39. උපායාස ධම්මා

එකුන්සාළිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ තදින් සිත වෙහෙසවන ස්වභාව ඇතියෝ ය.

පවුලේ සැම දෙන ම නැසී එක් අයකු ඉතිරි වූ අවස්ථාව, රජුන් උදහස් වී සියලු වස්තුව ගත් අවස්ථාව, රටින් පිටුවහල් කළ අවස්ථාව, ගින්නෙන් හෝ ජලයෙන් හැඳිවත හැර අන් සියල්ල විනාශ වූ අවස්ථාව, සොරුන් පැමිණ අඹුදරුවන් ද සමග සියලු ධනය පැහැර ගත් අවස්ථාව, රජු කිපී තමා ඉදිරියේ ම තමාගේ දූදරුවන් මරවන අවස්ථාව යනාදී මහා විනාශයන්හිදී ඇතිවන බලවත් සිත් වෙහෙස උපායාස නම් වේ. විපතක් වූ කල්හි හැඬෙන්නේ ශෝකය නිසා ය. උපායාසය ශෝකයට වඩා නපුරු ය. රත් වූ කබලකට වතුර බිඳක් ලූ කල්හි එය එහි ම දැවී සිඳී යන්නාක් මෙන් උපායාසය ඇති වූ කල්හි කඳුළු වැගිරවීමක් නො කොට ඇතුළ ම තදින් දැවේ. පුද්ගලයා නිසල ව සිටී. සමහරුන් තද විපතේ දී සිහි නැති වී වැටෙන්නේ-මැරී වැටෙන්නේ මේ උපායාසය නිසා ය.

ශෝකය ද්වේෂමූල දෙසිතෙහි ඇති දෝමනස්ස වේදනාව ය. එය වේදනාස්කන්ධයට අයත් ය. උපායාසය සිත තදින් දවන තවන ද්වේෂ චෛතසිකය ය. එය සංස්කාරස්කන්ධයට අයත් ය. එය තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් අන්‍ය වූ විසාද නම් චෛතසිකයකැයි ඇතැම්හු කියති යි විශුඬිමාර්ග ටීකාවේ කියා තිබේ.

“පඤ්චක්ඛන්ධෙ උපායාසධම්මෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනුපායාසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් තදින් සිත වෙහෙසවන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ, ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය උපායාස නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.