සුනීධ වස්සකාර දෙදෙන බුදුරජාණන්වහන්සේ කරා එළැඹ තමන් ගේ දානය භික්ෂු සංඝයා සහිත ව පිළිගන්නා ලෙස අයැදූහ. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන ඔවුන් කල් දැන්වූ විට ඔවුන් ගේ ආවාසය කරා වැඩි සේක. ඒ අමාත්‍යවරු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩා හිඳුවා දන් දුන්හ. වළඳා අවසන්හි ඒ ඇමැතියන් පසෙක උන් කල්හි “යස්මිං පදෙසෙ කප්පෙති” ආදී ගාථාවලින් අනුමෝදන බණ වදාරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ නගර භූමියෙහි යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ දොරට ගෞතමද්වාර යැයි නම් කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස හා ගංගා නදිය අද්දරට වැඩි සේක. එහි උන් වහන්සේ පැමිණි තොටට ගෞතමතීර්ථ යැ යි ද නම් කළහ.
එ සමයෙහි ඒ ගඟ පිරී ගලයි. මිනිස්සු එතෙරැ වනු පිණිස නැව් ඔරු ආදිය සොයමින් ද පසුරු බඳිමින් ද සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස සහිත ව සෘද්‍ධි බලයෙන් ක්ෂණයෙකින් එතෙරැ වූ සේක. ඉක්බිති,
“ගැඹුරු සසර සයුරින් ද තෘෂ්ණා නදියෙන් ද එ තෙරැ වන උතුමෝ ආර්‍ය්‍ය මාර්ග නැමැති හෙය කොට මඩ වගුරු ස්පර්ශ නො කොට එ තෙරැ වෙත්. ස්වල්ප දිය කඩෙකින් එතෙර වියැටි මේ ජන තෙම පසුරු බඳී. එහෙත් ආර්‍ය්‍ය මාර්ග නුවණින් යුත් තථාගත තෙමේ ද තත්ශ්‍රාවකයෝ ද පසුරක් නො මැති ව එ තෙර වන්හැ”යි මෙසේ උදන් ඇනූ සේක.