4. ගණ්ඩා

star_outline

සතර වන භාවනා පදය

ශරීරවල හටගන්නා ගෙඩි හා සමාන බැවින් ස්කන්ධයෝ ගණ්ඩයෝ ය.

ස්කන්ධයෝ තුන් ආකාරයකින් ශරීරයේ හටගන්නා ගෙඩිවිලට සමාන වෙති. ගෙඩිවල දැවිල්ල, පුපුරු ගැසීම, හුලකින් අනින්නාක් මෙන් වරින් වර ඇති වන කැක්කුම, පිහියකින් කපන්නාක් මෙන් ඇති වන කැක්කුම, පෙඩි කරන්නාක් මෙන් ඇති වන කැක්කුම, නො නැවතී දිගට ම පවත්නා කැක්කුම යන විවිධ කැක්කුම් ඇත්තේ ය. ගෙඩියක මෙන් පඤ්චස්කන්ධයෙහි ගණනක් නැති කැක්කුම් ඇත්තේ ය. උපනුපන් සංස්කාර එතැන ම සැණෙකින් බිඳි බිඳී අභාවයට යන පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත මේ සංස්කාර පුඤ්ජයෙහි බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාරයන් ඇති කිරීම සඳහා ආහාරපාන බෙහෙත් සැපයීමේ මහා කරදරය, කොතෙක් ආහාරපාන ගත ද සාගින්න හා පිපාසය නැවත නැවත ඇතිවීමේ කරදරය, අපවිත්‍ර‍ ද්‍ර‍ව්‍යයන් උතුරන වැගිරෙන මේ රූපකය දිනකට වාර ගණනක් පිරිසිදු කිරීමේ කරදරය, රූපකය ආරක්ෂා කරනු පිණිස අලංකාර කරනු පිණිස වස්ත්‍රාභරණ සැපයීමේ කරදරය, වාසස්ථාන සැපයීමේ කරදරය, අඹුදරුවන් ඇතියන්ට ඔවුන් පෝෂණය කිරීමේ හා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය ඇතියන්ට ඒවා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය නැතියන්ට දුප්පත්කමේ කරදරය, ගල් මුල් ආදියෙහි සැපීමෙන් වන රිදුම්, වැටීමෙන් වන රිදුම්, සොර සතුරන්ගෙන් පහර ලැබීමෙන් වන රිදුම්, දියේ ගිලීමෙන් ගින්නෙන් දැවීමෙන් වන රිදුම්, උකුණු මකුණු ආදි කුඩා සතුන් කෑමෙන් වන රිදුම්, බලු සිවල් ආදීන් සැපීමෙන් වන රිදුම්, සර්පයන් දෂ්ට කිරීමෙන් වන රිදුම්, මාර්ග අනතුරු භූමිකම්පා ජලය ගැලීම් අකුණු වැදීම් ආදියෙන් වන රිදුම්, වුවමනා දෙය ලබා ගත නො හැකි වීම, තුබූ දෙය නැති වී යාම, බලාපොරොත්තු ඉටු නො වීම, අඹුදරුවන් අකීකරු වීම, ගෝලයන් අකීකරු වීම, නින්දා ලැබීම, නඩුහබවලට අසුවීම, අවමන් ලැබීම, අඹුදරුවන් රෝගාතුර වීම, ඔවුන් මරණයට පත්වීම, නෑයන් මිතුරන් මරණයට පත්වීම යනාදි නොයෙක් කරුණුවලින් වන සිත රිදුම් ද පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් ඒ පඤ්චස්කන්ධය භයානක ගෙඩියකි.

මතු වී ඒමය, පැසවීමය, පුපුරා යාමය යි ගෙඩියකට අවස්ථා තුනක් ඇත්තේ ය. සංස්කාරයන්ට ද හටගැනීමය, දිරීමය, බිඳී අතුරුදහන් වීමය යි තුන් අවස්ථාවක් ඇත්තේ ය. ඒ කරුණෙන් ද ස්කන්ධපඤ්චය ගෙඩියකැයි සැලකිය යුතු ය.

ගෙඩිවලින් කුණුලේ කුණුසැරව ගලන්නේ ය. පඤ්චස්කන්ධයෙහි ද චක්ෂුර්ද්වාරය-ශ්‍රෝත්‍ර‍ද්වාරය-ඝ්‍රාණද්වාරය-ජිහ්වාද් වාරය-කායද්වාරය-මනෝද්වාරය කියා කෙලෙස් නමැති අපවිත්‍ර‍ දැය ගලන සිදුරු සයක් ඇත්තේ ය. හොඳට ඇඳ පැළඳ සිටින පුද්ගලයකු හෝ හොඳ ගෙයක් හෝ වත්තක් කුඹුරක් හෝ රථයක් හෝ ඉන්ද්‍රිය සංවරයක් නැති පුද්ගලයකුගේ ඇසට හමු වූ කල්හි ඔහුගේ චක්ෂුස නමැති සිදුරෙන් ලෝභාදි ක්ලේශයෝ ගලා යති. හොඳ ඇඳුමකින් සිටින පුද්ගලයකු දුටු කල්හි මේ කොතරම් ලස්සන කොතරම් හොඳ ඇඳුමක් ද? මේ ජාතියේ ඇඳුමක් මාත් අඳින්නට ඕනෑය, මාගේ අසවලාට හෝ මේ ජාතියේ ඇඳුමක් අඳවන්න ඕනෑය කියා ඉන්ද්‍රියසංවරය නැති පුද්ගලයාගේ ඇසින් ලොභ නමැති ක්ලේශය ගලා යයි. පෙනේ ද මූ ඇඳ සිටින සැටි, මුන් ඉස්සරත් මෙහෙම ඇන්දා ද යනාදීන් ද්වේෂ ඊර්ෂ්‍යා නමැති ක්ලේශයෝ ගලා යති. හොඳ ගෙවල් වතු කුඹුරු ආදිය දැකීමෙහිදී ද එසේම කෙලෙස් ගලා යන සැටි තේරුම් ගත යුතු ය. ශ්‍රෝත්‍රාදී ද්වාරයන්ගෙන් කෙලෙස් ගැලීමත් කියන ලද ක්‍ර‍මය අනුව සිතා ගත යුතු ය. කෙලෙස් නමැති අපවිත්‍ර‍ දෙය ගලන තැනක් වන බැවින් පඤ්චස්කන්ධය පැසුණු ගෙඩියකි.

පඤ්චස්ඛන්ධෙ ගණ්ඩතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අගණ්ඩං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

(පටිසම්භිදාමග්ග)

“ස්කන්ධයෝ පස්දෙන ගෙඩි ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගය ලැබීමට අනුරූප විදර්ශනා ඥානය ලබා ය, පස්දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය ගෙඩියක් නො වන නිවනයයි දක්නා තැනැත්තේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය” යනු එහි තේරුම ය.