සාකේත බ්‍රාහ්මණ සමාගමය

star_outline

බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂු සංඝයා හා සාකේත නගරයෙහි පිඬු පිණිස හැසුරුණු සේක. එ කල කිසි කටයුත්තක් සඳහා නුවරින් නික්මුණු ධනවත් මහළු බමුණෙක් නුවර දොර සමීපයේ දී භාග්‍යවතුන් වහන්සේ දැක පුත්‍ර ස්නේහය උපදවා “පුත, බොහෝ කලෙකින් දැක්කෙමි” යි කියා හඬමින් ඉදිරියට ගියේ ය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, “මහණෙනි, මේ බමුණා කැමැත්තක් කරා වා. ඔහු නො වැළැක්විය යුතු” යැ යි වදාළ සේක. බමුණු තෙමේ ද ළඟට වුත් “පුතා, බොහෝ කාලෙකින් නුඹ දිටිමි බොහෝ කලක් අපෙන් වෙන් ව සිටියහු යැ” යි කියා උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය හාත්පසින් වැළඳ ගත්තේ ය. එයට ඉඩක් නො ලැබුණේ නම්, ඒ බමුණා ශෝකයෙන් මැරෙන්නේ ය. එබැවින් ඔහු කැමැත්තක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දුන් සේක. ඉන්පසු බ්‍රාහ්මණ තෙම “භාග්‍යවතුන් වහන්ස, ඔබ හා වැඩි මේ සියලු භික්‍ෂූන් වහන්සේට භික්ෂාව දීම මා විසින්ම කළ හැකි යි. එබැවින් මට අනුග්‍රහ කොට මේ ඉල්ලීම පිළිගත මැනැවැ” යි කී ය. භාග්‍යවතුන් වහන්සේ එය තුෂ්ණිම් භාවයෙන් පිළිගත් සේක. බ්‍රාහ්මණ තම පාත්‍රය ගෙන පෙරටුව යමින් “පුතා ආයේ ය. ආසන පණවන්නැ”යි ගෙට පණිවුඩයක් යැවී ය. බැමිණි ද ඉතා සතුටු ව අසුන් පණවා බලාපොරොත්තුව හුන් තැනැත්තී, වීථියේ වඩනා බුදුරජාණන් වහන්සේ ඈත දීම දැක, පුත්‍ර ස්නේහය ඉසිලිය නො හී ඉදිරියට දිව ගොස් “පුතා, බොහෝ කලකට පසු දිටිමි” යි කියා පා මුල වැටී හඬා ගෙට වැඩම කරවා ගෙන ගොස් සකසා වැළැඳැවූවා ය. දන් වළඳා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දම් දෙසූ සේක. බණ අසා දෙදෙනා ම සෝවන් වූහ. ඉන් පසු ඔහු එ නුවරැ වසන තාක් කල් ඔවුන් ගේ ම ගෘහයෙන් භික්ෂාව ගන්නා ලෙස අයැදු හ. භාග්‍යවතුන් වහන්සේ “බුදුවරු එකම තෙනකට නිතර නො වඩිත්” යැ’ යි වදාරා ඒ ආයාචනය ප්‍රතික්ෂේප කළ සේක. “එසේ නම් ස්වාමීනි, භික්ෂු සංඝයා හා පිඬු පිණිස හැසිරෙ මෙහිදී ම දන් වළඳා වත් අපට බණ වදාරා විහාරයට වැඩිය මැනැවැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට අනුග්‍රහයෙන් එය පිළිගත් සේක. මිනිස්සු ඒ බමුණු බැමිණි දෙදෙනාට බුද්‍ධපිතෘ බුද්‍ධමාතෘ යැ යි කියා ව්‍යවහාර කළහ. ඒ පවුලට ද බුදුකුලයැ යි නම් වීය.

“මම භාග්‍යවතුන් වහන්සේ ගේ මා පියන් දනිමි. මේ දෙදෙනා තුමූ බුදුරජාණන් වහන්සේ ගේ මා පිය බවක් කුමට කියත් දැ?” යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඇසූහ. එබසට වදාරන සේක්, “ආනන්දය, මේ බමුණු බැමිණි දෙදෙන බොහෝ පෙර පිළිවෙළින් ම පන්සියයක් පමණ ජාතීන් හි මගේ මවු පිය ද, එ පමණ කල් ලොකු මවු පිය ද, සුළු මවු පියද වූහ. ඒ පූර්ව ස්නේහය මතු වීමෙන් ඔවුන් මෙසේ කියති” යි වදාළ සේක.

ඉන්පසු කලක් එහි වැස නැවතත් සැරිසරන සේක් සැවැත් නුවරට ම වැඩි සේක. ඒ බමුණු බැමිණි දෙදෙන ද භික්ෂූන් වෙත එළැඹ බණ අසා සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන ඉතිරි මාර්ග තුනටත් පැමිණ අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිණිවිය හ. නුවර වැසි බමුණෝ ද උපාසකවරු ද මහත් සත්කාර සහිතව මෘත ශරීර කූටාගාරයක බහා නුවරින් ආදාහනස්ථානයට ගෙන පිටත් වූහ. බුදුරජාණන් වහන්සේ අලුයම්හි ලෝ බලන සේක්, තමන් වහන්සේ ගේ එහි වැඩීමෙන් බොහෝ දෙනාට ධර්මාභිසමය වනු දැක, සැවැත් නුවරින් නික්ම ඒ සොහොන් බිමට වැඩි සේක. මිනිස්සු උන්වහන්සේ දැක, “සිය මා පියන් ගේ ශරීරාදාහනෝත්සවයට භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ.”යි කියා අවුත් වැඳ සිටියා හ. නගර වැසිහු ද මෘත ශරීර ලූ කූටාගාරය පෙරහැරින් ගෙන ආදාහන භූමියට පැමිණිය හ. ඉක්බිති “ගෘහස්ථ ආර්‍ය්‍යශ්‍රාවකයන් කෙසේ පිදිය යුතු දැ?” යි ඔහු විචාළ හ. එවිට භාග්‍යවතුන් වහන්සේ “අශෛක්ෂනයට (රහත් ඵලයට පැමිණියනට) පූජා කළ යුතු පරිදිම ඔවුන් පිදිය යුතුයැ” යි දක්වන සේක් ඒ දෙදෙන රහත් වූ බව ප්‍රකාශ කොට ඉක්බිති ජරා සූත්‍රය [1]* දෙසූ සේක.

  1. * මෙය සුත්ත නිපාතයෙහි ඇතුළති