40. සංකිලේසික ධම්මා

star_outline

සතළිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ කෙලෙසන ස්වභාවය ඇතියෝ ය.

යකඩය එයින් ම මල නැඟී කිලිටි වන්නාක් මෙන් ඒවා අතරින් ම තෘෂ්ණාදෘෂ්ට්‍යාදී කෙලෙස්මල හා දුශ්චරිත මලයන් නැඟී ස්කන්ධයෝ කිලිටි වෙති. භවයෙහි පිළිසිඳ ගත් සත්ත්වයා හට පළමුවෙන් ම ඇති වන්නේ ඒ අලුත් භවයට ඇලුම් කරන තෘෂ්ණා ක්ලේශය ය. ඉන්පසු ඒ පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා දෘෂ්ටි ක්ලේශය උපදී. කල් යාමෙන් ඒ සත්ත්වයාගේ සන්තානයෙහි ද්වේෂ ඊර්ෂ්‍යා මාත්සර්ය මානාදී අවශේෂ ක්ලේශයෝ ද උපදිති. සත්පුරුෂ සේවනයක් නැතිව, සද්ධර්ම ශ්‍ර‍වණයක් නැතිව, අවිද්‍යාවෙන් අන්ධව කල් යවන්නා වූ පුද්ගලයාගේ සන්තානයෙහි නිතර නිතර නැවත නැවත ඇති වීමෙන් හුණ පඳුරක් සේ කෙලෙස්හු ඝනව වැඩෙති. ඒ කෙලෙස් වැඩීම නිසා ඔහුගෙන් ප්‍රාණඝාතාදි අනේකප්‍ර‍කාර පව්කම් ද කෙරෙන්නට වේ. මෙසේ ඇතිවන වැඩෙන ක්ලේශයෝ අනුශය වශයෙන් හා පරියුට්ඨාන වශයෙන් ලෝකෝත්තර මාර්ගඥානය නමැති ජලයෙන් සෝදා හරින තෙක් පවතිත්.

සත්පුරුෂ සේවන - සද්ධර්මශ්‍ර‍වණාදියෙන් අවිද්‍යා පටලය තුනී කරගත් ඇතැම්හු ක්ලේශයන්ගේ හා දුශ්චරිතයන් ගේ නපුර තේරුම් ගෙන ඒවායින් වැළකී සිටීමට උත්සාහ කෙරෙති. ඇතැමෙක් තෙරුවන් සරණ ගොස් පව්කම් හැර උපාසකයෝ වෙති. වඩාත් ශුද්ධ ජීවිතයක් පවත්වනු කැමති ඇතැම්හු “සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා” යනුවෙන් දැක්වෙන පරිදි “මේ ගිහිගෙය කුශලයට අවහිර තැනක, කෙලෙස් රජස් නගින තැනක, පැවිද්ද අවකාශ ස්ථානයකැ” යි සලකා ගිහි ගෙය හැර පැවිදිව සිල් රකින්නට පටන් ගනිති. ස්කන්ධයන් කෙලෙසන ස්වභාවය ඇතියවුන් බැවින් ද, කෙලෙස් ඇති කරන බොහෝ හේතූන් සත්ත්වයා වටා ඇති බැවින් ද පෘථග්ජන පුද්ගලයකුට දිවිහිමියෙන් ශුද්ධ ජීවිතයක් පැවැත්වීම අති දුෂ්කර වේ. එබැවින් උපාසකයාගේ සන්තානයෙහි වරින් වර කෙලෙස් නැඟී එයි. වරින් වර හේ පව්කම් ද කරයි. සමහරු කලක් කෙලෙසුන් යටපත් කරගෙන දුසිරිතෙන් වැළකී සිට නැවතත් සුරාපාන, මිථ්‍යාචාරාදී පව්කම්වල යෙදෙති. පැවිදිවූවෝ ද නැවත ගිහි බවට පැමිණෙති. සාමාන්‍ය පුද්ගලයන් තබා අප මහ බෝසතාණන් වහන්සේ ද පැවිදිව සිට පසුව කෙලෙසුන්ට වසඟ වූ බව ජාතක කථාවල දක්වා ඇත්තේ ය.

