ගරහදින්න සමාගමය

සැවැත්හි සිරිගුත්ත යැ යි ගරහදින්න යැ යි යහළුවෝ දෙදෙනෙක් වූහු. සිරිගුත්ත තෙම බෞද්ධෝපාසකයෙකි. ගරහදින්න තෙම නිර්ග්‍රන්ථ ශ්‍රාවකයෙකි. නිර්ග්‍රන්ථයෝ ගරහදින්නයා ලවා නිතර සිරිගුත්තයාට තෙරුවන් දොස් කියවා නිර්ග්‍රන්ථයන් ගේ අගය වර්ණනා කරවා තමන් කෙරෙහි පහදවා ගන්නට තැත් කෙරෙති.

සිරිගුත්ත තෙම කීප වරක් තුෂ්ණිම්භූතව සිට දිනෙක ගරහදින්නයා තමාට රත්නත්‍රයයේ අගුණ කියන්නට ආ විට,

“තෙපි මට “ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් කුමක් ලබන්නෙහි ද, මගේ ආර්‍ය්‍යන් වෙත ගොස් දන් දෙව”යි නිතර කියවු, කිව මැන, තොප ගේ ආර්‍ය්‍යයෝ කුමක් දනිත් දැ?” යි ඇසී ය.

ගරහදින්න තෙම “අහෝ ස්වාමීනි, එසේ නො කිව මැන. මගේ ආර්‍ය්‍යන් නො දත් දැයෙක් නැත. සියල්ල දනිති” යි කීය.

එ විට සිරිගුත්ත “එ සේ නම් මෙතුවක් කලක් මේ බව නො කියා සඟොවා ගෙන සිටියා ලොකු වරදෙකි. අද තොප ගේ මඟින් ආර්‍ය්‍යන් ගේ ඥනානුභාවය මම දතිමි. යන්නැ, මගේ වචනයෙන් ආර්‍ය්‍යනට නිමන්ත්‍රණය කරන්නැ”යි කී ය.

ගරහදින්නයා ගොස් ඒ පවත් කියා නිර්ග්‍රන්ථයන් පසු දා බතට නිමැතුයේ ය. නිර්ග්‍රන්ථයෝ “සිරිගුත්තයා තමන් කෙරේ පැහැදුණේ යැ”යි තුටු පහටු ව එය පිළිගත් හ.

සිරිගුත්තයාගේ වාසස්ථානය විශාල ය. හේ එහි ගෙවල් දෙකක් අතර දිගට ම අගලක් සාරවා එහි අශූචි හා මඩ පුරවා ඊ පිට දෙ පසැ කණු සිටුවවා, ලනු බඳවා ආවාටය අද්දරැ ආසන පණවා ලූයේ ය. ඒ ආසනවලැ ඉදිරි පා වළ අද්දර ද පසු පා වළ මත්තෙහි ලනු උඩ ද තැබැවී ය. එසේ කළේ අසුන්හි හුන් විට ලනු පෑගී ආසනවල පසු පා පහත් ව බැස ඒ නිගණ්ඨයන්, පිටි අතට හිස යටිකුරු වැ වැටෙනු පිණිස ය. මෙසේ කොට වළ නොපෙනෙන සේ ආසනත් වළ මුව විටත් වසා ඇතිරි අතුරුවාලූයේ ය. මහත් සැළි සෝදවා කෙසෙල් කොළින් ද කඩවැස්මෙන් මුව වසා බඳවා ඒ හිස් බඳුන් පිට පැත්තේ බත්තුළු ගිතෙල් පැණි ආදිය ඉස්වා ගෙයි පිටිපස තැබ්වී ය.

