9. පලෝකා

නව වන භාවනා පදය.

ස්කන්ධයෝ කොටසින් කොටස විනාශ වන ස්වභාවය ඇත්තෝ ය.

මහ ජලගැලුම්වලදී දුබල වූ ගං ඉවුරු වැව්කණ්ඩි වැලිකඳු පස්කඳු කොටසින් කොටස බිඳී යන්නාක් මෙන් තද සුළඟට අසු වී ගස්වල අතුරිකිලි බිඳී යන්නාක් මෙන් ගින්නට අසු වූ විට ගෙවල් දැවී යන්නාක් මෙන් රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ ශරීරය ද කොටසින් කොටස සිඳී යන විනාශ වී යන ස්වභාවය ඇතියකි. නොයෙක් අනතුරු වලින් ශරීරයේ ඇස් කන් නැති වී යයි. ගණ්ඩකුෂ්ඨාදි රෝගවලින් සම් මස් ලේ නැති වී යයි. වැටීම් පහර වැදීම් වලින් ඇට සිඳීයයි. කන් නාස් සිඳෙයි. ඇඟිලි අත් පා සිඳෙයි. ශරීරය කොටස් වශයෙන් තැළී පොඩි වී යයි. ගින්නෙන් දැවී යයි. ආවුධවලින් කැපී යයි. ජරාවෙන් ලේ මස් නැති වී යයි. සිංහ ව්‍යාඝ්‍රාදි සතුන් විසින් කනු ලැබීමෙන් ද කොටසින් කොටස ශරීරය සිඳි සිඳී විනාශ වේ. මරණයෙන් සම්පූර්ණ පඤ්චස්කන්ධය විනාශ වේ. නාමස්කන්ධයන් කොටස් වශයෙන් විනාශ වීම අප්‍ර‍කට ය. සොම්නසින් වෙසෙන්නහු ගේ ඒ සොම්නස ශෝකයට බියට කරුණක් ඇතිවීමෙන් නැති වෙයි. දොම්නස සොම්නසට හේතූන් ලැබීමෙන් නැති වෙයි. උපේක්ෂාව සොම්නස් දොම්නස් හේතූන්ගෙන් නැති වේ. මෙසේ වේදනාදී නාමස්කන්ධයන්ගේ නැතිවීම සිඳී යාම ද සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ පලෝකතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපලෝකධම්මො නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

ස්කන්ධයන් කොටස් වශයෙන් නැසෙන සිඳෙන ධර්මයන් සේ දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වූ විනාශ නොවන ස්වභාවය නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.