණ ඇලුම් කරන්නේ එහි ආශ්වාදයක් ඇති නිසා ය. එහි ඇත්තේ ආශ්වාදය පමණක් ම නම් එයට කිසිවෙක් නො කලකිරෙන්නේ ය. එය කිසිවකුට එපා නො වන්නේ ය. ඒ ගැන හට ගන්නා තෘෂ්ණාව කිසිවකුට නැසිය හැකි නො වන්නේ ය. ස්කන්ධ පඤ්චකය ගැන කලකිරී ස්කන්ධ පඤ්චකය එපා වී, ඒ ගැන සතුටු වන්නා වූ එහි ඇලෙන්නා වූ තෘෂ්ණාව සිඳ ස්කන්ධ පඤ්චකය හැර නිවනට පැමිණියා වූ බුද්ධාදි උත්තමයෝ ද බොහෝ ය. ඒ උත්තමයන්ට තෘෂ්ණාව නැසිය හැකි වූයේ ද ස්කන්ධයන්හි සත්‍ය වශයෙන් මහත් වූ ආදීනවයකුත් ඇති නිසා ම ය.

මේ ස්කන්ධ පඤ්චකය විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියක් වැනි ය. විෂ මිශ්‍ර‍ වූ කේක් ගෙඩිය දකින කල්හි සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. සුවඳ ආඝ්‍රාණය කරන කල්හි ද රසය ආශ්වාදනය කරන කල්හි ද එසේ ම සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. එය එහි ආශ්වාදය යි. යමෙක් එය වැළඳුවහොත් ඔහුට මරණය හෝ වන්නේ ය. නො එසේ වී නම් ඔහු මාස ගණනක් මුළුල්ලෙහි හෝ වර්ෂ ගණනක් මුළුල්ලෙහි හෝ විඳිය යුතු මහත් දුකකට භාජනය වන්නේය. එබැවින් එය ඇලුම් නො කළ යුතු වූ දුරින් ම දුරු කළ යුතු වූ බිය විය යුතු වූ දෙයකි. දුර ගෙන ගොස් පොළොවෙහි වළලා දැමිය යුතු දෙයකි. මෙය විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි ඇති ආදීනවය යි. විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි ඇති මේ ආශ්වාදාදීනව දෙකින් ආදීනවය කොතෙක් මහත් වුව ද එය වැසී පවතී. එය ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ශාස්ත්‍ර‍ඥයකුට මිස අනිකකුට නො දත හැක්කේ ය. ආශ්වාදය ඉතා මඳ වුව ද එය මතු වී පවතී. බලන බලන බැල්මට කාට වුව ද පෙනෙනුයේ එහි මතු වී තිබෙන ආශ්වාදයම ය. එබැවින් විෂ මිශ්‍ර‍ වූ කේක් ගෙඩිය දක්නවුන්ට ඒ ගැන බියක් නො හට ගෙන තෘෂ්ණාවෙන් ඔවුහු එය වළඳා මරණයට හෝ මහා දුඃඛයට හෝ පැමිණෙති.

විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි මෙන් පඤ්චස්කන්ධයෙහි ද ආශ්වාදාදීනව දෙක ම ඇත්තේ ය. පඤ්චස්කන්ධය නිසා වරින් වර ඇතිවන මඳ වූ ද ඇසිල්ලකින් ම නැති වී යන්නා වූ ද සැපය හා සතුට එහි ආශ්වාදය යි. එහි ආදීනවය ඉතා මහත් ය. නිතර නිතර ගෙවි ගෙවී යන බැවින් ආහාර පානාදියෙන් නැවත නැවත අනුබල දිය යුතු බව එහි එක් ආදීනවයකි. නිතර ම දිරන බව එක් ආදීනවයකි මැරෙන බව එක් ආදීනවයකි. නොයෙක් රෝග හටගන්නා බව එක් ආදීනවයකි. නොයෙක් විට නොයෙක් දෙයින් නොයෙක් රිදුම් වන බව එක් ආදීනවයකි. ප්‍රිය වස්තූන්ගේ විනාශයෙන් ශෝක කරන්නට හඬන්නට වන බව ය, ඕනෑ කරන දේවල් නො ලැබීමෙන් ශෝක කරන්නට හඬන්නට සිදුවන බවය යන ආදිය ද එහි ආදීනවයෝ ය.

