සැවැත් පුර සතළිස් කෙළක් ධනය ඇති ආනන්ද නම් මහ සිටෙක් වී ය. හේ මහ මසුරෙකි. හේ සිය පුතුට අවවාද කරන්නේ, “මේ සතළිස් කෙළක් ධනය බොහෝ යැ යි නො සිතව. ඇති ධනය නො දිය යුතු ය. ධනය වැඩිම නම් කළ යුතු ය. එක කහවණුවකුත් වියදම් කරන්නහු ගේ ධනය එ පමණට ගෙවේ යැ” යි කිය යි. හේ කිසි දිනෙකැත් තමා සතු මහා නිධාන පස අසුවල් තැන යි පුතුට නො දැන්වී ය. මෑත භාගයෙහි හේ මළේ නුවර සමීපයෙහි සැඩොල් ගමෙක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේ ය.
පියා ගේ මරණින් පසු ඔහු පුත් මූලසිරි තෙම සිටු තනතුරට රජහු විසින් පත් කරන ලද්දේ ය.
යටකී සැඩොලිය ගබ් ගත් දා සිට ම ඒ ගම සැඩොලුනට කුලී වැඩකුත් නො ලැබෙන තරම් වීය. ඔහු කාලකණ්ණියා සොයා බලනුවෝ ඒ සැඩොලිය කුස උපන් දරු යැයි සලකා ඇය සැඩොල් ගමින් නෙරැපූහ. සැඩොලිය දුක සේ කල් ගත කොට පුතකු වදාපු දෑය. ඒ උපන් දරු තෙමේ වනාහි අංග විකල පාංශුපිසාචයකු වැන්නෙකි. එහෙත් පුත්‍ර ස්නේහය බලවත් බැවින් මවු ඔහු පෝෂිත කළහ. සිඟා කෑමට තරම් වයස් වූ විට ඒ දරු අතට කබලක් දී “පුත, තා නිසා අපි මහත් දුක් වින්දම්හ. දැන් තා පෝෂණය අපට නො හැකිය. මේ නුවර දුගියනට මගියනට බත් දෙන තැන් ඇත. එහි ගොස් සිඟා කා දිවි රකු” යැ යි කියා ඔහු යැවූ ය.
ඒ දරු තෙම නුවර ගෙ පිළිවෙලින් හැසිරෙන්නේ පෙර තමා ආනන්ද සිටුව උන් සමයෙහි වුසූ සිටු මාලිගාව දැක ජාතිස්මරණය කොට සිය ගෙට පිවිසියේ ය. තුන් දොරටුවල සිටි කිසිවෙක් ඔහු නො තැකුයේ ය.
සතරවන දොරටුවට ඔහු වන්නහු දැක මූලසිරි සිටුහු ගේ දරුවෝ බිය වැ කෑ ගැසූහ. සිටුහු ගේ ඇමතියෝ ඔහු දැක පිටත යව, කාලකණ්ණියැ” යි කියා තළා කසළ ගොඩට හෙළා ලූහ.
මේ වේලායෙහි ශාස්තෘන් වහන්සේ අනඳ තෙරුන් හා පිඬු පිණිස වඩනා සේක්, එ තැන දී තෙරුන් දෙස බලා, කසළ ගොඩැ උන් දරුවාගේ ප්‍රවෘත්තිය වදාළ සේක. එවිට තෙරණුවෝ මූලසිරියා කැඳවූහ. මහ ජන සන්නිපාතයෙක් ද විය.
භාග්‍යවතුන් වහන්සේ මූලසිරි සිටු අමතා, ඒ දරුවා පෙන්වා “මේ කවරැ යි දනිහි දැ?”යි ඇසූ සේක.
“නො දනිමි” යි සිටු පිළිතුරු දුන්නේ ය. “මෙ තොප පියා ආනන්ද ශ්‍රෙෂ්ඨි” යැ යි වදාළ සේක. සිටු නො ඇදහී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ සැඩොල් දරු අමතා “ආනන්ද සිටාණෙනි, තොප පුත්‍රයාට තොප ගේ පංච මහා නිධානය “ඇති තැන් කියවු” යැ යි වදාළ සේක. සැඩොල් දරු එය පෙන් වී ය. ඉක්බිති සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය අදහා පැහැදී තෙරුවන් සරණ ගියේ ය.
භාග්‍යවතුන් වහන්සේ සිටු පාමොක් ජන සමාගමයට දම් දෙසන සේක්,
“මගේ පුත්තු ඇත, ධනය ඇතැ”යි පුත්‍ර තෘෂ්ණායෙන් ද ධන තෘෂ්ණායෙන් ද ලාමක පුරුෂ තෙම වෙහෙසේ. තෙමේ ද තමාට නැත. මරණය හෝ අකුශල කර්ම විපාකය හෝ එළැඹ සිටි පුද්ගලයාට පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද?” යි වදාරා දම් දෙසූ සේක.
දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය වී ය.