33. ජාති ධම්මා

star_outline

තෙතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ උපදනා ස්වභාව ඇතියෝ ය.

ස්කන්ධයන් ඇති කල්හි ඒවා කොතෙක් නිරුද්ධ වී ගිය ද පරම්පරාව නො සිඳී නිවනට පැමිණෙන තුරු අලුත් අලුත් ස්කන්ධයෝ උපදිති. එබැවින් ස්කන්ධයෝ උපදනා ස්වභාවය ඇත්තෝ යයි කියනු ලැබෙත්. මේ ඉපදීම ඉමහත් නපුරෙකි. දුකෙකි. එබැවින් දුඃඛසත්‍යදේශනයේ දී තථාගතයන් වහන්සේ “ජාතිපි දුක්ඛා” යනුවෙන් ජාතිදුඃඛය ඉපදීම් දුක පළමුවෙන් ම වදාළහ.

බාලපණ්ඩිත සූත්‍රාදියෙහි තථාගතයන් වහන්සේ විසින් නොයෙක් උපමාවලින් දේශනය කර ඇති යපොළොවෙහි තබා හුල් ගැසීම, හරස් කියතින් කැපීම, ලොහොදිය පෙවීම, ලොහොගුළි ගිල්වීම ආදි භයානක නිරය දුක ද, කසයෙන් කෝටුවලින් පොලුවලින් තැළීම, හුලින් ඇනීම, බර ඇද්දවීම, හණගැසීම, කප්පාදුකිරීම, අනේකාකාරයෙන් මැරීම යන මේවායින් වන තිරිසන් දුක ද, බත් පැන් නො ලැබීම් ආදියෙන් වන ප්‍රේත දුඃඛය ද යන මේ සියල්ල ඇත්තේ ජාතිය නිසා ය. ඉපදීමක් නැති නම් ඒ දුක් නැත. අපායෙහි ඉපදීම් පමණක් නො ව, සුගතියක් ලෙස උතුම් භවයක් ලෙස සලකන මේ මිනිස්ලොව ඉපදීම් වුව ද ඉමහත් දුකෙකි. මිනිසකු වශයෙන් උපදනා සත්ත්වයා උපදිනුයේ මවගේ ආමාශ-පක්වාශ දෙකට හා පිටි කටුවලට හා උදර පටලයටත් අතර ඇති ලෝකාන්තරික නරකය සෙයින් ඉතා අඳුරු වූ ද වැසිකිළි වළක් සෙයින් දුඟද වූ ද ස්ථානයක මව්පිය දෙදෙනාගේ ශ්‍රෝණිත ශුක්‍ර‍ධාතු නමැති අශුචියෙහි ය. එහි උපන් සත්ත්වයා නවමසක් හෝ දසමසක් හෝ සෙලවීමක් පෙරලීමක් නැති ව, අත්පා දිග හැරීමක් හැකිළවීමක් නැති ව මවගේ උණුසුමෙන් පැසේ. මේ මවුකුස විසීමේ දුකය. මවු කුස වෙසෙන මොළකැටි සිරුර ඇති දරුවාට මව වාඩි වන නැගිටින ගමන් කරන සැපෙන වැඩ කරන අවස්ථාවන්හි නපුරු ළමයකු අතට හසු වූ බලුපැටවකුට බළල්පැටවකුට මෙන් ද, වෙරිකාරයකුට හසු වූ සාවකුට එළුවකුට මෙන් ද ඒ මේ අතට ඇදීමෙන් පොඩිවීමෙන් මහත් දුකක් වේ. මව සිසිල් දිය පානය කළ කල්හි ශීතනරකයෙහි උපන් එකකුට මෙන් ද, මව උණුදිය උණු ආහාර ගත් කල්හි අඟුරුවළකට වැටුණු එකකුට මෙන් ද, මව ලුණු ඇඹුල් මිරිස් ආදි කටුක දෑ ගත් කල තුවාලයකට ලුණුදිය වත්කළ විටෙක මෙන් ද බොහෝ දුක් ඇතිවේ. මේ ගැබ පරිහරණය කිරීමෙන් වන දුක ය. ගැබ මේරූ කල්හි කර්මජ වාතයෙන් තල්ලුකර ඉතා අවහිර යෝනිමුඛයෙන් ළදරු සිරුර බැහැර කරන කල්හි ළදරුවාට වන්නේ ද ඉමහත් දුකෙකි. නියමිත පරිදි ප්‍ර‍සූතිය සිදු නො වී වෛද්‍යයන් විසින් අඬු දමා පිටතට අදිනු ලබන කල්හි දරුවාට වන්නේ ද ඉතා දරුණු දුකෙකි. මවුකුසින් බිහි වූ දරුවාගේ මොළකැටි සිරුර නහවා පවිත්‍ර‍ කරන කල්හි දරුවාට ඇතිවන්නේ වණයක බුරුසුවක් අතුල්ලන විටෙක ඇති වන වේදනාව බඳු ඉවසිය නො හෙන දුකෙකි. මෙසේ දුකින් උපන් දරුවාට කලක් ගත වන තුරු සියල්ලට ම අනුන්ගේ පිහිට බලාපොරොත්තු වෙමින් උන් තැන ම මලමුත්‍ර‍ පහකරගනිමින් උඩුකුරුව නිදන්නට සිදුවීම ද ඉමහත් දුකෙකි. නැගිට යා හැකි වූ කාලයේ පටන් මරණය තෙක් ශරීරය පෝෂණය කරන්න වෙහෙසෙන්නට වීමත් මහත් දුකෙකි. ඒ අතර අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝගාදි තවත් බොහෝ දුක් ද වන්නේ ය. ස්කන්ධයන්ගේ නැවත නැවත උපදනා ස්වභාවය ඉමහත් දුකක් බව තේරුම්ගත් නුවණැත්තෝ විදසුන් වඩා ස්කන්ධ පඤ්චකය බැහැර කොට නිවනට පිවිසෙති.

“පඤ්චක්ඛන්ධෙ ජාතිධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අජාතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් උපදනා ස්වභාව ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ඉපදීම්ක නැති බව යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.