ගරහදින්නයා උදේ අවුත් බලා දන් පිළියෙල වූවා දැක සතුටු ව ගියේ ය. ඔහු ගිය පසු පන්සියයක් පමණ නිර්ග්‍රන්ථයෝ එහි ආහ. සිරිගුත්ත තෙම ගෙන් නික්ම පසඟ පිහිටුවා වැඳ ඔවුන් ඉදිරියේ දොහොත් මුදුන් තබා සිට “ඔබ වහන්සේ අතීතාදී සියලු කාලය දන්නෝ ල. ඔබ එය දනිතැ” යි ඔබ ගේ උපස්ථායකයා මට කීය. ඉදින් තුන් කල් නො දනිත් නම් මා ගෙට නො එනු මැනැව. මා ගෙට ගියත් කැඳ බතෙක් නො ලැබේ. නො දැන, පිවිසියොත් ඔබ හැම අසූචි වළැ හෙළා තළවන්නෙමි” යි සිතීය. ඔවුන් ඉඳගත් කල්හි ලනු වසා එළූ පසතුරුණු ඉවත් කරන්නට පුරුෂයනට සංඥා කෙළේ ය.

ඉක්බිති හේ නිවටුන් කැඳැවී ය. උහු ද වැද අසුන්හි ඉඳගන්නට ආරම්භ කළ කෙණෙහි එහි සිටුවා ලූ පුරුෂයෝ “ස්වාමීනි, ටිකක් සිටිනු මැනවැ”යි කීහ. “ඒ මන්දැ?”යි නිවටහු ඇසූහ. “අප ගෙට පැමිණියවුන් වත් දැන ඉන්ද යුතු ය. ඔබ වහන්සේ තම තමනට පැමිණි ආසන ළඟ සිට එක් විට ම ඉන්ද යුතු” යැ යි ඔහු කීහ. “මැනැවැ”යි ගිවිස උහු ද එක විට ම ඉඳ ගත්හ. ඔවුන් ඉඳගන්නට නැමෙන විට ම එහි වූ ඇතිරි එක විට හැර ගත් හ. ඔවුන් ඉඳගනුත් සමග ම ලනු පිට තුබු අසුන් පා පහත බැස්සේ ය. නිගණ්ඨයෝ පිටි අතින් පා උඩුකුරු කොට වළැ වැටුණහ. සිරිගුත්ත තෙම දොරවල් පියවා ඔවුන් වලින් නැගුණ නැගුණවුන් තළවා වළට හෙළවා “තොපට මෙතෙක් සෑහේ” යැයි කියා දොරවල් හරවා ලූයේ ය. පලා යන ඔවුන් යන මඟ සුණු පිරියම් කළ බිමෙහි නානු බෙලසුල් වත් කරවා තුබුණු බැවින් එහි ද වැටී ගියහ. එහි නවතා ලූ පුරුෂයෝ වැටුණ වැටුණවුන් තළා පලවාපූහ.

නිගණ්ඨයෝ හඬා ගෙන ගොස් වූ පවත් ගරහදින්නයාට දැන්වූහ. හේ කිපී නඩු දැමූයේ ය. එහෙත් එයින් සිරිගුත්තයාට ම ජය වී ය.

ගරහදින්නයා ටික දිනක් සිරිගුත්තයා හා කථා මාත්‍රයකුත් නො කොට ඉඳ, යලිදු කපට අදහසින් ඔහු හා යහළු විය. දිනෙක සිරිගුත්ත තෙම බුදු ගුණ කියා භාග්‍යවතුන් වහන්සේ ට දන් දීමෙහි ගරහදින්නයා මෙහෙයී ය. ගරහදින්නයා ද “යහපතැ” යි ගිවිස ඔහු ලවා ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට නිමන්ත්‍රණය කැරැවී ය. ඉක්බිති හේ ගෙවල් දෙකක් මැද මහ වළක් කණවා, කිහිරි දර පුරවා ගිනිකොට අඟුරු බස්වා වළ මත්තෙහි පෝරු අතුරුවා ඊ මතුයෙහි කළාල හා පැදුරු එළැවී ය. එහි අතුළ පෝරු අතුරෙන් භාග්‍යවතුන් වහන්සේ වඩනා ප්‍රදේශයෙහි පා තැබූ කෙණෙහි කඩා වැටෙන පරිදි දිරා ගිය ලෑලි අතුරුවා තැබී ය. වසන ගේ පැත්තෙහි සිරිගුත්තයා කළ පරිදිම හිස් බඳුන් බත් ආදිය ඉස කෙසෙල් කොළ ආදියෙන් වස්වා තැබීය.

