සුලසා නගර ශෝභිනී

රජගහ නුවර මහධන සිටුවරයෙක් වී. හේ සිප්සතර ඉගැන්ම සිය පුතුට මහත් වෙහෙසට කරුණු යැ යි සිතුයේ, ඔහුට කිසි සිප් සතරක් නො මැ ඉගැන්වී ය. සුකුමාර ව වැඩී තුරුණු විය පත් සිටු පුතුට එ වැනි ම ධනවත් කුලයෙකින් සිටු දුවක ආවාහ කොට දුන්හ.

ඔහු මාපියන් මළ පසු සුරාධූර්තාදීන් පිරිවරා ගෙන නැටුම් ගැයුම් ආදියෙහි ගැලී කිසි ගුණධර්මයෙක නොයෙදී කල් යැවූහ. එයින් සියලු ධනය විනාශ කොට ගෙන දුගී බවට පත් වූහ. ඔවුන් සතු සියලු කෙත් වත් ආදිය ණය හිමියන් සතු විය.

එක් කලෙක දෙව් කුමරකුත් දිව්‍යාප්සරාවකත් ලෙසින් කල් යැවූ ඒ දෙදෙන, රැකෙන්නට අන් මඟක් නැති ව කබල් ගත් අත් ඇත්තෝ, සිඟා කමින් දිවි රකිමින් අනත් හලෙක වුසූ හ.

දිනෙක සොරු ඒ සිඟන්නහු දැක “භවත, තට මේ දුඃඛ ජීවිතයෙන් මොන අර්ථයෙක් ද? තෝ ජවබල ඇත්තෙක, අප හා එකතුව සොරකමින් දිවි රකුව” යි කීහ. “මම සොරකම නො දනිමි” යි සිටුපුත් කීය. “අපි තට සොරකම් උගන්වන්නමු. තෝ අප කියනා දැයක් ම කරව”යි සොරු කීහ. හේද සොරුනට එක් විය.

දිනෙක සොරු ගෙයක් බිඳ ගෙට වන්නෝ “අන් කිසිවක් හු ආවොත් මින් ගසා මරව”යි සිටුපුතු අතට පොල්ලක් දී ගෘහ සන්ධිය සමීපයෙහි සිටුවූහ. සොරු වනාහි බඩු ගෙන පලා ගියහ. යථොක්ත මූඪ සිටුපුත් පිටතින් කිසිවකුගේ ඊම ම බලා එහි සිටි යේ, කලබල ව ඒ මේ අත දුවන ගෘහ ස්වාමීනට හසු විය. ඔහු සිටු පුතුට දඬු මුගුරින් බැට දී, ගෙන ගොස් රජුට දැක් වූහ. රජු නඩු අසා ඔහු වධයට පමුණුවන ලෙස නගර ගුප්තික ඇමැතියාට අණ කෙළේ ය.

පිටිතල හයා බැඳ වද බෙර ගසමින් වධ භූමියට පමුණුවනු ලබන ඒ පුරුෂ තෙම සිය පායේ ජනෙල් කවුළුවෙන් නුවර දිසාව බලන සුලසා නම් නගර ශෝභිනියක විසින් දක්නා ලද්දේ ය. ඕ පෙර ඔහු හා පුරුදු වාසය ඇත්තී ඔහු හැඳින “අහෝ මෙ තෙම මෙ වැනි අනතුරකට පැමිණියේ යැ” යි අනුකම්පා උපදවා අග්ගලා සතරකුත් පැනුත් මෙහෙකරුවකු අත ඔහුට යවා, මොහුට මේ අග්ගලා කා පැන් බොන තුරු ස්වාමීහු පොරොත්තු වෙත් වා” යි කියා නගර ගුත්තිකයාට ද දන්වා යැව්වා ය.

මේ අතුරෙහි මුගලන් තෙරණුවෝ දිවැසින් ලොව බලනුවෝ වධයට නියත වූ කළ පිනක් නැත්තෙන් මරණින් මතු අපාය ගත වන ඔහු දැක, කරුණායෙන් මෙහයුණ සිතැත්තෝ, “මොහුගෙන් දන් ලබා අන්තිම මොහොතේ සැනසිල්ලක් ඇති කොට සුගතිගාමී කරන්නෙමි” යි සිතා එහි වැඩියාහ.