තව ද මේ පඤ්චස්කන්ධය ඒ ඒ පුද්ගලයා නොයෙක් වාරයෙහිදී තිරිසන් බවට පමුණුවා බොහෝ දුක් ගෙන දීමට සමර්ථ වූ ද, ප්‍රේත බවට පමුණුවා වර්ෂ දහස් ගණන් ලක්ෂ ගණන් මුළුල්ලෙහි දුක් ගෙන දීමට සමර්ථ වූ ද, සඤ්ජීව කාලසූත්‍රාදී මහා නරකයන්ට පමුණුවා වර්ෂ ලක්ෂ කෝටි ගණන් මුළුල්ලෙහි මහ දුක් ගෙන දීමට සමර්ථ වූ ද සත්කායදෘෂ්ටි ලෝභ මානාදි විෂ බීජයෝ: දුඃඛ බීජයෝ යට වී පවත්නාහ. ඒ නිසා භවාග්‍ර‍යට ද පැමිණ සිටින්නා වූ සත්ත්වයා සිටිනුයේ නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පැමිණෙන ස්වභාවය ඇතිවය. මේ සත්කාය දෘෂ්ටි ලෝභ මානාදී විෂයෝ කේක් ගෙඩියේ විෂයට වඩා සියක් දහස් වාරයෙන් උග්‍ර‍ වූ විෂයෝ ය.

මෙබඳු උග්‍ර‍ විෂ සහිත බව ද මේ පඤ්චස්කන්ධයාගේ මහත් වූ ආදීනවයකි.

පඤ්චස්කන්ධයෙහි ආදීනව රාශියක් ඇත ද කේක් ගෙඩියෙහි විෂය මෙන් එය වැසී යටව පවත්නේ ය. එය පෙනෙනුයේ ස්කන්ධයන්ගේ ඇතුළ විනිවිද දැකිය හැකි ධර්මඥාන චක්ෂුස ලබා ගත්තවුන්ට පමණෙකි. සෙස්සන්ට නො පෙනේ. එබැවින් සත්ත්වයෝ කොතෙක් ආදීනව ඇතත් ස්කන්ධයන් ගැන නො කලකිරෙති. ස්කන්ධ ඔවුනට එපා නොවෙති. විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියේ මෙන් ස්කන්ධයන්ගේ ආශ්වාදය නිතර ම මතු ව පවතී. එබැවින් එය ම සත්ත්වයාට මහත් මහත් ව පෙනේ. එබැවින් ඒ ආශ්වාදයෙහි ස්කන්ධයන් ගැන තෘෂ්ණාව උපදී. සත්ත්වයෝ මෙය මාගේ ය යි ගෙන එයට අතිශයින් ඇලුම් කරති. මේ ආදීනව සහිත වූ ස්කන්ධ පඤ්චකය ගැන තෘෂ්ණාව ඉපදෙන ආකාරය යි.

ලෝකයෙහි එක ම හේතුවකින් හටගන්නා වූ කිසිවක් නැත. උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හෙවත් ස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයාගේ නැවත නැවත හටගැනීමට ද බොහෝ හේතූහු ඇත්තාහ. එයින් ප්‍ර‍ධාන හේතුව වනුයේ තෘෂ්ණාවය. තෘෂ්ණාව නමැති මේ එක ම ධර්මය නැසුවහොත් කර්මාදි අවශේෂ හේතූන් කොතෙක් ඇතත් දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වන්නේය. තෘෂ්ණාව තිබෙන තාක් දුක්වල නිවීමෙක් ද නො වන්නේ ය. තෘෂ්ණාව තිබිය දී මතු උත්පත්තියට හේතුවන කර්මාදිය නැසිය නො හැකිය. කර්‍මාදි හේතූන් තිබියදී ම තෘෂ්ණාව නැසිය නොහැකි ය. තෘෂ්ණාව නැසෙනු සමග ම කර්මාදි හේතූන් ද සමග ඒ භවයෙන් මත්තට තිබෙන දුඃඛස්කන්ධය නිවී යන්නේය. එබැවින් දුඃඛෝත්පත්තියේ හේතුව දක්වන්නා වූ තථාගතයන් වහන්සේ මේ ආර්‍ය්‍ය සත්‍ය දේශනාවෙහි දී කර්මාදි හේතූන් ගණනට නොගෙන තෘෂ්ණාව වූ එක ධර්මයක් පමණක් දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය කොට වදාළ සේක.