නිමන්ත්‍රිත පරිදිම භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස හා වැඩි සේක. මහ ජනයා ද එහි රැස් විය, ගරහදින්නයා ගෙයින් පිටත අවුත් පසඟ පිහිටුවා වැඳ, දොහොත් මුදුන් තබා, පෙර සිරිගුත්තයා සිතු ලෙසින් “ඔබ තෙකල් දන්නා සේක්ය. නො එසේ නම් මෙහි පිවිසි විට දැනේ යැ” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවාගෙන ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ගෙට වැද ශ්‍රී පාදය අඟුරු වළ මත්තෙහි තැබූ විට ම රිය සක් සා පියුම් නැඟුණෙන් ඊ මත්තෙන් වැඩ ප්‍රඥප්තාසනයෙහි හුන් සේක. භික්ෂු පිරිසක් ඒ පියුම් මත්තෙන් ගොස් ආසනවලැ හිඳ ගත්හ.

ගරහදින්නයා මෙය දැක තැති ගත්තේ ය. සිරිගුත්තයා වෙත ගොස් වූ සියලු පවත් කියා, “තමා පිසූ දනක් නැති බව දැන්වී ය. එවිට සිරිගුත්ත තෙමේ “යව, ගොසින් බලව, බුද්ධානුභාවය ඉන් ම දත හැක්කැ” යි කියා ඔහු එය බලන්නට යැවී ය. ගරහදින්නයා ගොස් බැලූයේ ය. ඒ සියලු භාජන කැඳ බත් ආදියෙන් පිරී තුබුණු නියා දැක, විස්මිත ව ගොස් සියතින් ම දන් වැළැඳැවී ය. භෝජනාවසානයෙහි හේ අනුමෙවෙනි බණට අයැද පසෙක හුන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන බණ වදාරන සේක්, “මේ සත්ත්වයෝ ප්‍රඥා ඇස නැති බැවින් මගේ ශ්‍රාවකයන්ගේත්, බුද්‍ධශාසනයේත් ගුණ නොම දනිත්, ප්‍රඥා ඇස නැත්තහු අන්ධයෝ නම. ප්‍රඥාවත්හු ම ඇසැත්තෝ නමැ” යි වදාරා.

“මාවතක් අද්දරැ හළ කසළ ගොඩෙක සුවඳැති සිත්කළු පියුමෙක් යම්සේ පැන නගී ද, එසේ ම කෙලෙස් කුණින් පිරුණු ඥානාන්ධ වූ ලෞකික ජනයා අතුරෙහි උපන්නේ වී නුමුදු සම්‍යක් සම්බුද්ධශ්‍රාවක නෙම ගුණයෙන් ඒ සියලු ලෞකික ජනයා මැඩ අතිශයයෙන් බැබැළේ? යැ” 212 යි වදාරා දහම් දෙසූ සේක.

දේශනාවසානයෙහි සුවසූ දාසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය. ගරහදින්න සිරිගුත්ත දෙදෙනා ද සෝවාන් වූහ.

නැවැත සවස් කාලයෙහි දම් සබායෙහි රැස් වූ භික්‍ෂූන් කිහිරඟුරු මැදින් පියුම් පැන නැඟීම ගැන කථා කරමින් උන් විට, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ, ඒ පවත් අසා “පෙරත් බෝධිසත්ත්ව සමයෙහි ගිනි අඟුරු මැදින් පියුම් පැන නැංගේ වේ දැ” යි වදාරා, භික්‍ෂූන් විසින් ආයාචිත සේක්, ඛදිරංගාර ජාතකය වදාළ සේක.