සැවැත් පුර කිසිවකුට කිසිත් නුදුන් විරූ ධනවත් මසුරු බමුණෙක් වී ය. හෙ තෙම අදින්නපුබ්බක නමින් මහජනයා විසින් දන්නා ලද්දේ ය. ඔහුට පුතෙක් විය. කුන්ඩලාභරණ සාදා දිය යුතු වූ විට කර්මාන්තකාරයනට වියදම් දිය යුතු යැයි බියෙන් තෙමේ ම රන් කැබැලි ගෙන කපා මට කොට කුන්ඩලාභරණ දෙකක් තනා පුතුට පැළැන්දැවී. ඒ කුමාර තෙමේ මට වූ කුණ්ඩලාභරණ දරන්නේ මහජනයා අතුරෙහි මට්ටකුණ්ඩලී යන නමින් ප්‍රකට විය.
සොළොස් වයස් පත් මට්ටකුණ්ඩලී හට පාණ්ඩු රෝගයෙක් වැළැඳුනේ ය. අදින්නපුබ්බක තෙම එය දැකත් ධනය වියදම් වෙතැයි බියෙන් කිසි වෙදකු නො ගෙන් වී ය. රෝගය අසාධ්‍ය වැ මට්ටකුණ්ඩලී මරණ මඤ්චකයෙහි හොත්තේ ය. ඔහු දක්නට එන්නවුනට ගෙ තුළැ ඇති ධනය පෙනෙතැයි සැලකූ බමුණා මරණාසන්න වූ සිය පුතු ගෙයින් පිටත පිල් කඩෙහි ඇඳක් මත සැතැප් වී ය.
එදා අලුයම්හි මහ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ මට්ටකුණ්ඩලියා දැක, ඔහු ඉන්න ගෙය සමීපයට වැඩි සේක. බ්‍රාහ්මණ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහදවා ගත්තේ ය. නොබෝ වේලාවෙකින් මළ හෙ තෙම දෙව්ලොවැ උපන්නේ ය.
අදින්න පුබ්බක තම පුතු ගේ මළ සිරුර දවා ආදාහන භූමියට ගොස් සැම දවසෙහි පුතුගේ නම කියා හඬන්නේ ය. මට්ටකුණ්ඩලී දෙව් පුත් ද තමා දෙව් ලොව උපදින්නට හේතුව බලන්නේ “සිය පියා මසුරු බැවින් තමාට වෙදකම් නො කරවා මළ පසු සොහොනේ හඬා ඇවිදී” යැ යි ද, “භාග්‍යවතුන් වහන්සේ කෙරේ ප්‍රසාදයෙන් තමාට දෙව් සැපත් ලැබුණේ යැ” යි ද දිටී ය. දැක අදින්න පුබ්බක බමුණා හඬා ඇවිදිනා සොහොනෙහි පැත්තෙක පළමු මට්ටකුණ්ඩලී වේශයෙන් ම සිට හඬන්නට වන.
බමුණු ඔහු දැක “කුමට හඬයි දැ” යි ඇසී. තමාට රථයක් ලැබුණු බවත් එයට රෝද දෙකක් නැති හෙයින් හඬන බවත් කීය. එ විට සිය පුතුගේ රූපාකාරය ඇති ඒ තරුණයා කෙරෙහි ප්‍රෙමයෙන් බමුණු තෙම “වුවමනා පරිදි වූ රිය සක් දෙකක් රිදියෙන් හෝ රනින් වුව ද සපයා දෙන්නෙමි. නො හඬව” යි කී ය.
“ලෙඩින් පෙළුණු සිය පුතුට ධනව්‍යය භීතියෙන් වෙදකමකුත් නො කැරැවූ මෙ තම පුත්‍ර වේශයෙන් ආවකු කෙරෙහි දැන් සෙනෙහෙ කොට මෙසේ කියයි. මොහුට නිග්‍රහකොට වරද පෙන්වා දෙමැ” යි දෙව් පුත් සිතී. සිතා තමාගේ රථයට අන් කිසි රෝදයකින් අර්ථයක් නැති බවත් රිවි සඳු දෙදෙනා ම සුදුසු වූ රෝද බවත් කී ය.