තෘෂ්ණාව දුකට හේතුවන සැටි මෙසේය :- වැසිකිලි වල උපදින පණුවාගේ පටන් අවීචි මහා නරකයෙහි උපදින නිරිසතාගේ පටන් සෑම සත්ත්වයකුට ම සෑම මිනිසකුට ම සෑම දෙවියකුට ම ස්කන්ධ පඤ්චක සංඛ්‍යාත තමාගේ ආත්ම භාවය ලෝකයෙහි ඇති උසස් ම දෙය සැටියට පෙනෙන්නේ ය. ඒ ආත්ම භාවයට මාරු කළ හැකි කිසි ම දෙයක් ඔහුට තුන් ලොවෙහි ම නැත්තේය. මේ ස්කන්ධ පඤ්චකය ගැන පළමුව තෘෂ්ණාව උපදනා ආකාරය යි. ඉක්බිති ඒ ආත්ම භාව සංඛ්‍යාත ස්කන්ධ පඤ්චකය නැසෙන්නට නොදී ආරක්ෂා කරන්නට පවත්වන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ඔහුගේ චක්ෂු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මන යන ආයතන සයෙහි රූප ශබ්දාදි ආරම්මණයන් ගැටුණු කල්හි ඒවා ද හොඳය කියා ප්‍ර‍ථම තෘෂ්ණාව පහළ වන්නේ ය. පසුව ඒවා නැවත නැවතත් ලබා ගන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ආහාරාදි නොයෙක් දේ එළවමින් අමාරුවෙන් පැවැත්විය යුතු වූ නිතර ඇද වැටෙන සුළු වූ ස්කන්ධ පඤ්චකය, පවතිනවාට කැමැත්ත තිබූ පමණින් නිකම් ම නො පවත්නේය. ආහාර පානාදිය එළවමින් එය පැවැත්විය යුතුය. ආශා කරන්නා වූ ඉෂ්ට රූප ශබ්දාදිය ද ඔහුට ආශාව තිබූ පමණින් නිකම්ම නො ලැබෙන්නේ ය. නො ලැබෙන කල්හි ආත්ම භාවය පවත්වා ගන්නට ඕනෑ ය යන තෘෂ්ණාව විසින් ද, ඉෂ්ට රූප ශබ්දාදීන් ලබන්නට ඕනෑය යන තෘෂ්ණාව විසින් ද ඒ ඒ දේ සෙවීමෙහි සත්ත්වයා මෙහෙයවනු ලබන්නේ ය. තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබූ සත්ත්ව තෙමේ දිවි පැවැත්මට ඕනෑ කරන උපකරණ සෙවීම සඳහා ද ජීවිතයට අහිත දෑ දුරු කිරීම සඳහා ද ආශ්වාදනීය රූප-ශබ්ද-ගන්ධ-රස-ස්පර්ශයන් ලබනු සඳහා ද ක්‍රියා කරන්නට පටන් ගන්නේ ය.

මනුෂ්‍යයකුට එක බත් පිඟානක් ලබනු සඳහා කරන්නට තිබෙන වැඩ අපමණ ය. ඒ සඳහා කුඹුරු කොටන්නට සිදු වන්නේය. සී සාන්නට සිදු වන්නේය. වී වපුරන්නට සිදු වන්නේය. වපුළ ගොයම මාස ගණනක් රැක බලා ගන්නට ද, ගොයම කපන්නට ද, ගොයම මඩවන්නට ද, වී වියළා පිරිසිදු කර්නනට ද, ගෙවල් වලට ගෙන ගොස් ආරක්ෂා කර තබා ගන්නට ද, වී තම්බන්නට ද වියළන්නට ද, කොටන්නට ද, පොළන්නට ද, පැන් ගෙනෙන්නට ද, සහල් සෝදන්නට ද, ගරන්නට ද, ගිනි මොළවන්නට ද සිදු වන්නේ ය. කවරකු විසින් වුව ද මේ වැඩ සමූහය නො කළ හොත් බතක් ඇති නො වන්නේ ය.

