මණ්ඩුක දේවපුත්‍ර සමාගමය

star_outline

භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක චම්පා පුරයෙහි ගර්ගරා පොකුණ අසළ ආරාමයෙහි වුසූ සේක. නුවර පිඬු පිණිස හැසිර වළඳා දවල් කාලය ඵලසමාපත්ති සැපයෙන් ගෙවා සවස දම් සබා මඬුයෙහි සිවු පිරිස මැද දම් දෙසන සේක.

එ කෙණෙහි මැඬියෙක් පොකුණෙන් අවුත් “මේ මනා කථාවකැ” යි යන සංඥායෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ මධුර ස්වරයට කන් යොමු කොට පිරිස් කෙළවර හුන්නේ ය.

එක් ගොපල්ලෙක් ද එහි අවුත් බණ අසන පිරිස දැක, සැරයටිය බිම ගසා, එහි එල්බ එයට බර වැ සිට බණ ඇසී ය. හේ මැඩියා නො දුටුයේ ය. ඔහු සැරයැටිය තුබුයේ මැඩියා මත්තෙහි ය. මැඩි තෙම වනාහි ඉන් තෙරැපීත් භාග්‍යවතුන් වහන්සේ ගේ කටහඬෙහි යැවූ සිතැත්තේ, ප්‍රසන්න සිතින් මළේ, තව්තිසා දෙව්ලොවැ දෙව් පුතෙක් ව උපන්නේ ය. දෙව්ලොවැ උපන් කෙණෙහි හේ “කොහි සිට කවර පිනකින් මෙහි උපන්නෙම් දැ?” යි බැලූයේ, වූ සියලු පවත් දැක විමානය පිටින් ම එකෙණෙහි යථොක්ත බණ අසන පිරිස සමීපයට අවුත් විමනින් බැස මහ ජනයා බලා හින්දැ දීම, දෙව් පිරිස කැටිව භාග්‍යවතුන් වහන්සේ වෙත එලැඹ, පාමුලැ වැටී වැඳ ඇඳිලි බැඳ ගෙන නමස්කාර කරමින් සිටියේ ය.

කර්ම ඵලය දෙව් පුතු ලවා ම මහජනයාට ප්‍රකාශ කරවා ලන අදහසින් භාග්‍යවතුන් වහන්සේ “මා පා වඳින මේ තෙම කවරේ දැ”යි අසා වදාළ සේක.

දේව පුතු තමා පෙර මැඩියකු ව සිටි බවත්, තමා භාග්‍යවතුන් වහන්සේ ගේ කථා ශබ්දයෙහි නිමිත්ත ග්‍රහණය කරමින් සිටින විට ගොපළු දරුවකු ගේ සැරයටියට අසු වී තෙරැපී මළ බවත්, ප්‍රසන්න සිතින් කළුරිය කොට තව්තිසා දෙව්ලොව දෙව් පුතකු ව උපන් බවත් කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ මෙය ඇරැබ, පැමිණ සිටි මහ පිරිසට විස්තර වශයෙන් ධර්ම දේශනාවක් කළ සේක. දේශනාවසානයෙහි දෙව් පුත් සෝවාන් වී ය. සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය වී ය. දෙව් පුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ සිය පිරිස හා දෙව්ලොවට ම ගියේ ය.