එවිට බමුණා රිවි සඳ නොලද හැකි බවත්, එය පැතීම මෝඩ කමක් බවත් කීය. දෙව් පුත් තෙම “මේ රිවි සඳුහු ඈත්හි වුවත් ඇසට පෙනෙති. මැරී පරලොව ගියහු නම් දක්නට නැත් ම ය. මෙසේ කලැ අපි දෙදෙනා ගෙන් කවරෙක් මූඪතර ද? ඇසට පෙනෙන්නට වත් ඇති රිවි සඳුන් පතන්නේ ද, නැත හොත් කොයි අත ඉඳී දැයි නො දැක්ක හැකි පරලොව සිටියහු පතා ශෝක කරන්නේ දැ” යි ඇසී.
බමුණු ඒ දෙව් පුතු ගේ කතාව අසා තමා වඩා මූඪ බව තේරුම් ගෙන ඒ වචනයෙන් ම තුනී වූ ශෝක ඇත්තේ “භවත, මා සෝ දුක් නිවූ යුෂ්මත් කවරෙහි දැ?” යි විචාළේ ය.
තමා මට්ටකුණ්ඩලියා ම බවත් දෙව්ලොව උපන්න බවත් හේ කීය. දන් දීම් ආදි කිසි කුසලක් ඔහු කිසි දිනෙක කරන්නා තමා නො දුටු බව කියා එසේ කලැ දෙව් ලොව උත්පත්තිය කවර හෙයින් වී දැයි බමුණා ඇසී ය.
මරණ මංචකයෙහි හුන් තමා කෙරෙහි දයාවෙන් වැඩි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවා ගත් ප්‍රසාද මාත්‍රයේ හේතුයෙන් දෙව් ලෝහි උපන් බව හේ කීය. කියා, බමුණාට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන ලෙස අවවාද දී දෙව් පුත් අතුරුදහන් විය.
බමුණා ද ගෙට ගොස් දන් පිළියෙළ කරවා පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩම කැරැවී ය. අබෞද්‍ධයකු භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවූ කලැ අබෞද්‍ධයෝ “අද ප්‍රශ්න ඇසීමෙන් ශ්‍රමණ ගෞතමයන් වෙහෙසවන හැටි බලම්හ”යි ද සෞගතයෝ “අද මහා ධර්මයාගයක් වෙතැ” යි ද සිතා එහි රැස් වෙති, මෙසේ එදා මහා ජනසන්නිපාතයෙක් විය.
භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා සත්කාර කොට ඒ අදින්න පුබ්බක තෙම “ඔබ වහන්සේට දන් නො දී වැඳීම් මාත්‍රයකුත් නො කොට ස්වර්ගයේ උපන්නෝ ඇත් දැ?” යි විචාළේ ය.
භාග්‍යවතුන් වහන්සේ “තොප පුත්‍රයා ම මෙයට සාධක යැ” වදාරා “මට කොඬොල් දෙව් පුත් විමානය සහිත ව මෙහි පැමිණේ වා” යි ඉටු සේක. දෙව් පුත් ද එසේ අවුත් ඔබ වැඳ සිටියේ ය.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව් පුතු සාක්ෂ‍්‍ය ස්ථානයෙහි තබා බමුණා සහිත පිරිසට ධර්මාවවාද කළ සේක. බමුණු තෙම සරණ ගත උපාසකයෙක් විය.
ඉක්බිති මට්ටකුණ්ඩලියා ගේ චිත්තප්‍රසාද ඵලය ඇරැබ දම් දෙසන සේක්,
“සියලු චේතනාදීහු සිත පූර්වංගම කොට ඇත්තාහ. සිත ශ්‍රෙෂ්ඨ කොට ඇත්තාහ, සිතින් නිපදනා හ. ඉදින් පහන් සිතින් කියන්නේ කරන්නේ හෝ සිතන්නේ වේ ද, එහි ඵලය වූ සුඛවිපාක තෙම වෙන් වී නො යන සෙවණැල්ලක් සේ ඒ කුශලකාරී පුද්ගලයා අනුව ම යෙතැ” 189 වදාළ සේක.
මේ ධර්ම කථාව ඇසීමෙන් අදින්නපුබ්බක බමුණු ද මට්ටකුණ්ඩලී දෙව්පුතු ඇතුළු සුවාසූදහසක් ප්‍රාණීහු ද ධර්මාභිසමය කළෝ ය.