3. රෝගා

star_outline

තුන්වන භාවනා පදය

කාශ ශ්වාස ජ්වර අතීසාරාදි රෝගයන් වන බැවින් ස්කන්ධයෝ රෝගයෝ ය. (ලෙඩය)

ස්කන්ධයන් රෝගයන්ට සමාන වන්නේ කරුණු දෙකකිනි. රෝගියකු මෙන් ප්‍ර‍ත්‍යයෙන් යැපිය යුතු වීම එක් කරුණෙකි. මූල රෝගය හෙවත් ප්‍ර‍ධාන රෝගය තවත් බොහෝ ව්‍යාධීන් ඇති කරන්නාක් මෙන් නොයෙක් දුක් කරදර ඇති කිරීම අනික් කරුණ ය.

ධර්මයෙන් ඈත් ව වෙසෙන අන්ධ පෘථග්ජනයන් තමන් මහබලවතුන්ය යි අවිද්‍යාව නිසා වරදවා තේරුම් ගෙන තමාගේ බලය ගැන මත් ව සිටින නුමුත්, රූප ස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කය ලොකු දෙයකට තබා වැස්සට පින්නට අව්වට පවා ඔරොත්තු නොදෙන මැසි මදුරුවන් විසින් පවා පීඩා කළ හැකි ඉතා දුබල දෙයකි. එය ආහාරපානාදියෙන් පෝෂණය නො කළ හොත් ආරක්ෂා නො කළ හොත් දින ගණනක් පවත්වා ගැනීම ද දුෂ්කර ය. එබැවින් මේ දුබල ශරීරය පණ ගැන්වීමට දිනපතා ආහාරපානයන් ඇතුළු කළ යුතු ය. වැසි සුළං ආදියෙන් ආරක්ෂා කිරීම පිණිස ගෙවල් තනා ඒවායේ තබා ගත යුතු ය. මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වස්ත්‍ර‍වලින් වසා තබා ගත යුතු ය. ජීවිත නාශක හේතූන් සත්ත්වයා වටේ ගණනක් නැති ව ඇත්තේ ය. ඒ නිසා මේ ශරීරය පත්තෑ ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන් ද බලු කැණහිල් ආදි නපුරු සතුන්ගෙන් ද ආරක්ෂා කළ යුතු ය. මිනිසාට ඇති නපුරු ම සතුරා මිනිසා ම ය. සමහරවිට හිමියාට බිරිය සතුරු ය. බිරියට හිමියා සතුරු ය. මාපියනට දරුවෝ සතුරු ය. දරුවන්ට මාපියෝ සතුරු ය. සහෝදරයන්ට සහෝදරයෝ ම සතුරු ය. නෑයන්ට නෑයෝ ම සතුරු ය. අසල්වැසියන්ට අසල්වැසියෝ සතුරු ය. පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට නම් ඒ සැම සතුරන්ගෙන් ම මේ පඤ්චස්කන්ධය ආරක්ෂා කර ගත යුතු ය. ඖෂධ ආහාරපානවලින් හා අහිත දෑ දුරු කිරීමෙන් රෝගියකු ආරක්ෂා කරන්නාක් මෙන් පඤ්චස්කන්ධය ආරක්ෂා කළ යුතු බැවින් එය මහා රෝගයෙකි.

පීනස, අර්ශස, දියවැඩියාව, රක්තවාතය ආදි කල් පවත්නා රෝගයෝ මූල රෝගයෝ ය. යම්කිසි මූල රෝගයක් ශරීරයෙහි පවත්නා කල්හි ඒ හේතුවෙන් හිසරදය, ක්ලාන්තය, ඇස්දැවිල්ල, කඳුළු ගැලීම, අත්පාවල හිරිය, රුදාව, බඩේ වාතය පිරීම, මලමුත්‍ර‍ සුදුසු පරිදි පහ නො වීම, ආහාර මැනවින් නො දිරීම, ආහාර අප්‍රියවීම ආදි බොහෝ රෝගයෝ වරින් වර ඇති වෙති. එමෙන් පඤ්චස්කන්ධය ඇති කල්හි ඒ හේතුවෙන් විටෙක සාගින්න ඇති වෙයි, විටෙක පිපාසාව ඇති වෙයි, විටෙක වාතය කිපීමෙන් වේදනා ඇති වෙයි, විටෙක පිත කිපීමෙන් විටෙක සෙම කිපීමෙන් නොයෙක් වේදනා ඇති වෙයි. විටෙක ලේ මඳ වීමෙන් විටෙක තවත් ධාතූන් හීනවීමෙන් වේදනා ඇති වේ, විටෙක ඇතැම් ධාතූන් අධික වීමෙන් වේදනා ඇති වේ. විටෙක ගත් ආහාරය අපථ්‍ය වීමෙන් වේදනා ඇති වෙයි. මෙසේ ශරීරය ඇති නිසා බොහෝ ආබාධයෝ වෙති. සිතෙහි ද වරෙක කෝපය ඇති වෙයි. වරෙක ශෝකය ඇති වෙයි. වරෙක බිය ඇති වෙයි. වරෙක සැක ඇති වෙයි. වරෙක දැඩි ආසාවල් ඇතිවෙයි. මෙසේ නොයෙක් දුක් කරදර ඇති කරන බැවින් පඤ්චස්කන්ධය ම රෝගයකි. බොහෝ රෝග ප්‍ර‍තිකාරයෙන් සුව කළ හැකි ය. පඤ්චස්කන්ධය නමැති මේ දරුණු රෝගය කිසිකලෙක සුව නො වන රෝගයෙකි. එබැවින් නපුරු ම රෝගය, නරක ම රෝගය පඤ්චස්කන්ධය යි කිය යුතු ය.

පඤ්චස්කන්ධෙ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධය රෝගයක් සේ දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ උසස් විදර්ශනාඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය නිරෝගී බව වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට බැසගනී ය” යනු එහි තේරුම ය.