ප්‍ර‍ස්තාවනා

“චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව” වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමාග්ග නමැති ග්‍ර‍න්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍ර‍මයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍ර‍මය ය.

සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය, සකෘදාගාමි භික්ෂුවය, අනාගාමි භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින් ම පඤ්චස්කන්ධය අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු බව ඛන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථික වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය. තවද ඒ වර්ගයෙහි ම එන සුතවන්ත සූත්‍රයෙහි-

“ඨානං ඛෝ පනේතං අවුසෝ විජ්ජති යං සුතවා භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපත්තිඵලං සච්ඡිකරෙය්‍යාති. -පෙ- සකදාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අරහත්තඵලං සච්ඡිකරෙය්‍යාති.”

යනුවෙන් පඤ්චුපාදානස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන උගත් භික්ෂුවට සෝවාන් ඵලය ද සකෘදාගාමි ඵලය ද, අනාගාමි ඵලය ද, අර්හත් ඵලය ද සාක්ෂාත් කළ හැකි වීමට කරුණක් ඇත්තේය” යි දක්වා ඇත්තේ ය.

සීලන්තසූත්‍ර‍-සුතවන්තසූත්‍ර‍ දෙක්හි දැක්වෙන කරුණු අනුව දැනට ජීවිතයේ පශ්චිමකාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාළීසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටා ගතිමු. එය ඵලදායක වන්නේ ද, විදර්ශනා කළ යුතු ආකාර සතළිස ගැන පිරිසිදු දැනුමක් ඇතිව භාවනා කළහොත් ය. කියැවීමෙන්-කීමෙන්-ඇසීමෙන්-සිතීමෙන් යම්කිසි කරුණක් ගැන ඇතිවන දැනුමට වඩා උසස් දැනුමක්, පිරිසිදු දැනුමක්, පුළුල් දැනුමක් ඒ දෙය විස්තර කර ලිවීමෙන් ඇති කර ගත හැකි ය. එබැවින් සතළිස් ආකාර විපස්සනාව ගැන අපගේ දැනුම දියුණු කර ගැනීමේ අදහස, මේ ග්‍ර‍න්ථය සැපයීමේ ප්‍ර‍ධාන හේතුව ය. කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාළීසාකාර විපස්සනාව කිසිම පොතක විස්තර කර නැත. මේ භාවනාව විස්තර කර විශේෂ ග්‍ර‍න්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකි. ඒ පාඩුව පිරිමසාලීම ද මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේ එක් හේතුවකි.

අනේකාකාර විදර්ශනා භාවනා ක්‍ර‍ම ඇත්තේ ය. ඒ සෑම භාවනා ක්‍ර‍මයකින් ම බලාපොරොත්තු විය යුත්තේ, ස්කන්ධයන්ගේ අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ලකුණු තුන අවබෝධ කිරීම ය. අනිත්‍යාදි ලක්ෂණ තුන සතළිස් ආකාරයකින් ම විස්තර කරන මේ ග්‍ර‍න්ථය භාවිත කිරීම කවර ආකාරයකින් වුව ද විදර්ශනා වඩන යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ අවබෝධ කර ගැනීමට මහෝපකාරයක් වනු ඇත. භාවනාමධ්‍යස්ථාවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටින කුලපුත්‍ර‍යන්හට ද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය වසා සිටින අවිද්‍යාව නමැති වලාකුළ තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි.

රූපාවචර - අරූපාවචර ධ්‍යානසමාධි හා සෘද්ධිබල බුදු-පසේබුදුවරයන් විසින් හා බුද්ධශ්‍රාවකයන් විසින් කර ඇති ගෙන සිටින නමුත් ඒවා බුදුසසුනේ සාරය නො වේ. ඒවා බුදුසසුනෙන් පිටත ද ඇත්තේ ය. විදර්ශනාව හා මාර්ගඵල ධර්ම බුදුසසුනෙහි මිස, ඉන් පිටත තීර්ථක ශාසනවල නැත. බුදුසසුනේ සාරය නම්, අන් සසුන්වල නැති මෙහි ම ඇති විදර්ශනා මාර්ගඵලයෝ ය. ලෝකෝත්තර මාර්ගඵල ලබා දෙන්නේ විදර්ශනාවෙනි. ධ්‍යානසමාධීහු මඟඵල ලබා දීමට සමත් නො වෙති. බොහෝ වෙහෙසී රූපාවචර ධ්‍යානයක් ලබාගත් තැනැත්තාට මරණය තෙක් ඒ ධ්‍යානයෙන් නො පිරිහී සිටිය හැකි වුවහොත් බ්‍ර‍හ්මලෝකයෙහි උත්පත්තිය ලැබිය හැකිය. ධ්‍යානය ආරක්ෂා කිරීම ඉතා අපහසුය. අප මහ බෝසතාණන් වහන්සේ පවා ධ්‍යාන ලබා සිට නොයෙක් ජාතිවලදී ඒවායින් පිරිහුණ බව ජාතක කථාවලින් පෙනේ. සෙස්සන්ට එය පරෙස්සම් කර ගැනීමේ අපහසුව ගැන කියනුම කිම? කාමාවචර කුශලය සේ රූපාවචර අරූපාවචර ධ්‍යාන කුශලයෝ නොයෙක්වර නොයෙක් තැන නානා ආකාරයෙන් විපාක දෙන්නාහු නො වෙති. සියවසක් ආරක්ෂා කර ගෙන සිටි ධ්‍යානකුශලය වුව ද මරණාසන්නයේ දී පිරිහී ගියහොත් එය අහෝසි වේ. මතු කිසිම ඵලයක් එයින් නො ලැබේ. විදර්ශනා භාවනා ක්‍ර‍මයක් උගෙන එය භාවිත කරන පින්වතාට වර්තමාන භවයේ දී විශේෂත්වයකට නො පැමිණිය හොත්, ඒ පිනෙන් ඔහුට දෙව්ලොව ඉපදිය හැකි ය. බුදුරජාණන් වහන්සේගෙන් එදා බණ අසා මඟඵල ලැබූ බොහෝ දෙවියෝ අදත් දෙව්ලොව ඇත්තාහ. ඔවුන් ආශ්‍රයෙන් ඔවුන්ගෙන් දහම් ඇසීමෙන් මිනිස්ලොවදී විදර්ශනා පුරුදු කළ පින්වතාට දෙව්ලොවදී මඟ ඵල ලැබීමට ඉඩ ඇත. එසේ ද නො හැකි වුව හොත් බුදු කෙනකුන් හමු වූ විටෙකදී ඔහුට ලෙහෙසියෙන් මඟපල ලබා නිවන් දැකිය හැකි ය.

