බකබ්‍රහ්ම සමාගමය

star_outline

භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නගරය අසල සුභග වනයෙහි සල් රුක මුලැ වසන සේක. එ සමයෙහි බක නම් බ්‍රහ්මයා හට “මේ බඹලෝ නිත්‍යය, ධ්‍රැවය, ශාශ්වතය, කෛවල්‍යය, නොනැසෙන සුලුය. මෙය නො සෑදේ, නො දිරයි. නො මැරේ, නූපදී, මෙයින් අන්‍ය නිඃශරණයෙක් (මෙයින් මිදී යන තැනෙක්) නැතැ යි මිථ්‍යාදෘෂ්ටියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහු ගේ අදහස දැන, උන් තැනින් අතුරුදහන් ව ක්ෂණයෙකින් බඹ ලොවැ පහළ වූ සේක. බඹා භග්‍යවතුන් වහන්සේ දැක,

නිදුකාණනි, වඩිනු මැනැව. ඔබගේ මෙහි ඊම ස්වාගත ය. ඔබ මෙහි වැඩියේ කලෙකිනි. නිදුකාණෙනි, බඹ ලොව වනාහි නිත්‍ය ය, ධ්‍රැව ය. ශාශ්වත ය, කෛවල්‍යය, නො නැසෙන සුලුය, මෙය නො සෑදේ. නො දිරයි, නො මියෙයි, නො සැවේ, නූපදී, මින් ච්‍යුත ව යෑමෙක් නැතැ” යි කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ ප්‍රකාශය වරද බව, ඔහු අවිද්‍යායෙන් අන්ධ ව මෙසේ සිතන බව වදාළ සේක. එ කල මාර තෙම එක්තරා බඹක් හු සිරුරැ ආවිෂ්ට ව “මොහුට ගර්හා නො කරව. මහණ, මේ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මය, සියල්ල මැඩැ ගෙන ඉන්නේ ය. කිසිවක් හු විසිනුත් අනභිභූත ය, සියල්ල ඒකාන්තයෙන් දන්නේ ය. වශවර්ත්තී ය. ඊශ්වර ය, කාරක ය, නිර්මාපක ය, ශ්‍රෂ්ටා (සියල්ල සාදන්නා) ජේතෘ ය, සියලු උපනුන් උපදනාවුන්ගේ පීතෘ ය. මහණ, තට පූර්වයෙහිත් පෘථිව්‍යාදියට ගැරැහුවෝ, පිළිකුල් කළ මහණ බමුණෝ වූහ. එහෙත් පෘථිවි, අප්, තේජස්, වායු, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම යන මොවුනට ගරහා මරණින් පසු අපාය භාග් වූහු. එහෙත් ඒ පෘථිව්‍යාදීන් නො ගැරැහූ මහණ බමුණෝ මරණින් පසු බඹ ලොව්හි උපන්හ. එ බැවින් මම් තට කාරණයක් කියමි. එය කරව, පින්වත, මේ බඹහු කියන්නක් කරව. මොහු ගේ වචන නහමක් ඉක්මව. ඉදින් තෝ එය ඉක්මවන්නෙහි නම්, වෙත එන ශ්‍රීය දැක මොහොලක් ගෙන පලවා හරින්නා වැන්න. මහණ ප්‍රපාතයක වැටෙන්නේ, අතින් ගන්නට හෝ පය රඳවන්නට කිසිත් නොලදොත්, එහි වැටෙන්නේ මය. එසේ ම තා බඹහු කියන්නක් ඉක්මුවහොත් තට වනසෙක් වන්නේ ය. එබැවින් මෙම බඹහු කියන්නක් කරව. මොහු බස නො ඉක්මව. මේ බඹහු පුදා යශසින් හා ශ්‍රීයෙන් බැබළෙව” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔහු දැන, “පාපීය, තා අඳුනමි, මා තා නො දනිතැ යි නො සිතව. මේ බඹාත් සෙසු බඹ පිරිසත් තා අත් අඩංගුයෙහි ය. තා වශයෙහි ය. ඒ තෝ මා තගේ අතට හසු වූයෙකැ යි නො සිතව. මම් වූ කලී, පාපීය, තා අතට නො හසු වූයෙකිමි. තා වශයට නො ගියෙකිමි” වදාළ සේක.

මෙ සේ වදාළ කළ බක බ්‍රහ්ම තෙම,

“නිදුකාණෙනි, මම් වනාහි නිත්‍යයක් ම නිත්‍ය යැ යි, ධ්‍රැවයක් ම, ධ්‍රැවයැ යි, ශාශ්වතයක් ම ශාශ්වත යැ යි, කෛවල්‍යයක් ම කෛවල්‍ය යැ යි, නො මැරෙන සුල්ලක් ම නො මැරෙන සුලු යැයි, දැනුම් දිරුම් මැරුම් සැවුම් නැත්තක් ම ඒ නැතැ යි, මින් අන්‍ය වූ මත්තෙහි නො මැති නිඃශරණයක් නො මැතැ” යි කියමි. යුෂ්මත් ද මින් අන්‍ය නිඃශරණයක් නො ම දක්නෙහි ය. එය සොයන්නට යෑමෙන් තොර වැ යුෂ්මත් පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපතී බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට ගෙන සිතින් එහි ලග්නෙහි නම්, මට ළංව අරක් ගෙන සිටින්නෙහි ය. මම් ද යුෂ්මත්හු කැමැතියක් කරන්නෙමි. සෙස්සන් හැර යුෂ්මත්හු ඇතුළත් කර ගන්නෙමි” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ “මොහු ගේ මානය බිඳිමි” යි සිතා, “බ්‍රහ්මය, පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට සිතින් ගෙන මොවුන් කෙරෙහි සිත ලග්වම් නම් මා තට ළංව ඉන්නකු බව, තට අරක් ගත්තකු වන බව, තා සිය කැමැත්තක් මට කැර ලන බව, සෙස්සන් පිටත් කොට මා ඇතුළත් කැරැ ගන්නා බව දනිමි. එහෙත්, බ්‍රහ්මය. බක බ්‍රහ්ම මේ තරම් තෙදැත්තෙකැයි නො සිතමි. මම තාගේ ගතිය ද ච්‍යුතිය ද දනිමි” යි වදාළ සේක.