පෙර බරණැස් රජු ගේ පුත්‍ර බ්‍ර‍හ්මදත්ත කුමාරයා ය, පුරෝහිත පුත්‍ර‍ කාශ්‍යපය යන දෙදෙන එක් ඇදුරු කුලයක සිප් සතර උගත්තෝ ය. බ්‍ර‍හ්මදත්ත කුමාර තෙමේ පිය රජු ඇවෑමෙන් රජ විය. පුරෝහිත පුත්‍ර‍ කාශ්‍යප “මාගේ යහළුවා රජ විය. දැන් මට ඔහුගෙන් බොහෝ සම්පත් ලැබෙනු ඇත. මට මේ රජුගෙන් ලැබෙන යස ඉසුරෙන් කිනම් ප්‍රයෝජනයක් ද? මම පැවිදි වෙමි”යි සිතා මාපියන් ගෙන් හා රජුගෙන් අවසර ගෙන හිමාලය වනයට ගොස් පැවිදිව සතියකින් ධ්‍යානාභිඥා උපදවා එහි ම විසුයේ ය. ඔහු පැවිදි වීමෙන් පසු ලෝමසකාශ්‍යප ය යි ප්‍ර‍සිද්ධ විය. හෙතෙමේ ඝෝර තපස් ඇති තව්සෙක් විය. එතුමාගේ තපස් තේජසින් සක්දෙව් රජුගේ භවන සෙලවී ගියේ ය. සක්දෙව් රජ භවන සෙලවීමේ කරුණ විමසනුයේ ලෝමසකාශ්‍යප තවුසාණන් ගේ තපස් තේජසින එය සෙලවුණු බව දැන “මේ තවුසා මා ශක්‍ර‍භාවයෙන් පහ කරන්නට ද බැරි නැත. එ බැවින් බරණැස් රජු හා එක් වී මොහු ගේ තපස නැති කරමි”යි එක් රාත්‍රියක රජුගේ නිදන කාමරයට පිවිස තමාගේ ශරීරාලෝකයෙන් කාමරය එළිය කරමින් අහසෙහි සිට “නැගිටිනු මහරජ” යි කියා රජු අවදි කොට, “මහරජ, මුළු දඹදිවට ම රජ වන්නට කැමති දැ”යි ඇසීය. රජතුමා “හැකිනම් නො කැමති වන්නේ කිම දැ”යි කීය. එසේ නම් “ලෝමසකාශ්‍යප තවුසාණන් ගෙන්වා ඔහු ලවා සතුන් මරා කරන වාජපෙය්‍ය නම් මහායාගය කරවව. ඉන්පසු ඔබට ශක්‍ර‍යා සේ අජරාමර වී මුළු දඹදිව රජ කළ හැකි වන්නේය” යි කීය. රජ තෙමේ පසුදින සය්හ නම් ඇමති ගෙන්වා “යහළුව, ලෝමසකාශ්‍යපයන් ලවා යාගය කරවා ගත හොත් මට මුළු දඹදිව ම රජ විය හැකිය, මෙහි ඇවිත් යාගය කරන්නය, මම ඔහු කැමති තරම් මහත් ප්‍රදේශයක් දෙමිය, ඒ බව තාපසයන්ට දන්වා යාගය පිණිස ඔහු කැඳවා ගෙන එව”යි කියා ඔහු පිටත් කෙළේ ය. ඇමති ලෝමකාශ්‍යපයන් වෙසෙන තැන දන්නා කෙනකු සොයා ඔහු පෙරටු කොට මහ පිරිවරින් එහි ගොස් තාපසයන්ට රජුගේ පණිවිඩය දැන්වීය. ලෝමසකාශ්‍යප තාසපසෝ “අධර්ම්යෙන් ලබන යසඉසුර නින්දිතය, මුු දඹදිව මට ලැබෙතත් මා ඒ යාගය කරන්නට නො කැමැත්තෙමිය” කියා රජුගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළහ. ඇමතිතුමා පෙරළා අවුත් රජුට කාරණය දැන්වීය. රජතෙමේ තාපසයන් නො එනවා නම් කුමක් කරන්නෙම්දැ යි තුෂ්ණීම්භූත විය. නැවතත් සක්දෙව් රජ පැමිණ රජුගේ දියණිය වන චන්ද්‍ර‍වතී කුමරිය සරසවා සය්හ හා තාපසයන් වෙත යවා “ඉදින් මේ යාගය කරන්නට එන්නාහු නම් මේ කුමරියත් දෙමියි” තාපසයන්ට කියව, තාපසයෝ කුමරිය කෙරෙහි ඇලී එනු ඇතැ”යි කීය. රජතුමා පසුදින කුමරිය සරසවා සය්හ ඇමති හා තාපසයන් වෙත යැවීය.