බුද්ධෝත්පාදය දුර්ලභ ය. බුදුසසුනෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජනය ලැබීමට නම් බුදුසස්නෙහි පමණක් ඇති විදර්ශනා භාවනාව කළ යුතුම ය. “ආනාපන මෛත්‍රී අශුභාදි ශමථ භාවනා නො කළ යුතුය යි අපි නො කියමු. ඒවා ම භාවනා කිරීමෙන් බුදුසස්නෙන් ලැබිය යුතු උසස් දෙය නො ලැබෙන බැවින් විදර්ශනා වැඩීම සෑම දෙනා විසින් ම කළ යුතු ය.

“ශමථ භාවනාවෙන් සමාධියක් උපදවා නො ගෙන විදර්ශනා වැඩීමෙන් පලක් නැතය” යන මතයක් ද සමහරුන්ට ඇත්තේ ය. එය වැරදි හැඟීමකි. ඒ ගැන දත යුතු කරුණු මේ පොතේ අග කොටසෙහි ඇත. ඒවා හොඳින් කියවා සැක ඇත්තෝ සැක දුරු කර ගනිත්වා! ශමථ භාවනාවලින් සමාධි උපදවා - ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනාවක් වඩන්නට නො ලැබීම ජීවිතය කෙළවර වනු ඇත. එයින් ඔබට බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නො ලැබී යන්නේ ය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්-මාර්ගයක්-ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනාඥානයක් ලැබෙන පරිදි වුව ද භාවනාව පැවැත්විය හැකි වන්නේ ඉතාම ටික දෙනකුන්ට ය. එයට හේතුව නීවරණයන් විසින් ඔවුන් පරදවනු ලැබීම ය. භාවනාව දියුණු කළ හැකි වීමට නම්, යෝගාවචරයා විසින් නීවරණ පැරදවිය යුතු ය. යෝගාවචරයකුට භාවනා කරමිය කියා කරන්නට ඇත්තේ නීවරණ සටන ය. බුදුසස්නෙහි පැවිදිව ආර්ය ශීලස්කන්ධයෙහි පිහිටා, ආර්ය වූ ඉන්ද්‍රියසංවරයෙහි පිහිටා ආර්ය වූ සිහිනුවණින් යුක්තව විවේකස්ථානයකට එළඹ වාඩිවී කමටහණෙහි සිත පිහිටවා ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් ගෙන් සිත පිරිසිදු කොට යෝගාවචරයන් ධ්‍යානාදි ධර්ම ලබන බව බොහෝ සූත්‍ර‍යන්හි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර‍ දේශනාවල දැක්වෙන අන්දමට යෝගාවචරයකුට භාවනා කිරීම් වශයෙන් කරන්නට ඇති ප්‍ර‍ධාන දෙය නීවරණයන් ගෙන් සිත පිරිසිදු කිරීම ය. “මෙකල භාවනා කරමි” යි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප්‍ර‍හාණය නමැති බර වැඩක් තමාට කරන්නට ඇති බව පවා නො දනිති. ඔවුහු අනේකාකාරයෙන් තමන් කෙරෙහි නැඟී එන නීවරණයන් ද නො හඳුනති. එබැවින් ඔවුහු නීවරණයන් විසින් පරදවනු ලදුව භාවනා කරමි යි කියමින් සැමකල්හි එක තත්ත්වයෙන් ම සිටිති. නීවරණයන් ප්‍ර‍හාණය කිරීමට වීර්ය්‍ය නො කරන ඔවුනට කිසිකලෙක භාවනාවෙන් උසස් ඵලයක් නො ලැබිය හැකිය. නීවරණයන් නො හඳුනන්නවුන්ට ද නීවරණ ප්‍ර‍හාණය නො කළ හැකිය. එබැවින් සසර දුකින් මිදෙනු රිසියෙන් භාවනා කරන පින්වතුන්ට නීවරණයන්න ගැන දැනුමක් ඇතිකර දීම පිණිස නීවරණ විස්තරයක් ද ලියා මේ ග්‍ර‍න්ථයට එකතු කරන ලදි. මේ නීවරණ විස්තරය හොඳින් කියවා ඒවා ගැන දැනුමක් ඇතිකර ගෙන භාවනාව කරගෙන යන යෝගාවචරයන්ට නීවරණ ප්‍ර‍හාණය පහසුවනු ඇත.

මීට-ශාසනස්ථිතිකාමි,

රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

2511 (1967) දෙසැම්බර් 6 වෙනි දින,

පොකුණුවිට, ශ්‍රී විනයාලඞ්කාරාරාමයේ දී ය.