ඇඳුමක් පැළඳුමක් ඇති වීමට ද මෙසේ ම වැඩ රාශියක් කරන්නට සිදු වන්නේ ය. වාසයට ගෙයක් ඇති කර ගැනීමට ගිය කල්හි කරන්නට තිබෙන වැඩ මෙයට වඩා දහස් ගුණයකි. මේ එක එක වැඩකට ම වෙහෙසීම දුකෙකි. බොහෝ වෙහෙසෙන්නට සිදු වීමෙන් සිත-කය දෙකට බොහෝ රිදුම් ද වන්නේ ය.

ඒ ඒ දේ ලැබීම සඳහා කරන්නා වූ ක්‍රියා සෑම කල්හි ම සාර්ථක නො වන්නේ ය. නොයෙක් විට ඒවා ව්‍යර්ථ වන්නේ ය. කරන වැඩ ව්‍යර්ථ වීමෙන් වන්නා වූ සිත් රිදුම් ද ඉතා බොහෝ ය.

වෙහෙසී සපයා ගත් දේවල් නොයෙක් විට විනාශ වන්නේ ය. සොරුන් විසින් සතුරන් විසින් හෝ පැහැර ගන්නේ ය. එසේ වීමෙන් බොහෝ සෙයින් රිදුම් ද වන්නේ ය.

කරන්නට තිබෙන සියලු වැඩ තනිව කර ගැනීමට අපහසු බැවින් ද, වඩා සැප බල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද, සත්ත්ව තෙම තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබූ දෙවැන්නකු ද සොයා ගන්නේය. පුරුෂයා විසින් බිරිඳක් ද, ස්ත්‍රිය විසින් සැමියකු ද සහකාරයකු වශයෙන් සොයා ගන්නේය. සහකාරයකු එකතු කර ගැනීමෙන් පසු ඔහුට හත් අට ගුණයකින් වැඩ වැඩි වන්නේ ය. සැමියා හට ප්‍රියාව වෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද භාර්‍ය්‍යාවට හිමියා වෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද සිදු වේ. එසේ කොට ද ප්‍රියාවගේ සිත් ගත නොහැකි වීමෙන් හිමියාට ද, සැමියාගේ සිත් ගත නොහැකි වීමෙන් බිරිඳට ද නොයෙක් විට දුක් වන්නට සිදු වේ.

කල් යත් යත් ඔවුනට දරුවෝ ද වන්නාහ. එකල්හි ඔවුනට දරු ප්‍රේමය යි කියන තෘෂ්ණාව තව සිය ගුණයකින් වැඩ වැඩිකර දෙන්නේය. අඹුදරුවන් ගැන කරන වැඩ කොතෙක් කළත් ඉවරයක් නැතිව තව ඉදිරියට කරන්නට තිබෙන වැඩ රාශිය පෙනෙන විට ඔහුගේ සිතට වන රිදුම ඉතා මහති. සමහර විටෙක එක දරුවකුට ලෙඩක් වන්නේ ය. ඔහුට බෙහෙත් සොයමින් ඇවිදින අතර දරුවකු වරදට හසු වී පොලීසියට ගෙන ගියේ ය යන ආරංචිය ඔහුට ලැබෙන්නේ ය.