ඒ පුරුෂ තෙම තමා වෙත පැමිණි මුගලන් තෙරුන් දැක පැහැදී “දැන් මරණයට නියත මට මේ අග්ගලායෙන් කවර වැඩෙක් ද? මෙයින් තෙරුන් පුදමි. ඒ පින පරලොව යන මට මඟ වියදම් වන්නේ යැ” යි සිතීය. එ සේ සිතා එයින් තෙරුන් පිදීය. තෙරණුවෝ ඔහු සිතේ පැහැදීම වඩනු පිණිස ඔහුට පෙනෙන තැනෙක හිඳ එය වැළඳූහ.

සිටු පුත් නො බෝ වේලායෙකින් වධකස්ථානයට පමුණුවන ලද්දේ හිස සිඳ මරන ලද්දේ ය. මළ හෙ තෙම එක් පර්වත ප්‍රදේශයක මහ නුග රුකෙක රුක් දෙවියෙක් ව උපන්නේ ය.

දිනෙක යටැකී සුලසා තොමෝ උයනට ගියා ඒ රුක් දෙවියා විසින් දක්නා ලද්දී ය. රුක් දෙවි ඇය පිළිබඳ සිතැතිව අඳුරක් මවා ඇය සිය විමනට ගෙන ගියේ ය. ඇයට සිය තොරතුරු ද කී ය.

සුලසාව ගේ මව ඇය නො දැක හඬමින් සොයා ඇවිදින්නී, “මුගලන් තෙරණුවෝ සෘද්‍ධිමතෙක, ඇය ගතිය දනිතැ” යි මහ ජනයා විසින් කියන ලද වචනය අසා, තෙරුන් කරා ගොස් විචාළා ය.

“අදට සත් වන දා වේළුවනාරාමයේ බණ පිරිස් කෙළවරැ දී ඇය දැක්ක හැකියැ”යි තෙරණුවෝ වදාළහ.

සුලසාවෝ සතියක් රුක් දෙවියා හා සැපැත් විඳ, තමා නැති බැවින් මව ශෝක කරතැ යි සිතා, ඒ බව කියා තමා සිය නිවසට පමුණුවා ලන සේ ඔහු ඇයැදුවා ය. දෙව් තෙම ඇය ගෙන ගොස් වේළුවනාරාමයෙහි බණ අසන පිරිස් කෙළවරැ නවතා නො පෙනී සිටියේ ය.

බොහෝ දෙනා සුලසාව දැක ඇය ගිය තන් විචාළහ. ඕ ද සිදු වූ පවත් කීහ. “පින් නො කොට පව් කළ ඒ පුරුෂයා අන්තිම මොහොතෙහි මුගලන් තෙරුනට දන් දී පැහැදී දෙවියෙක් ව උපන්නේ යැ” යි ඇය කී බස් අසා “රහත් හු ලෝ වැස්සට උතුම් පින් කෙත් යැ”යි කියමින් මිනිස්සු ප්‍රසාදය පළකළහ.

භික්ෂූහු එහි ධර්මදේශනා පිණිස වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. එ විටැ මෙය මුල් කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්,

“රහත්හු මොනවට සකස් කළ කෙත් වැනියහ. (ප්‍රත්‍යය දෙන) දායකයෝ ගොවීන් වැන්නහ, දාන වස්තුව බිජුවට වැන්න. මේ (ප්‍රතිග්‍රාහක, දේය ධර්ම, දායක යන) අංගත්‍රය සම්පූර්ණ වීමෙන් මහත් සුඛ විපාක උපදියි (හෙවත් සැප දෙමින් විපාක ශක්තිය දීර්ඝ කාලයක් පවතී.)

මෙ සේ කියන ලද පරිදි වූ පුණ්‍ය බීජය ද, පින් බිජු වට වැපිරීම ද. පින් කෙත ද යන මේ කරුණු ති දෙන ප්‍රේතයනට ද දායකයාට ද වැඩ පිණිස පවතී. ඒ දානමය පුණ්‍ය කර්මයේ විපාක ඵලය ප්‍රේතයෝ පරිභෝග කෙරෙත්. දායක තෙමේ ද ඒ පින්කම් හේතුයෙන් වැඩීමට පැමිණේ. මෙහි කුසල් කොට ප්‍රේතයනට පින් දෙන පුද්ගල තෙම ඒ මහා කුසල කර්ම හේතුයෙන් සුගතිගාමී වේ” යැයි වදාළ සේක.

දේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය විය.