භික්ෂූනට අපරිහානිය ධර්ම දෙසීම

ටික කළක් උළුම්ප ගම වැස ඉන් නික්ම සැරිසරා වඩනා භාග්‍යවතුන් වහන්සේ රජගහ පුර වැඩ එහි ගිජුකළු පව්වෙහි වූසූ සේක. ඒ කාලයෙහි අජාතශත්‍රැ රජ ලිච්ඡවි රජුන් නසනු කැමැත්තේ ස්වීය රාජ්‍යයත් ලිච්ඡවි රාජ්‍යයත් අතර සීමාව වූ ගංගා නදිය අද්දරැ පිහිටි පාටලී ග්‍රාමය සියලු නගරාංගයෙන් සම්පූර්ණ බලකොටු සහිත මහා නගරයක් කිරීමෙහි ස්ව අග්‍රාමාත්‍ය වූ සුනිධ වස්සකාර දෙ දෙනා යෙදී ය. ඔවුන්ගෙන් වස්සකාර බමුණා දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පිළිසඳර කථා කොට පසෙක හිඳ ගත්තේ ය.

මෙ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ, පවන් සලමින් පිටු පස සිටි අනඳ තෙරුන් “අමතා ලිච්ඡවිනට තමන් වහන්සේ වදාළ සප්ත අපරිහාණිය ධර්ම සත ඔහු රකිත් දැ යි අසා, ඔවුන් ඒ රකිනා බව තෙරුන් කී විට, සත ම තබා ඉන් එකක් රැක්කත් පිරිහීමක් නො වන බව වදාළ සේක. වස්සකාර බ්‍රහ්මණයාට ද ආමන්ත්‍රණය කොට තමන් වහන්සේ පෙර විසල් පුරයේ සාරන්දද චෛත්‍යයෙහි වසන සමයෙහි ලිච්ඡවි රජුනට සප්ත අපරිහාණිය[1] ධර්ම වදාළ බවත් ඒ සප්ත ධර්මයන්හි පිහිටා සිටින තාක් ඔවුනට කිසි පිරිහීමක් නො වන බවත් වදාළ සේක.

වස්සකාර බමුණා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට රජගහ පුර සමීපයේ ඉන්නා සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරන්නට නියෝග කළ සේක. තෙරණුවෝ එය කළහ. භාග්‍යවතුන් වහන්සේ ද උපස්ථාන ශාලාවට වැඩ පැනැවුණු අස්නේ හිඳ භික්ෂූන් අමතා අපරිහාණිය ධර්ම සප්තක පසක් හා ෂට්කයක් වදාළ සේක. ඒ මෙහි දැක්වේ.

ප්‍රථම අපරිහාණිය ධර්ම සප්තකය.

1. භික්ෂූන් නිතරම පාහේ බොහෝ සෙයින් එක් රැස්වීම,

2. සමග ව රැස්වීම හා නැඟී සිටීම, සමග ව සංඝ කර්ම කිරීම,

3. තථාගතයන් වහන්සේ නො පැණැවුවක් නො පැණැවීම, පණවන ලද ශික්ෂා ධර්ම නො පිරිහෙළා මනා කොට රැකීම,

4. පැවිදි උපසපන් ව බොහෝ කල් වූ වැඩි සිටි මහ තෙරුනට ගරු බුහුමන් කිරීම, උන් වහන්සේගේ වචනයට ඇහුම් කන් දිය යුතු යැ යි සිතීම,

5. තෘෂ්ණාවට වාල් නො වීම,

6. අරණ්‍ය සේනාසනයන්හි භාවනායෙහි යෙදී විසීම,

7. එළැඹ සිටි සිහි ඇති ව විසීම, නොපැමිණි ප්‍රියශීල සබ්‍රම්සරුන්ගේ පහසුව පැතීම.

දෙවැනි අපරිහාණිය සප්තකය.

1. සිවුරු දෙවීම් මැසීම් ආදී කර්මයන්හි ම මුළු කාලය නො යොදා ඒ ඒ කටයුතු පැමිණි වේලායෙහි ම එය කිරීම,

2. ආලාප සංලාප කථායෙහි ඇලී නො ඉඳීම,

3. නිද්‍රායෙන් කල් නොගෙවීම,

4. ගණ සඞ්ගණිකායෙහි නො ඇලීම,

5. පහත් අදහස්වලින් වෙන් වීම, එසේ වූ අදහස් ඇත්තගෙන් වෙන් වීම,

6. පාප මිත්‍රයන් නො සෙවීම, ඔවුනට නො නැමීම,

7. ප්‍රථම ධ්‍යානාදියක් ලද තරමින් නො නැවතී මතු ගුණයන් ද ලැබීමට තැත් කිරීම.

තෙ වෙනි අපරිහාණිය ධර්ම සප්තකය.

1. ශ්‍රද්ධාවත් වීම.

2. පවට ලජ්ජා ඇති වීම.

3. පවට බිය ඇතිවීම.

4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.

5. පටන් ගත් කායික චෛතසික වීර්‍ය්‍ය ඇති වීම.