දැන් ඔහුට එකවර ම යා යුතු දෙ තැනකි. කොයි පැත්තට යම් දෝයි ලතවෙමින් සිට එකතැනක් බලා යන කල්හි කුඹුරට ගවයන් වැදී කුඹුර පාළු කරන්නේ ය යි යන පණිවුඩය කියාගෙන තව කෙනෙක් එන්නේ ය. යාමට තැන් එක්වර ම තුනක් වීමෙන් වික්ෂිප්තව ගමන් කරන්නා වූ තැනැත්තාට ණය ඉල්ලා ගැනීමට තමන් සොයා එන ණය හිමියා සම්මුඛ වන්නේ ය. ඔහු නුඹ දැන් කී වරක් රැවටුවා ද? අද නම් මාගේ මුදල දීලාම යන්නට ඕනෑ ය කියා මග අවුරා ගෙන ඉදිරියෙන් සිටින්නේ ය. ඔහුට ණය හිමියාගෙන් බේරී යා ගන්නට ක්‍ර‍මයක් නැතිව ලතවෙමින් සිටින විට, තව කෙනේක දුව අවුත් දැන් ළමයාට බොහොම අමාරුයි, ඔය ගෙනෙන බෙහෙත් ඕනෑ නැත, ඉක්මනින් හොඳ වෙද මහතකු හෝ දොස්තර මහතකු කැඳවා ගෙන එන්න ය යි කියන්නේය. සසර සැරි සරන සත්ත්වයාට මෙබඳු අවස්ථාවල් දුර්ලභ නො වේ. මෙබඳු අවස්ථාවක් පැමිණියහොත් එකල්හි වන සිත් රිදුම කෙසේ විය හැකි ද?

තව ද මේ තෘෂ්ණාව හේතුකොට රජවරු රජවරුන් සමග කලහ කරන්නාහ. බමුණෝ බමුණන් සමග කලහ කරන්නාහ. අඹුව සැමියා සමග කලහ කරන්නීය. සැමියා අඹුව සමග කලහ කරන්නේ ය. පියවරු දරුවන් හා කලහ කරන්නාහ. දරුවෝ පියවරුන් හා කලහ කරන්නාහ. මව්වරු ද දරුවන් හා කලහ කරන්නාහ. දරුවෝ මවුන් හා කලහ කරන්නාහ. සහෝදරයෝ සහෝදරයන් හා කලහ කරන්නාහ. නෑයෝ නෑයන් හා කලහ කරන්නාහ. මිතුරෝ මිතුරන් හා කලහ කරන්නාහ. පැවිද්දෝ පැවිද්දන් හා කලහ කරන්නාහ. මෙසේ ඔවුනොවුන් කලහ කොට මරණයට ද පැමිණෙන්නාහ. මරණය පමණ මහත් වූ දුක් වලට ද පැමිණෙන්නාහ.

තව ද ඇතැමෙක් තෘෂ්ණාව නිසා යම් යම් දේ ලබනු සඳහා බොහෝ අනතුරු ඇති කැලෑවලට ද පිවිසෙන්නාහ. ගංගා ද තරණය කරන්නාහ. සමුද්‍ර‍ය ද තරණය කරන්නාහ. භූගර්භයට ද ප්‍ර‍විෂ්ට වන්නාහ. අහසට නගින්නාහ. කඩු තුවක්කු ආදි ආවුධ ගෙන හෙන ගසන්නාක් මෙන් මහ තුවක්කු වලින් වෙඩි තබන, අහසේ සිට පුපුරන බෝම්බ, ගිනි බෝම්බ හෙලන විෂදුම් විහිදුවන යුධ බිම්වලට ද යන්නාහ. සමහරු වස කා සිය දිවි නසා ගන්නාහ. සමහරු එල්ලී සිය දිවි නසා ගන්නාහ. සමහරු දියට පැන සිය දිවි නසා ගන්නාහ. සමහරු දුම්රියට බෙල්ල තබන්නාහ. සමහරු ගෙල සිඳ ගන්නාහ. සමහරු වෙඩි තබා ගන්නාහ. සමහරු ගිනි වැද මැරෙන්නාහ. මේ තෘෂ්ණාව හේතු කොට මෙලොවදී ම වන්නා වූ මහත් වූ දුඃඛස්කන්ධයෙන් බිඳකි. දැක් වූ කරුණුවල අනුසාරයෙන් තව දුරටත් කල්පනා කොට තේරුම් ගනිත්වා!