මිණියක් දැකීම

තව කලෙක් ගෙවිණ. එක් තැන ම කල් ගෙවන කෙනෙකුට කාය ව්‍යායාමය පිණිස හෝ ඈතකට ඇවිදින්නට යන සිත ඇති වේ. බෝසතාණන් වහන්සේට ද ඈත උයනට යන්නට සිත උපන. අසෝ දවසැ උයන් කෙළි යමැ’යි පිය රජුට දැන් වූහ. පිය රජ පෙර වතාවලැ සේම මඟ දෙපස සරසවා කලටත් වඩා හොඳට රකවල් ලැවීය. බෝසතාණෝ ද මඟුල් අස්රිය නැඟ මහ පිරිවරින් පිටත් වූහ. ඔබට යන්නට ලැබුණේ මඳ දුරෙකි. මහපාර පසෙක[1] කට ඇරැගෙන හෝනා ඉදිමී නිල් වැ ගිය නව දොරින් නික්මෙන පණු කැලන් ගෙන් වැසුණු මළ සිරුරෙකි. බෝසතාණෝ පෙරැ කිසි ද කලෙක එවැන්නක් නො දුටුවෝ, “අර කිමෙක් දැ” යි ඡන්නයා ගෙන් ඇසූහ. ඡන්නයා “එය මළ සිරුරෙකැ”යි කී ය. “අප සිරුරටත් එසේ වේ දැ?” යි ඇසූ විට, “අප හැම දෙනා ගේ ම සිරුරට මෙය වෙතැ”යි විස්තර කෙළේ ය. බෝසතාණෝ එය අනුව සිතනුවෝ සිරුර කෙරෙහි කළකිරුණහ. එයින් ජීවිත මදය දුරු විය. උයන් ගමන එපා විය. පළමු දෙ වර සෙයින් ම පෙරළා සිය පහය කරා ගියහ.

ශුද්ධෝදන රජ ගමනේ තොරතුරු අසා අසිතර්ෂි ආදින් කී දෑ එලෙසට ම සිදු වී ගෙන යන සැටි සිතමින් සිත සනසා ගත නො හැකි වැ බියටත් නොසන්සුන් බවටත් පත් විය. “පැවිදි රුව දැක්මෙන් ගිහිගෙය හැර යතැ” යි කී බස සිහි කොට එය දැකීම වැළැක්කුවොත් පුතු ගිහිගෙහි ම රැඳෙතැ යි යන්තම් සිත හදා ගෙන එය සඳහා උපා යෙදී ය. කිසි ම පැවිද්දකුට කපිලවාස්තු නගරයට වත් උප නගරයට වත් පිවිසෙනු නො හැකි වන්නට දැඩි රකවල් තැබ්වී ය.

  1. සමහර පොතක කරින් ඔසොවාගෙනයන මිණියක් දුටුහ යි සඳහන් ය.