10. ඊති

දසවන භාවනා පදය.

ස්කන්ධයෝ මහත් වූ ව්‍යසනයෝ ය.

ලෝකයෙහි ඥාතිව්‍යසනාදි අනේකප්‍ර‍කාර ව්‍යසන ඇත්තේ ය. ඒවායින් සත්ත්වයනට මහත් චිත්තසන්තාපයක් ඇති වේ. දරුවන්ට මාපියන්ගේ මරණවලින් මහත් ශෝකාග්නියක් ඇති වේ. හිමියන්ට බිරියන්ගේ මරණයෙන් ද, බිරියන්ට හිමියන්ගේ මරණයෙන් ද, මාපියන්ට දරුවන්ගේ මරණයෙන් ද, සහෝදරයන්ට සහෝදරයන්ගේ මරණයෙන් ද, නෑයන්ට නෑයන් ගේ මරණයෙන් ද, මිතුරන්ට මිතුරන් ගේ මරණයෙන් ද මහත් චිත්ත සන්තාපයක් දොම්නසක් ඇති වේ. ව්‍යසනයන්ගෙන් ඇති වන බලවත් චිත්ත සන්තාපයෙන් ඇතැම්හු රෝගීහු වෙති. ඇතැම්හු උමතු වෙති. ඇතැම්හු වියළී මිය යෙති. සමහරුන්ට සමහර විට පටාචාරාවට මෙන් එකවිට බොහෝ ව්‍යසන ද ඇති වේ. එබඳු අවස්ථාවක් පැමිණි කල්හි පඤ්චස්කන්ධයට ඔරොත්තු නො දෙන තරමේ මහත් ගින්නක් ඇති වේ. විශාල වියදමකින් මහත් වෙහෙසකින් තනා තුබූ ගෙවල් විනාශ වේ. වවාගෙන සිටි කෙත්වතු විනාශ වේ. රැස්කර තුබූ ධනය විනාශ වේ. ඒවායින් ද සත්ත්වයනට ඉමහත් චිත්ත සන්තාපයක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති නම් විනාශ වන්නට මාපියෝ ද නැත, සැමියෝ ද නැත, බිරියෝ ද සහෝදරයෝ ද නැත, නෑ මිතුරෝ ද නැත, ගෙවල් ද නැත, කෙත්වතු ද නැත. එ බැවින් පඤ්චස්කන්ධය නැති කල්හි ඥාතිව්‍යසනාදි ව්‍යසන නැත. පඤ්චස්කන්ධය ඇතොත් ව්‍යසන ද ඇත්තේ ය. ව්‍යසනයෙන් මිදුණු පඤ්චස්කන්ධයක් නැත. පඤ්චස්කන්ධයක් තිබීම ම ව්‍යසන හේතුව ය. එබැවින් පඤ්චස්කන්ධය ම මහත් වූ ව්‍යසනයකැ යි කියනු ලැබේ.

“පඤ්චක්ඛන්ධෙ ඊතිතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනීතිකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති”

පඤ්චස්කන්ධය ව්‍යසනයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වූ ව්‍යසන නැති බව නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.