හැඳින්වීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“චත්තාළීසාය ආකාරේහි අනුලෝමිකං ඛන්තිං පටිලභති, චත්තාළීසාය ආකාරේහි සම්මත්තනියාමං ඔක්කමති” යනුවෙන් සතළිස් ආකාරයකින් ස්කන්ධ පඤ්චකය ගැන භාවනා කරන්නා වූ යෝගාවචර තෙමේ “අනුලෝමිකඛන්ති” නම් වූ විදර්ශනා ඥානය ලබන්නේ ය. සතළිස් ආකාරයකින් භාවනා කරන යෝගාවචර තෙමේ යහපත් ස්වභාවයක් වන හෙයින් ද, එය ලැබූ යෝගාවචරයාට කල් නො යවා එවෙලේ ම එහි ඵලය ලැබෙන බැවින් ද “සම්මත්තනියාම” නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය යි පටිසම්භිදාමග්ග පාළියෙහි දක්වා ඇත්තේ ය.

රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධපඤ්චකයට අයත් ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්නා වූ දන්නා වූ වටහා ගන්නා වූ නුවණ විදර්ශනාඥාන නම් වේ. ධර්මයෙන් ඈත්ව අවිද්‍යාවෙන් අන්ධ ව වස්තුකාම ක්ලේශකාම සංඛ්‍යාත මහ මඩ වගුරෙහි එරී සිටින අන්ධපෘථග්ජනයෝ රූපාදි ස්කන්ධ සමූහය ස්වභාව ධර්ම සැටියට නොව, සත්ත්වයන් පුද්ගලයන් සැටියට, ආත්මයන් සැටියට, සත්ත්වයන්ගේ අවයව සැටියට, නිත්‍ය දේ සැටියට, හොඳ දේ සැටියට, ඇලුම් කළ යුතු පවත්වා ගත යුතු දේ සැටියට වරදවා තේරුම් ගෙන සිටිති. රූපාදීන් සත්ත්වයන් පුද්ගලයන් ආත්මයන් සැටියට නොව, රූපාදි ධර්ම සැටියටත් අනිත්‍ය අශුභාදි සැටියටත් දක්නා වූ යෝගාවචරයන්ගේ ඒ ඇති සැටිය නො වරදවා දැකීම දැනීම තේරුම් ගැනීම අන්ධ පෘථග්ජනයන් ගේ දැනුමට වෙනස් වූ දැනුමක් බැවින් විදර්ශනාඥාන නම් වේ. පටිසම්භිදාමග්ගයෙහි දැක්වෙන සතළිස් ආකාරයෙන් භාවනා කරන්නා වූ යෝගාවචරයන්ට එය ඉතා විස්තර භාවනාවක් වන බැවින් විශේෂයෙන් පිරිසිදු වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අතිශයින් උපකාර වූ උසස් විදර්ශනා ඥානයක් ඇති වේ. විදර්ශනා භාවනා ක්‍ර‍ම අතුරෙන් මේ සතළිස් ආකාර භාවනාව ඉතා විස්තර භාවනාව බැවින් එය මහා විදර්ශනා භාවනා නම් වේ.

මේ මහාවිදර්ශනා භාවනාව කරනු කැමති පින්වතුන් පළමුවෙන් පඤ්චස්කන්ධය පිළිබඳ දැනුම ඇති කර ගත යුතු ය. පඤ්චස්කන්ධය විස්තර කර ඇති පොත් බොහෝ ඇත්තේ ය. අප විසින් සම්පාදිත චතුරාර්‍ය්‍යසත්‍යය නමැති ග්‍ර‍න්ථයෙහි ද පඤ්චස්කන්ධය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ඇත්තේ ය. සංස්කාර යනු ද පඤ්චස්කන්ධයට අයත් රූපාදි ධර්මයන්ට කියන නමෙකි. කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇති වන බැවින් රූපාදින්ට සංස්කාරය යි කියනු ලැබේ. පඤ්චස්කන්ධයට අයත් ධර්‍ම, නාම-රූපය යි දෙකොටසකට බෙදා දී ව්‍යවහාර කරනු ලැබේ. රූපස්කන්ධය රූප නම් වේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර නාම නම් වේ. මේ විදර්ශනා විස්තරයේ පඤ්චස්කන්ධය යන වචනය ද නාමරූප යන වචනය ද සංස්කාර යන වචනය ද ඒ ඒ තැන්වල යෙදෙනු ඇත. ඒ වචනවලින් කවරක් යෙදුණ ද අර්ථ වශයෙන් ඒවායේ වෙනසක් නැති බව සැලකිය යුතු ය. මේ භාවනාව කිරීම පහසු වනු පිණිස එහි මූලපද සතළිස පාඩම් කර ගත යුතු ය. ඉක්බිති මේ පොත කියවා භාවනා පද එකින් එක විස්තර වශයෙන් තේරුම් ගෙන පිළිවෙළින් සිහි කරනු.