සය්හ, කුමරිය ද කැටුව තවුසාණන් වෙත ගොස්, දෙවඟනක බඳු රූසිරියෙන් යුත් කුමරිය දක්වා තාපසයන්ට කාරණය දැන්වී ය. කුමරිය දුටු කෙණෙහි ම, ධ්‍යාන බලයෙන් කාලාන්තරයක් කෙලෙසුන් යටපත් කර ගෙන විසූ තාපසයන් කෙරෙහි කෙලෙස් මතු විය. තාපසයේ ධ්‍යානයෙන් පිරිහුණහ. ඉක්බිති තාපසයෝ කුමරිය කෙරෙහි ලෝභයෙන් ඇය හා එක යානයක නැඟී යාගය පිණිස බරණැස බලා පිටත් වූහ. රජතුමා තාපසයන් එනු අසා සතුන් ගෙන්වා බැඳ තබවා යාගය පිළියෙළ කරවී ය. තාපසයෝ චන්ද්‍ර‍වතිය සමඟ ම යාගස්ථානයට ගොස් බැඳ සිටි ඇත්, අස්, ගව ආදී සතුන් ගැණ බලා යාගයට සූදානම් වූහ. ඒ බව මහජනයා දැක “තාපසයෙනි, ඔබ කුමක් කරන්නට යන්නහු ද? මේ පව්කම් ඔබට සුදුසු නැතැ”යි ඝෝෂා කළහ. එකල්හි තාපස, යාගය කරනු පිණිස මඟුලැතුගේ ගෙලට පහර දීම සඳහා කඩුව එසවී ය. ඇතු බිය වී මහ හඬ නඟන්නට වූහ. එය අසා තාපස බිය විය. ඔහුට තමා තවුසකු බව දැනුණේ එවිට ය. අන්තිම අවස්ථාවේ තාපස, එය ප්‍ර‍තික්ෂේප කොට යම්තම් කරන්නට ගිය මහා ප්‍රාණඝාතයෙන් බේරුණේ ය. ලෝමසකාශ්‍යප තාපසයෝ අන්තිම මොහොතේ දී නැවතත් සිහිනුවණ ලැබ, එහිදී ම ධ්‍යානාභිඥා ද නැවත උපදවා ගෙන රජුට දහම් දෙසා හිමාලය වනයට ම ගියහ. මේ ලෝමසකාශ්‍යප ජාතකය ය. තවත් මෙබඳු කථා ගණනක් ම ජාතක පොතේ එන්නේ ය. සිල් පිරිසිදු කර ධ්‍යානාභිඥා උපදවා ගෙන සිටින උත්තම පුද්ගලයන් පවා මෙසේ කෙලෙසුන්ගෙන් කිලිටි වන කල්හි සාමාන්‍ය පුද්ගලයන් කිලිටි වීම ගැන කියනමු කිම?

මෙසේ කෙලෙසුන් ගෙන් හා දුසිරිතෙන් වරින් වර කිලිටි වීම භයානක කරුණෙකි. බෙහෝ දන් දුන් බොහෝ කල් සිල් රැකි බොහෝ භාවනා කළ අය පවා සමහර විට මරණින් මතු අපාගත වන්නේ ස්කන්ධයන්ගේ මේ කිලිටි වන ගතිය නිසා ය. ස්කන්ධයන් මේ ක්ලේශමල දුශ්චරිත මලයෙන් නැවත නැවත කිලිටි වී නිසා මැරෙන මිනිසුන්ගෙන් ඉතා බොහෝ දෙනෙක් අපායට ම යන්නාහ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ නිය‘ඟට ගත් පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට දක්වා “මහණෙනි, මා නිය පිට තබා ගෙන සිටින මේ පස් ටිකෙන් හා මහ පොළොවේ පස්වලින් කවරක් වැඩි දැ”යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි, නුඹ වහන්සේගේ නිය‘ග ඇති පස ඉතා සුළු ය, පොළොවේ පස ඉතා බොහෝය, නුඹ වහන්සේගේ නිය පිට ඇති පස් ස්වල්පය මහපොළොවේ පස්වලින් දහසින් පංගුවක් හෝ දස දහසින් පංගුවක් හෝ ලක්ෂයෙන් කෝටියෙන් පංගුවක් පමණ හෝ නොවන්නේය”යි සැලකළෝ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ-

“එවමේව ඛො භික්ඛවේ, අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්චාජායන්ති. අථ ඛෝ එතේයේව බහුතරා සත්තා යේ මනුස්සා චුතා තිරච්ඡානයෝනියා පච්චාජායන්ති.”

යනුවෙන් “මහණෙනි, එපරිද්දෙන් ඉතා ටික දෙනෙක් ම මිනිස් ලොවින් ච්‍යුතව මිනිස් ලොව උපදනාහ. මිනිස්ලොවින් ච්‍යුතව තිරිසන් යෝනියෙහි උපදනා සත්ත්වයෝ ම බොහෝ වෙති” යි වදාළ සේක.

