පසේනදී කොසොල් රජ කේලම් බස් හදහා තමාට හිතවත් ව සිටි බන්ධුල සේනාධිපතියාත් ඔහු ගේ පුතුන් දෙතිසත් රහසින් මරවාපී ය. තමා අනුන් ගේ බොරු කථා හදහා තමාට පක්ෂපාත ව සිටි තිස් තුන් දෙනකුන් මරවා ලීමෙන් කෙළේ මහත් වරදෙකැ යි පසු ව දැනගත්තේ මහත් පසුතැවිල්ලට පත් විය. පිළියම් වශයෙන් කළ යුතු අන් කිසිත් නො දුටුයේ බන්දුල සෙනෙවියාගේ බෑනණු දීඝ කාරායණයා මහ සෙනෙවි ධුර යේ තැබී ය. එහෙත් දීඝ කාරායණ තෙම තම මයිලණුවනුත් ඔහු දරුවනුත් මැරීමේ පලිය ගැන්මට අවස්ථාවක් බලා සිටියේ ය. රජ ද තමා කළ බලවත් අපරාධය නොයෙක් විට සිහි කෙරෙමින් මහත් නො සැනසිල්ලෙන් කල් ගෙවී ය.
දවසෙක හේ කිසි රාජ කාර්‍ය්‍යක් සඳහා කොශල රටේ සීමාවේ වූ ගමකට මහ සෙන් පිරිවරා ගියේ ය. ඒ අතර එයට නො දුරෙහි වූ මේදුලුම්ප නම් ශාක්‍ය ගමෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන නියාව අසා තමා මේ පංච කකුධ භාණ්ඩයන් දීඝ කාරායණයා අතට දී තෙමේ මද දුරෙක වූ මේදුලුම්ප ගමට ගියේ ය. දීඝ කාරායණ තෙම සතුරා පිටු දක්නට අවස්ථාව පැමිණියේ යි සිතා අශ්වයකුත් සේවිකාවකුත් කඳවුරෙහි රඳවා තමන් සැවැත් නුවරට ගිය බව රජුට දන්වන් නැ” යි කියා සේනාව ගෙන සැවැත් නුවරට ගොස් විඩූඩභ කුමරුට වොටුනු පළඳවා රජ කමට පත් කැරැවී ය.
රජ භාග්‍යවතුන් වහන්සේ හමු ව කතා බස් කොට සිය කඳවුරට ආයේ ය. සේවිකාව දීඝ කාරායණයා සේනාව හා ආපසු ගිය බව කීවා ය. රජ ඔහු සිය පුතු හා කුමන්ත්‍රණ කොට කළ දෑ තේරුම් ගෙන සිය බෑනණුවන් එක්ක ගොස් ඔවුනට දඬුවම් කරමි යි සිතා ඒ සැන්දෑවේ ම සේවිකාව හා අසු නැඟ රජගහ පුරය බලා පිටත් විය.
රජගහ පුරයට ඔවුන් යන විට රාත්‍රිය විය. නුවර දොරොටු වසා තුබුණේ ය. අන් යෑ යුතු තැනක් නො දුටුයේ නුවරින් පිටතැ වැ ශාලාවෙක රෑ ලැගුම් ගත්තේ ය. සිත රිදුම ද නිරාහාර බව ද ගමන් වෙහෙස ද බලවත් ශීතය ද නිසා මහත් පීඩාවට පත් අසූ වයස් වූ රජ එළිය වැටෙන්නට පෙර ම කලුරිය කෙළේ ය.
කොසොල් රජු මළ පවත කියා හඬන සේවිකාව ගේ කථාව ඇසූ මිනිස්සු අජාසත් රජුට එපවත් සැළ කළහ. රජ එහි අවුත් සේවිකාව ගෙන් සියලු පවත් අසා දැන සුදුසු ගෞරව සහිත කොට රාජ දේහය ආදාහන කැරැවී ය.
විඩූඩභ තෙමේ රජ වූ නොබෝ දිනකින් ම තමාව පහත් කොට සැලකූහ යි ශාක්‍යයන් හා බැඳ ගත් වෛරය නිසා, දැන් එහි පලිය ගන්නට කාලයැ යි සිතා මහ යුද සෙනඟක් ගෙන ශාක්‍ය රට අතට යන්නට නික්මුණේ ය. සැවැත් නුවර වසන භාග්‍යවතුන් වහන්සේ එදා අලුයමැ මහ කුළුණු සමවතින් නැඟී දිවැසින් ලොව බලන සේක්, ශාක්‍යයනට වන්නට යන විපත දැක ඉදුහයෙන් කිඹුල්වත් පුරට මෙ පිට තැනක ට වැඩ, තුනී සෙවන ඇති රුකක් මුල හුන් සේක.
කිඹුල්වත බලා යන විඩූඩභ රජ භාග්‍යවතුන් වහන්සේ දැක, වෙතට ගොස් වැඳ “වහන්ස, මේ සෙවණ හරියට නැති ගසක් මුල තුඩ හිඳුනේ හැයි ද! තෙල ඝන වූ සෙවණ ඇති මහ රුක මුලට වැඩ හිඳුනේ මනා නොවේ දැ! යි කී ය. “මහරජ, එසේ වුවද නෑ සෙවණ සිසිල් වේ” යි වදාළ සේක. විඩූඩභ තෙම “භාග්‍යවතුන් වහන්සේ නෑයන් කෙරෙහි අනුකම්පායෙන් වැඩි සේක් වනැ” යි සලකා පෙරලා සැවැත් නුවරට ම ගියේ ය. තවත් දවසෙක විඩූඩභ තෙම ශාක්‍යයන් තමාට කළ අවමානය සිහි කොට “උන්ගෙන් පලි ගනිමැ”යි මහා සේනාවක් ගෙන කිඹුල්වත බලා නික්මියේ ය. භාග්‍යවතුන් වහන්සේ කල් තබා ම එය දැක පළමු සෙයින් ම වැඩ යටකී ගස මුලැ හුන් සේක. එදාත් විඩූඩභ තෙම භාග්‍යවතුන් වහන්සේ දැක පෙරලා සැවැත් නුවරට ම ආයේ ය. තුන්වන වරකත් “ශාක්‍යයන් මරමි” යි බලසෙන් හා නික්මුණු විඩූඩභ තෙම භාග්‍යවතුන් වහන්සේ පළමු සේම වැඩ හිඳුනු දැක පෙරලා සැවැතට ම ආ යේ ය.
ටික දිනකට පසු සතර වන වර ද විඩූඩභ රජ කිඹුල්වත බලා පිටත් වූ නියාව දුටු භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන් කළ අතීත අකුශලයක් පල දෙන්නට ළං වූයේ වනැ යි සිතා ඔවුන් කළ අකුසල් කවරේ දැ? යි අතීතාංශඥානය යොමා බැලූ සේක. බොහෝ දෙනකුන් ශාක්‍යයන් අතීත අත් බැවෙක එකතු ව නදියකට වස දමා මසුන් මැරූ අකුසලය ඉදිරි පත් ව ඇති බවත් එහි විපාකය නො මැඩලියැ හැකි සේ බලවත් ව මුහුකුරා එළඹැ සිටින බවත් දුටු සේක. ඒ ශාක්‍යයනට වන විපත නො වැළැක්විය හැකි නියා දැක මේ සතර වන වර එහි නො වැඩි සේක.