ඡාත්‍ර මානවක සමාගමය

සේතව්‍යා නගරයෙහි බමුණකුගේ පුතෙක් වී ය. ඉගැන්මට නිසි වයස පැමිණි විට හෙ තෙම පිය බමුණහු විසින් උක්කට්ඨා නගරයෙහි ප්‍රසිද්‍ධ ආචාර්‍ය්‍යවරයකු වූ පොක්ඛරසාදී නම් බමුණු පඬිවරයා වෙත යවන ලද්දේ ය. නුවණැති බැවින් වැඩි කල් යන්නට පෙර හේ වේදයෙහි ද සෙසු විද්‍යා ශිල්පයන්හි ද සමර්ථ වී ය. ඉන් පසු ඡාත්‍ර තෙම ඇදුරු බමුණා වෙත එළැඹ “ඔබ වෙත මම උගත්තෙමි. ගුරු පඬුරු වශයෙන් කුමක් දෙම් දැ?” යි ඇසීය. “ගුරු පඬුරු නම් ගෝලයන් ගේ වත් පොහොසත්කමේ හැටි හැටියට ය, එබැවින් කහවණු දාහක් ගෙනෙව” යි ඇදුරු බමුණා කී ය. ඡාත්‍ර තෙම ගුරු පඬුරු ගෙන එන්නට ගුරුවරයා වැඳ සමුගෙන පිටත් ව ගියේ ය. ගොස් මාපියනට ඒ පවත් දන්වා කහවණු දහසක් ලබා ගෙන පොදියක් බැඳ පසු දා ආචාර්‍ය්‍යවරයා වෙත එන්නට පිටත් වීය. තරුණයාගේ ගමනේ තොරතුරු කලින් දැනගත් මං පහරන සොරු ඔහු යන මඟ අසළ ලැහැබකැ සැඟවී සිටියහ.

සැවැත් නුවර වසන බුදුරජාණන් වහන්සේ එදින අලුයම්හි බුදු ඇසින් ලොව බලන සේක්, ඡාත්‍රයාට වැළැක්විය නො හැකි බර අකුසල විපාකයක් එළැඹ සිටි බවත් එයින් ඔහු සොරුන් ගෙන් මැරුම් කන බවත් දැක, එයට පෙර ඔහු තිසරණ පන්සිල් ගන්නා ස්වර්ග මාර්ගයෙහි පිහිටුවන අදහස් ඇති ව, කලින් ම වැඩ මාණවකයා යන පාර අද්දර රුකක් මුලැ හුන් සේක. මාණවක තෙමේ ද කහවණු පසුම්බියත් ගෙන පිටත් ව යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක සමීපයට ගොස් සිටියේ ය. එ විට “ඡාත්‍ර, කොහි යන්නෙහි දැ” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “ගෞතමයන් වහන්ස, උක්කට්ඨා පුරයට යමි, මගේ ආචාර්‍ය්‍ය වූ පොක්ඛරසාදි බමුණුතුමාට ගුරු දක්ෂිණාව දෙන්නට යැ”යි මාණවක තෙම පිළිතුරු දුන. “මාණවකය, තිසරණත් පංච ශීලයත් දන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “ඒ කිම් ද? ඒ කුමට දැ?” යි මාණවක ඇසී. බුදුරජාණන් වහන්සේ තිසරණ ගමනයත් පංච ශීලයත් මේ මේ යැයි දක්වා එය සමාදන් කොට ගැන්මේ ඵලයත් අගයත් දක්වා “මාණවකය, සරණ ගමන විධිය උගනුව”යි වදාළ සේක. “උගන්නෙම් වහන්ස, වදාරන්න” යි ඔහු කීයෙන් ඔහුට රුචි වන පරිදි වූ ගාථා බන්ධනයක් කොට දුන් සේක. මාණවක තෙමේ ද ඒ අනුව කියා ගාථා කටපාඩම් කැර ගත්තේ ය.

ඒ ගාථාවෝ,

“යෝ වදතං පවරො මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ

පාරගතෝ බල විරිය සමඞ්ගී තං සුගතං සරණත්තමුපේමී

.

රාග විරාගමනේජමසෝකං ධම්මමසංඛතමප්පටිකූලං

මධුරමිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්තමුපේමි

.

යත්ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගේසු

අට්ඨ ච පුග්ගල දම්මදසා තේ සංඝමිමං සරණන්තමුපේමී.

මේ ගාථා තුන කියා සරණ පිහිටි ඡාත්‍ර මානවකයාට පඤ්චශීලයේ සැටි, පල හා අනුසස් ද වදාළ සේක. එය සිතට ගත් හෙ තෙම පන්සිල් ඉටා ගෙන “ඉතින් භාග්‍යවතුන් වහන්ස, මම් යන්නෙම්” යැ යි කියා අවසර ගෙන තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම මං බැස්සේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “මොහුට දෙව් ලෝහි ඉපදීමට මේ කුසල් ම සෑහේ යැ”යි සලකා ජේතවනයට ම පෙරළා වැඩි සේක.

මහා මාර්ගයෙන් යන ඡාත්‍ර තෙම සොරුන් වසන පෙදෙසට පැමිණියේ ඔවුන් ගැන කිසිත් නො සලකා තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම ගියේ ය. එ කලැ හෙ තෙම පඳුරෙකැ සැඟෙවී සිටි සොරකු විසින් විෂ පෙවූ ඊයෙකින් හදිසියෙන් විදුනා ලද්දේ එ තැන ම මැරී වැටුනේ ය. සොරු කහවනු පොදිය ගෙන පලා ගියහ. මළා වූ ඡාත්‍ර තෙම නිදා පිබිදියකු සේ තව්තිසා දෙව් ලොවැ රන්විමනෙක උපන්නේ ය.

සේතව්‍යා පුරයට යන මිනිස්සු මළා වූ ඡාත්‍ර යා දැක ඔහු ගේ මාපියනට ද, උක්කට්ඨා පුරයට ගිය තැනැත්තෝ පොක්ඛරසාදී බමුණාට ද ඒ බව දැන්වූහ. ඒ දෙනුවරින් ඡාත්‍රයා ගේ මවු පිය නෑ මිතුරෝ අවුත් රැ අඬා වැළපී මාර්ගය සමීපයේ දර සෑයක් කොට මළ සිරුර ආදාහන කරන්නට ආරම්භ කළහ. එහි දී සිදු වන යහපත දැක බුදුරජාණන් වහන්සේ එහි පැමිණ ගසක් මුල හුන් සේක. ඡාත්‍ර දෙව් පුත් ද තමා ලත් සැපතට හේතුව බලනුයේ බුදුරජාණන් වහන්සේ නිසා ඒ සා මහත් සැපත් ලත් බව දැක, එහි පැමිණ භාග්‍යවතුන් වැඳ පසෙක සිටියේ ය. ඒ දුටු මහජනයා විස්මිත ව භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙව් පුතු ලවා ඔහු ගේ සියලු ප්‍රවෘත්තිය ප්‍රකාශ කරවා ඉක්බිති දහම් දෙසූ සේක. ඒ ඇසූ දෙව්පුත් තෙමේ ද ඔහු ගේ පෙර අත් බැවැ මා පියෝ ද තවත් බොහෝ දෙනා ද සෝවාන් වූහ. දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට භික්ෂු සංඝයා වහන්සේට යටත් පැවතුම් දක්වා මාපියන් ගෙන් සමුගෙන දෙව්ලොවට ම ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා සහිත ව නික්මි සේක. ඡාත්‍රයා ගේ මා පියෝ ද සෙසු මහජනයා ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට නැවතුණහ.