26. අසාරකා

සවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ හර නො වන්නෝ ය.

කොස්, දෙල්, නැදුන්, බුරුත ආදී ගස්වන ලෙහෙසියෙන් පලුදු කළ නො හෙන ඉක්මනින් නො දිරන නො නැසෙන ඇතුළු කොටස අරටුව ය. ලෙහෙසියෙන් පලුදු කළ හැකි ඉක්මනින් දිරා යන පිටපැත්ත ඵලය ය. සත්ත්වයාය කියනු ලබන මේ ස්කන්ධ පඤ්චකය වානේ කඳක්, කළුගලක්, කොස් අරටුවක්, දෙල් අරටුවක් සේ ඕනෑ දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති දෙයක් නො ව, ඵලයක් සේ දුබල එකකි. එය කෙසෙල් කඳක් පෙණපිඬක් වැනි ය යි කීමට ද සුදුසුය. ඵලය අව්වට, වැස්සට, සුළඟට ඔරොත්තු නො දෙන්නාක් මෙන් රූප කය ද ඔරොත්තු නො දේ. දුබල වූ රූප කය මැසි, මදුරු ආදි දුබල සතුන්ට ද පලුදු කළ හැකි ය. බලු, සිවල්, බළල් ආදීන්ට ඉරිය හැකි ය. කොටි, වලස් ආදීන්ට ඉරා රැල් කළ හැකිය. අලියාට කෙලෙස් කඳක් පතුරුගසන්නාක් මෙන් අත් පා ගලවා දැමිය හැකිය. දිරූ බටපොතු පෙට්ටියක් පොඩි කරන්නාක් මෙන් කඳ පාගා පොඩි කර දැමිය හැකි ය. අරූපාස්කන්ධයන් ගේ දුබල බව, නිසරු බව නිසා සත්ත්වයනට යම් කිසි අධිෂ්ඨානයක, ප්‍ර‍තිපත්තියක පිහිටා සිටීමට නුපුළුවන් වේ. සතුන් නො මරන්නට අධිෂ්ඨාන කර ගෙන සිටින්නා වටිනා දෙයක් ලෙහෙසියෙන් ගත හැකි වන විට අධිෂ්ඨානය බිඳ සොරකම් කරයි. පරදාර සේවනය නො කරන්නට අධිෂ්ඨාන කරගෙන සිටින්නා අවස්ථාව පැමිණි කල්හි අධිෂ්ඨානය බිඳ වරද කරයි. බොරු නො කියන්නට අධිෂ්ඨාන කරගෙන සිටින්නා කරුණක් පැමිණි කල්හි අධිෂ්ඨානය බිඳ බොරු කියයි. සුරාපානය නො කරමියි අධිෂ්ඨාන කරගෙන සිටින්නා සුරාව ලද කල්හි අධිෂ්ඨානය බිඳ සුරාපානය කරයි. දුම් බීමෙන් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගත් තැනැත්තා අධිෂ්ඨානය බිඳ දුම් බොන්නට පටන් ගනී. සූදුවෙන් වැළකීමේ අධිෂ්ඨානය ඇති ව සිටි තැනැත්තේ අධිෂ්ඨානය බිඳ සූදුවට යයි. දිනපතා තෙරුවන් වැඳීමේ ප්‍ර‍තිපත්තිය පවත්වන තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩ කරයි. පොහොය සිල් සමාදන්වීමේ ප්‍ර‍තිපත්තිය පවත්වන තැනැත්තා එය කඩ කරයි. විකල් බොජුනෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩයි. මුදල් පරිහරණයෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩයි. නාමස්කන්ධයන් ශක්තිමත් නම් ඒ අධිෂ්ඨාන-ප්‍ර‍තිපත්ති නො බිඳේ.

දුබල වූ නිසරු වූ පඤ්චස්කන්ධය මම ය, මාගේ ආත්මය ය, මාගේ පිහිටය යි සලකාගෙන පඤ්චස්කන්ධයෙහි ඇලී සිටීම ඉතා භයානක කරුණෙකි. අන්තරායෙකි. එ බැවින් නුවණැත්තෝ ඒ දුබල නිසරු පඤ්චස්කන්ධය හැර එහි අනුත්පාද නිරෝධය වූ සාර වූ පරම ශාන්තිය සොයාගෙන දුකින් මිදෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ අසාරතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ සාරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් අසාර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානයක් ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය සාරවූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.”