“ඒව මේව ඛෝ භික්ඛවේ අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්චාජායන්ති. අථ ඛෝ එතේයේව බහුතරා සත්තා යේ මනුස්සා චුතා පෙත්ති විසයේ පච්චාජායන්ති.”

ඒවමෙව ඛෝ භික්ඛවේ අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා දේවේසු පච්චාජායන්ති. අථ ඛෝ ඒතේ ඒව බහුතරා සත්තා යේ මනුස්සා චුතා නිරයේ පච්චාජායන්ති

(සච්චසංයුත්ත)

යන පාඨවලින් මිනිස් ලොවින් ච්‍යුතව ප්‍රේතව උපදින්නවුන් ම නරකයෙහි උපදින්නවුන් ම බොහෝ බව වදාරා ඇත්තේ ය. කෙලෙසුන්ගෙන් හා දුශ්චරිතයන්ගෙන් කෙලෙසන පඤ්චස්කන්ධය දරන කල්හි නැවත නැවත අපාගත වීමේ නපුර තේරුම් ගත් නුවණැත්තෝ විදසුන් වඩා අපායෙන් හා පඤ්චස්කන්ධයෙන් මිදෙති.

“පඤ්චක්ඛන්ධෙ සංකිලේසික ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසංකිලිට්ඨං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් කෙලෙසන ස්වභාව ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නො කෙලෙසෙන නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

යෝගාවචරයකුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම සඳහා ප්‍ර‍ධාන වශයෙන් වුවමනා වන්නේ රූප-වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන ස්කන්ධ පසෙහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ලක්ෂණ තුන හරියට තේරුම් ගැනීම ය. හරියට දැක ගැනීම ය. අනිච්චං දුක්ඛං අනාත්තා යන වචන තුනෙන් පමණක් ත්‍රිලක්ෂණය හරියට තේරුම් ගැනීම අපහසු ය. නොයෙක් වචනවලින් නොයෙක් ආකාරයෙන් ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන යෝගාවචරයාට එය තේරුම් ගැනීම පහසු ය. මේ චත්තාළීසාකාරයෙන් විදර්ශනා කළ යුත්තේ ඒ නිසා ය. මේ භාවනාපද සතළිසෙන් දැක්වෙන්නේ කරුණු සතළිසක් නොව අනිච්ච-දුක්ඛ-අනත්ත යන කරුණු තුන ය.

මේ චත්තාළීසාකාර භාවනාවෙහි අනිත්‍ය ලක්ෂණය දක්වන භාවනා පද දසයෙකි. අනිච්චා, පලෝකා, චලා, පහඞ්ගු, අද්ධුවා, විපරිණාමධම්මා, අසාරකා, විභවා, සඞ්ඛතා, මරණධම්මා යන මේ දශය අනිත්‍යලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

දුඃඛලක්ෂණය පිළිබඳ භාවනා පද පස්විස්සෙකි. දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා, අඝා, අඝමූලා, ආබාධා, ඊති, උපද්දවා, භයා, උපසග්ගා, අතාණා, අලේණා, අසරණා, ආදීනවා, වධකා, සාසවා, මාරාමිසා, ජාතිධම්මා, ජරා ධම්මා, ව්‍යාධි ධම්මා, සෝකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලේසිකධම්මා මොවුහු දුඃඛ ලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද පසෙකි. අනත්තා, පරේ, රිත්තා, තුච්ඡා, සුඤ්ඤා යන මේ පස අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

අනිත්‍යලක්ෂණය පිළිබඳ භාවනා පද දශය “රූපං අනිච්චං පලෝකං චලං පභඞ්ගු අද්ධුවං විපරිණාමධම්මං අසාරකං විභවං සඞ්ඛතං මරණධම්මං” යි රූපස්කන්ධය හා යොදා භාවනා කළ යුතු ය. වේදනාදි ස්කන්ධ සතර හා යොදා ද භාවනා කළ යුතු ය. එසේ කරන කල්හි අනිච්චානුපස්සනා පනසක් වේ. දුඃඛලක්ෂණය පිළිබඳ භාවනා පද පස්විස්ස වෙන වෙන ම ස්කන්ධ පඤ්චකය හා යෙදූ කල්හි දුක්ඛානුපස්සනා එකසිය විසිපහක් වේ. අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද පස එක් එක් ස්කන්ධයන් හා වෙන වෙන ම යෙදූ කල්හි අනත්තානු පස්සනා පස්විස්සක් වේ. මේ භාවනා ක්‍ර‍මයේ සැටියට අනුපස්සනා දෙසීයකි.