නාලන්දාවෙන් පාටලීගමට - පාටලීපුත්‍ර නුවරේ ආරම්භය

ඉක්බිති නාලන්දයෙන් පිටත් ව භික්ෂු පිරිස හා පාටලී ගමට වැඩි සේක. පාටලී ගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි බව අසා ඔබ වෙත පැමිණියහ. පැමිණ තමන් ගේ ආවාස ගෘහය පිළිගන්නා ලෙස ආයාචන කළහ. භාග්‍යවතුන් වහන්සේ ද තුෂ්ණිම් භාවයෙන් ඒ ඉල්ලීම පිළිගත් සේක. ඉක්බිති උපාසකවරු ආවාස ගෘහය වෙත ගොස් එය අසුන් පැණවීම් ආදියෙන් පිළියෙල කොට අවුත් එහි වඩින ලෙස භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා හා එහි වැඩි සේක. එහි දී පාටලි ග්‍රාමීය උපාසකයනට සිල් රැකීමේ අනුසසුත් දුශ්ශීල බවේ දොසුත්[1]* වදාළ සේක.

මේ කාලයෙහි අජාතශත්‍රැ රජුන්ගේ ප්‍රධාන අමාත්‍ය වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවීන් මැඩලීම පිණිස පාටලී ගමෙහි නුවරක් කරවන්නෝ වූහ. බුදුරජාණන් වහන්සේ දිවැසින් බලා එහි ඒ ඒ තන්හි මහායශස්ක අල්පයශස්ක දෙවියන් අධිගෘහිත වන සැටිත් එය පාටලීපුත්‍ර නම් මහා නගරයක් වන සැටිත් මතු ඒ නගරයෙන් කොටසක් ගින්නෙන් ද, තවත් කොටසක් ගංගා නදිය ගැලීමෙන් ද, තවත් කොටසක් නුවර වැසියන්ගේ අන්‍යෝන්‍ය භේදයෙන් ද විනාශ වන සැටිත් අනඳ තෙරුනට වදාළ සේක.

අනු මාතෘකා
  1. * ප්‍රාණඝාත අදත්තාදානාදි දුශ්ශීල කමෙහි යෙදීමෙන් ධාර්මික රැකී රක්ෂාවක් කැර ගන්නට ඉඩ නො ලැබීම, බන්ධනාගාරයෙහි දුක් විඳින්නට සිදුවීම යන ආදී වශයෙන් මහත් වූ සම්පතින් හානියට පැමිණී ම ද, මෙ තෙම දුශ්ශීලයෙකැ යි රටේ මහත් අපකීර්තියක් පැතිර යෑම, සභාවට තේජස් රහිත ව පැමිණීම, සිහිමුළා ව කළුරිය කිරීම, මරණින් මතු දුගතියෙහි ඉපැදීම යන මොහු දුශ්ශීල බවේ දෝෂයෝයි. සිල් රක්නාහු නො පමා බැවින් ධන රැස් කරැ ගෙන දියුණුවීම. මේ සිල්වතෙකැයි කීර්තිය පැතිරීම. සභාවට අභීත ව තේජස් සහිත ව එළැඹීම. සිහිමුලා නොවී කළුරිය කිරීම. මරණින් මතු සුගතියේ ඉපැදීම යන මොහු සිල්වත් බවේ අනුසස් ය.