6. එළැඹ සිටි සිහි ඇති වීම.

7. ප්‍රඥාවත් වීම.

චතුර්ථ අපරිහාණිය ධර්ම සප්තකය.

1. ස්මෘති සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

2. ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

3. වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

4. ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

5. ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

6. සමාධි සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

7. උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය වැඩීම.

පංචම අපරිහාණිය ධර්ම සප්තකය

1. අනිත්‍ය සංඥාව වැඩීම.

2. අනාත්ම සංඥාව වැඩීම.

3. අශුභ සංඥාව වැඩීම.

4. ආදිනව සංඥාව වැඩීම.

5. ප්‍රහාණ සංඥාව වැඩීම.

6. විරාග සංඥාව වැඩීම.

7. නිරෝධ සංඥාව වැඩීම.

අපරිහාණි ධර්ම ෂට්කය

1. [2]*සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ තන්හි මෛත්‍රි කාය කර්මය එළැඹීම.

2. සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ දෙතන්හි ම මෛත්‍රී වාක් කර්මය එළැඹවීම.

3. [3]සබ්‍රහ්මචාරීන් කෙරෙහි සම්මුඛාසම්මුඛ දෙතන්හි ම මෛත්‍රී මනඃකර්මය එළැඹවීම.

4. [4]දැහැමෙන් ලත් සිවුපසය සබ්‍රහ්මචාරීන් හා සාධාරණ පරිභෝගයෙන් පරිභෝග කිරීම.

5. සබ්‍රහ්මචාරීන් හා ශීලයෙන් සමව විසීම.

6. සම්‍යක් දෘෂ්ටියෙන් සබ්‍රහ්මචාරීන් හා සම ව විසීම.

බුදුරජාණන් වහන්සේ රජගහපුර ගිජුකුළු පව්වෙහි වසමින් මේ අපරිහාණිය ධර්මයන් ම බෙහෙවින් වදාළ සේක.

  1. වජ්ජිනට දෙසු අපරිහාණීය ධර්ම සත:- 1 නිතරම පාහේ රැස්වීම් පැවත්වීම; 2. සමග ව රැස්ව හිදීම; සමගව නැගිටීම, සමග ව කටයුතුවල යෙදීම; 3 නො පැණවුවක් නො පැණැවීම, පැණවූ නීති කඩ නො කිරීම, පෞරාණික වජ්ජි ධර්ම පිළිගෙන ඒ අනුව පැවැත්ම, 4 වැඩිමහල්ලනට ගරු බුහුමන් කිරීම, ඔවුන්ගේ වචනයට ඇහුම් කන් දීම, 5 ඒ ඒ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලාත්කාරයෙන් තම තමන් වෙත වාසයට නො පැමිණැවීම, 6 වජ්ජින් පරම්පරා ගත ව ධාර්මික පූජායෙන් පිදූ දේවාලයනට ඒ පූජා නො කඩව කිරීම; 7 දක්ෂිණාර්භ වූ මහණ බමුණන් නිසි සේ රැක බලා ගැනීම.

  2. * මෛත්‍රී කාය කර්මය නම්: මෛත්‍රී සිතින් කටයුතු කාය කර්ම යි. වාක් කර්ම මනඃ කර්ම ද මේ අනුසාරයෙන් දත යුතු. ආභිසමාචාරිකවත් පිරීම භික්ෂූන් ගේ මෛත්‍රී කාය කර්මයි. චෛත්‍ය වැඳීමට බෝධි වන්දනාවට සංඝයා වැඩම කැරැවීමට යෑම, පිඬු පිණිස වැඩි භික්ෂූන් දැක පෙර ගමන් කිරිම, පාත්‍රය පිළි ගැනීම, අසුන් පැණවිම් ආදිය ගිහියන් ගේ මෛත්‍රී - කාය කර්ම යි. මෛත්‍රී සිතින් බණ දහම් ඉගැන්වීම, කමටහන් කීම භික්ෂූන්ගේ මෛත්‍රී” වාක් කර්මයි. වැඳුම් පිදුම් සඳහා යමු, බණ අසන්නට යමු, යන ආදී වශයෙන් පින් කිරීමෙහි තමන් අනුන් යෙදැවීම සඳහා කරන ගිහියන්ගේ කථාව ගෘහස්ථයන්ගේ මෛත්‍රී වාක් කර්ම නමි.

  3. “සබ්‍රහ්මචාරීන් වහන්සේ සුවපත් වෙත්වා” යන ආදීන් හිත චිත්තය පැතිරැ වීම භික්‍ෂූන් ගේ මෛත්‍රී මනඃ කර්ම නමි. “අපේ ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා” යන ආදීන් සිතන ගිහියන් ගේ ඒ සිතීම් ගෘහස්ථයන්ගේ මෛත්‍රී මනඃකර්ම නමි.

  4. කුහක කම් ආදියෙකින් නොව පිඬු පිණිස හැසිරීමෙන් යුතු ලෙස ලැබූ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන් පස යන මේවා දහැමෙන් සෙමෙන් ලත් සිවු පස නමි.