විඩුඩභයා ශාක්‍යයන් ගෙන් පලි ගැනීම

විඩූඩහ තෙම මහ සෙනගක් සහිත ව කිඹුල්වතට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ නෑයෝ තමන් මිය යතත් අනුන් නො මරති. එහෙත් තමන් ධනු ශිල්පයෙහි දක්ෂ බැවින් “සතුරන් ගේ ඇඟැ නො වදින සේ ඔවුන් අත් අස්සෙන් හෝ කන් අද්දරින් යන ලෙසට හී විද ඔවුන් බිය ගන්වා පලවා හරිමු” යි කතිකා කොට ගෙන යුද්‍ධයට සැරැසුණු නියාවක් දක්වා සිටියහ.

විඩූඩභ රජ සටන් ඇරැඹීය. ශාක්‍යයන් විදි හී දඬු විඩූඩභයාගේ පිරිසේ භටයන්ගේ අත් අස්සෙන් කන් අගින් හෝ යෙයි. විඩූඩභ තෙම ශාක්‍යයන් හී විදිනු දැක, “හැයි, ශාක්‍යයෝ “ප්‍රාණවධ නො කරම්හ” යි කියම්, තෙල කුමක් කෙරෙත් ද? බලවු, ශාක්‍යයෝ විද මගේ පිරිස වනසා ලති” යි කීය. එහි සිටි පවිටු එකෙක්, “ඔබ සෙනඟෙහි එකෙකුත් නො මළේ ය. පිරිස ගණන් කරවා බලන්නැ” යි කීය. රජ බල සෙනඟ ගණන් කැරැවීය. එකෙකුත් අඩු නැත. යුද්‍ධය හැර පෙරලා යන්නට සිතා සිටි රජ එය දැක, නැවත සටන අරඹනුයේ, “අප මුත්තනුවන් මහානාම ශාක්‍ය රජුනුත් ඔවුන් ළඟ සිටියනුත් හැර “ශාක්‍යයම්හ” යි. කියන සෙසු සියලු දෙනාම මරා දමවු” යැ යි විධාන කෙළේ ය. ශාක්‍යයෝ ද දිවි රැක ගන්නා උපදෙසක් නො ලද්දෝ බොරු නො කියන්නාහු සමහරු තණ ගස් ඩැහැගෙන ද සමහරු හුන දඬු අල්ලා ගෙන ද සිටියාහ. විඩූඩභයාගේ භටයෝ ගොස් “මොහු ශාක්‍යයෝ ද නො වහු දැ?” යි අසති. තුමු බොරු නො කියන්නාහු, තමන් ඩැහැ ගත් තෘණ දක්වා මේ තෘණ යැ ශාක්‍යයෝ නො වෙති යි කියති. හුණ දඬු අල්ලා සිටියේ මේ හුන ය, ශාක්‍යයෝ නො වෙති යි කියති. විඩූඩභයාගේ භටයෝ ඔවුන් ද මහානාම රජු හා ඔහු වෙත සිටියවුන් ද හැර කිඹුල්වතැ සිටි ඉතිරි සියලු ශාක්‍යයන් මරා දැමූහ. තෘණ පෙන්වා රවටා දිවි රැක ගත්තේ තෘණ ශාක්‍ය නමින් ද හුණු දඬු පෙන්වා රවටා දිවි රැක ගත්තෝ එ තන් සිට නළ ශාක්‍ය නමින් ද හැඳින්වුණහ.

විඩූඩභ තෙම මෙසේ ශාක්‍යයන් බොහෝ දෙනකුන් මරා කිඹුල්වත පාලු කොට පෙරලා සැවැත් පුර බලා නික්මුණේ ය. ඔවුන් අචිරවතී නදියට ළං වූයේ අඳුරේය. කලුවර බැවින් තවත් ඉදිරියට යෑ නො හැක්කාහු නදිය අද්දර කඳවුරු බැඳ ගත්හ. නියං සමය බැවින් සමහර කෙනෙක් වැලි තලාව මත්තෙහි වැද හොත්හ. සමහරු ගොඩ වැද හොත්හ. වැලි තලාවේ හොත් සමහරු වැල්ලෙහි කඩි මතු වී ඇඟ වැද ගත් බැවින් එතැනින් නැගී ගොඩට ගොස් වැද හොත්හ. ගොඩ ද කිසි තැනෙක කඩි මතු වූයෙන් උහු නැගිට වැල්ලට ගොස් නිදා ගත්හ. මේ එදා ඔවුන්ගේ මතු වූ පෙරකර්මය ක් නිසා වූ දැයෙක. මෙසේ පෙර කළ පවක් මතු වූවෝ වැල්ලට ගියහ. සෙස්සෝ ගොඩ රැඳුණහ.

ඔවුන් හැමට නින්ද ගිය නොබෝ වේලායෙහි නදීශීර්ෂයට මහ වැස්සෙක් වට. නදිය ගලන්නට විය. විඩූඩභයා සහිත භට සේනාවේ බොහෝ දෙනෙක් ගං වතුරෙන් ඇද ගෙන යන ලද්දාහු දියේ ගිලී මළාහ.[1]*

මෙසේ කාසි කෝශල දෙරට ද අරාජක විය. වූ පවත් අසා අජාසත් රජ සැවැතට අවුත් සියලු කාශි කෝශල දෙරටෙහි ද පාලනය තමා යටතට ගත්තේ ය.

  1. * විඩූඩභ යුද්ධයේ පුවත සර්වාස්තිවාදින්ගේ පොත්හි එනුයේ මෙයට වෙනස්ව ය. උපග්‍රන්ථය බලන්න