චිංචි මානවිකාව

බුදු පාමොක් සඟනට දිනෙන් දින මහාජනයා ගේ සත්කාර වැඩි වනු දුටු තීර්ථකයෝ “ශ්‍රමණ ගෞතමයනට ලැබෙන ලාභ සත්කාර නැති කරමු” යි කුමන්ත්‍රණ කොට එයට මඟක් යොදා ගත්හ.

ඔවුන්ගේ චිංචා නම් වූ රූමත් පරිව්‍රාජිකාවක් වූ ය. දවසෙක ඕ තීර්ථකාරාමයට අවුත් වැඳ සිටියා ය. කිසි ම තීර්ථකයෙක් ඇය හා කථා නො කෙළේ ය. ඕ තුන් වරක් ම වැඳ “ස්වාමීනි, කථා නොකරන්නට මා කළ වරදෙක් ඇද්දැ?” යි ඇසුවා ය. “ඇයි, ශ්‍රමණ ගෞතමයන් ලොව තමන් වෙතට ඇද ගනිමින් අප නිෂ්ප්‍රභ කෙරෙමින් ඇවිදිනා නියාව නො දනු දැ?” යි ඔහු කීහ. “ස්වාමීනි, මුසුප්පු නො වුව මැනැව, මම් ශ්‍රමණ ගෞතමයනට අයස උපදවන නියාව දනිමි” යි කියා ඔවුන් සතුටු කළා ය.

එ තැන් පටන් කොට ඕ සෑම සැන්දෑවෙක ම රතු පිළි හැඳ පෙරව ගෙන සුවඳ මල් ආදිය රැගෙන ජේතවනය බලායෙයි. ඇය අඳුරෙහි යන්නිය දැක “කොහි යවු දැ?” යි විචාළ වුනට “මා යන එන තැන් දැන ගන්නට තොපට වුවමනාව කිමෙක් දැ?'යි ඔවුනට සැක උපදනා ලෙසට සැඩ බසින් කියා යයි. ජේතවනයට නොදුරු වූ තීර්ථකාරාමයෙක රෑ ලැග පසු දින උදෑසන ම ජේතවනයේ සිට යන්නියක සේ ඒ පැත්තේ සිට නුවර අතට යෙයි. උදෙන් ම ජේතවනයට එන උපාසකවරුන් “රෑ කොහි ලැග්ගෙහි ද මේ තරම් පාන්දොරින් එන්නේ?” යි ඇසූ විට “මා කොයි ලැග්ගත් එයින් තොපට ඇති වැඩේ මොකක් දැ?” යි බැණවැදී යෙයි. මාස දෙක තුනකට පසු වැ පහන් දොරැ ම තීර්ථකාරාමයේ සිට ජේතවනය අතට ටික දුරක් ගොස් නුවර අතට එන්නී ජේතවනයට උදෙන් ම එනවුන් “මේ උදේම කොයි සිට එවුද” යි ඇසූ විට “දෙව්රමැ ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළියේ නිදා හෙව එමි” යි කියයි. ඇගේ විහිලු බසෙකැ යි කිසිදු කෙනෙක් එය නො තකති. තව තුන් සාර මසක් ගිය තැන දවසෙක ඕ දර සුඹුල් ආදිය ලා ඊ වටා බඩ මහත් ව තිබෙන ලෙසට රෙදි කඩ වෙළා බඩදරු ලියක සෙයින් රත් පිළියක් පොරවා ගෙන සවස භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන වේලෙහි දම් සභාවට ගොසින් ඉදිරියේ සිටියා ය. එසේ සිට “ශ්‍රමණයෙනි, ඔබ දහම්දෙසති, ඔබට දා ව මා බඩැ දරුවෙක් ඇත. වදන අවස්ථාව ළං ව ඇත. වදන ගෙයක් නියම නැත. අවශ්‍ය වුවොත් ගන්නට තෙල් මිරිස් ආදී බෙහෙත් ද නැත. ඔබේ උපාසක ව සිටිනා කොසොල් මහ රජ්ජුරුවනට හෝ අනේ පිඬු සිටාණනට හෝ විශාඛාවනට හෝ කළමනා දෑ කරන්නට විධාන නො කරනුයේ හැයි ද?” යනාදීන් ආඩාපාලි කියන්නට වන.

භාග්‍යවතුන් වහන්සේ දෙසු ම නවතා, “තොප කියන දැයේ ඇත්ත නැත්ත තෙපි දනිවු අපිත් දනිමු” යි වදාළ සේක. එය හා සමග ම ඇය බැඳ බඩ වෙලා තිබුණු ලනු හා කඩ රෙදි ලිහී ගිලිහින. දර සුඹුළුත් කඩ රෙදිත් ඇගේ පා මුල ම වැටිණ.[1]98

රැස් ව සිටි මිනිස්සු එය දැක “කාලකණ්ණි කෙල්ල, භාග්‍යවතුන් වහන්සේට මෙසේ අභූත දෝෂාරෝපණ කරන්නට කාරණ කිම් දැ!”යි බැණ වැදී ඇය එ තැනින් පලවා හළහ. භාග්‍යවතුන් වහන්සේට නො පෙනෙන තෙක් මානයට ඇය ගිය විට පොළොව පැලී විවෘත විය, ගිනි දැල් නැඟිණ. ඕ එයට හසු ව ගිලී මැරී අවීචි නිරයේ උපන්නීය.

චිංචාව කළ ක්‍රියාව තීර්ථකයන් ගේ කුමන්ත්‍රණයෙක ප්‍රතිඵල යැයි හෙළි වූයෙන් ඔවුනට තවත් මහජනයා කළ කිරුණහ. ලබමින් තිබුණු සත්කාර ටික ද නැති විය.

  1. 98 සක්දෙවිඳු සිවුවරම් දෙවියන් යොදා මී වෙස් ගන්වා ඇය බඩ බැඳි ලනු සිඳුවා ලූහයි ධම්මපදට්ඨ කථාවේ දැක්වේ.