“නිදුකාණෙනි, යුෂ්මත් කෙසේ මගේ ගතිය ච්‍යුතිය දන්නෙහි දැ?”යි බක බ්‍රහ්ම ඇසී.

එ බස් අසා භාග්‍යවතුන් වහන්සේ “රිවි සඳු දෙදෙනා දිශාවන් බබුළුවමින් ඇවිදිනා තාක් වැනි දහසක් ලෝක ධාතුව තාගේ වශයෙහි පවතී. තෝ මෙතෙක් තන්හි හීන ප්‍රණීත සත්ත්වයන් දනිහි. සරාග විරාග ද සතුන් දනිහි. උපදනවුන් මැරෙනවුන් දනිහි. අත් බවට ඊමත් ඉන් යෑමත් දනිහි. තා දන්නේ මෙතෙක් ය බ්‍රහ්මය, මෙසේ තගේ ගති ච්‍යුති සෘද්ධ්‍යානුභාව ප්‍රමාණයෙන් මම දනිමි. බ්‍රහ්මය, තා නොදන්නා නොදක්නා කාය තුනෙක් ඇත. එය මම් දනිමි. බ්‍රහ්මය, තා සිට ආ තැන වූ, බොහෝ කල් ගත වූ බැවින් තට සිහි නැති ආභස්සර නම් බ්‍රහ්මකායයෙක් ඇති. මම් වනාහි එය දනිම්, දකිම්, මෙ සේ ඒ දැනීමෙන් තෝ මට නො සමය. එසේ කලැ එයින් මගේ තට මිටි බවෙක් කොයින් වන්නේ ද? බ්‍රහ්මය. සුභකිණ්හ නම් බ්‍රහ්ම කායයෙක් ඇත. ඒ ද තෝ නො දනිහි. නො දකිහි. මම් වූ කලි එය දනිමි, දකිමි. වේහප්ඵල නම් බ්‍රහ්ම කායයෙක් ඇත. එය තෝ නො දනිහි, නො දකිහි. එය මම් දනිමි. දකිමි. මෙසේ බ්‍රහ්මය, තෝ මට නොසම ය. මගේ තට මිටි බවෙක් කොයින් ලැබේ ද? මේ හැම දෙයින් මම් තට වැඩි ම යැ” යි වදාළ සේක. වදාරා, පෘථිවි අප් ආදීන්ගේ තත්ත්වය තමන් වහන්සේ අවබෝධ කැර ඇති බවත්, බඹහු එය නොදත් බවත්, ඒ බඹහු තමන් වහන්සේට එයිනුත් පහත් බවත් වදාළ සේක.

බඹා කිසිත් කැරැ ගත නො හී “එසේ නම් මම තට අතුරුදන් වෙමි” යි කීය.

“හැකි නම් අතුරුදන් වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බඹ තෙම “අතුරුදන් වෙමි” යි තැත් කළේ ද, නො හැකි විය. කෙසේ සැඟවුණත් භාග්‍යවතුන් වහන්සේ ඔහු දක්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ අතුරුදන් වන බව වදාරා සිය කථාව ඔවුනට ඇසෙන්නටත් රූපය නො පෙනෙන්ටත් සැලැස්වූ සේක.

බක බ්‍රහ්මයා ආදී සියලු බඹ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ මහර්ධිකතාව ගැන පුදුමයට හා විස්මයට පැමිණියහ.

ඉක්බිති මාර තෙම එක් බඹකුට ආවිෂ්ට ව “ඉදින් නිදුකාණෙනි, තෙපි මෙසේ දන්නහු නම්, තෙපි සම්‍යක්සම්බුද්ධ නම්, ශ්‍රාවකයන් ඇති නො කරවු. පැවිද්දන් ඇති නොකරවු. ඔවුනට දම් නො දෙසවු. ඔවුන් කෙරෙහි ඇල්ම නො කරවු. යුෂ්මත්නට පෙරත් “සම්‍යක්සම්බුද්ධය” යැ ප්‍රතිඥා කළ මහණ බමුණෝ වූහු . ඔහු සව්වන් ඇති කොට ඔවුනට දහම් දෙසා ඔවුන් කෙරෙහි ඇල්ම ඇතිකොට මැරී පහත් අත් බව්හි උපන්හ. එහෙත් යුෂ්මත්නට පෙර පහළ වූ සම්‍යක්සම්බුද්ධ යැ යි ප්‍රතිඥා කළ සව්වන් ඇති නො කළ මහණ බමුණෝ වූ කලි උසස් අත්බව්හි පිහිටියහ. එ බැවින් මම්, මහණ, තොපට කියම්, මන්දෝත්සාහ වවු. දෘෂ්ට ධර්ම සුඛවිහාරී ව වසවු. අන් හට බණ නො කීම යහපති. අන්හට ඔවා නො දෙවු”යි කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, තා මම් දනිමි. නො දනිතැයි නො සිතව, තෝ පාපීය, මාරයෙහි ය. තෝ වැඩ කැමැති ව දයායෙන් මෙසේ නො කියහි ය” යන ආදීන් මාරයා ගරහා පලවා හැර. ඒ බඹ පිරිසට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දහසක් බඹුහු රහත් වූහ.