පුත්‍රයන් විසින් පිටමං කරන ලද අනාථ බමුණකුට පිහිට වීම

සැවැත් නුවර ධනවත් බමුණෙක් විය. ඔහු ගේ පුත්තු සතර දෙනෙකි. හේ වැඩි වයසට පත් ඔවුනට කුමරියන් ආවාහ කොට දී වස්තු යෙන් සාර ලක්ෂයක් ද දුන්නේ ය. කල් යෑමේ දී බැමිණි කලුරිය කළා ය. ඉන් පසු බමුණා ගේ පුත්තු සිවුදෙන “පිය බමුණා අන් බිරියක ගෙන්වා දෝ”යි සැක කොට එයට පළමු ඔහු රවටා ඉතිරි ධනය ද තමන් අතට ගන්නා අදහසින් හැම පරිද්දෙන් ඔහුට උපස්ථාන කරන්නෝ ය. දිනක් බමුණා දවල් නින්දෙන් නැඟී සිටි කල ඔහු සිවු දෙන ඔහු ගේ අත් පා මිරිකන්නෝ, එක එකා වෙන වෙන ම ගිහි ගෙයි වීසීමේ දොස් දක්වමින් “මෙ පරිද්දෙන් ම දිවි ඇති තෙක් අපි ඔබට උපස්ථාන කරම් හ. ඉතිරි වස්තුවක් දුන මැනැවැ”යි කීහ. බමුණා ද එක එකාට ලක්ෂය බැගින් ඉතිරි ධනය ද සිවු දෙනාට බෙදා දුන්නේ ය. ටික දිනකින් කියා ලූ පරිදිම වැඩි මහළු පුත් ඔහුට උපස්ථාන කෙළේ ය. කිහිප දිනකට පසු දවසෙක නාගෙන ගෙට එන බමුණාට වැඩි මාළු පුතු ගේ භාර්‍ය්‍යාව කථා කොට “වැඩි මාළු පුතාට සීයක් හෝ දාහක් වැඩි පුර දුන්නෙහි ද? කාටත් වස්තුව බෙදා දුන්නේ සරි සරියේ නො වේ ද? ඇයි ද? සෙසු පුතුන් ගේ ගෙවලට පාර දන්නේ නැද්ද?” යි ඇසුවා ය. එය ඇසූ බමුණා කුපිත වැ “වසලි” යැයි බැණ වැදී අන් පුතකු ගේ ගෙට ගියේ ය. එ තැනිනුත් ටික දිනක් උපස්ථාන ලත් පසු ඒ පුතු ගේ භාර්‍ය්‍යාව ද අන් පුතකු වෙත යන්නට කීයෙන් හේ කුපිත වැ පෙර සේ ම බැණ වැදී තෙවෙනි පුතු කරා ගියේ ය. මේ ක්‍රමයෙන් පුතුන් සතර දෙනාගේ ගෙවලින් ටික ටික උපස්ථාන ලැබ ඉන් නෙරපන ලද්දේ අන්තිමේ දී කිසි ගේකට නොගැනුණේ, සිඟා කමින් කල් ගෙවී ය. කල් යෑමෙන් ඉතා ජරාවට දුර්වල බවට පැමිණි හෙ තෙම මැලැවී ගිය සිරුර ඇත්තේ, දිනෙක සිඟා අවුත් පිළෙක වැද හෙව නිදා නැඟිට, තමාට වූ දෙය සිතා බලා, බුදුරජාණන් වහන්සේ වෙත ගියොත් පිහිටක් ලැබිය හැකියැ”යි සිතා, සිඟන භාජනයත් සැරමිටියත් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ පිළිසඳර කථා කොට සියලු පුවත් දැන්වූයේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “බ්‍රාහ්මණය, එසේ නම් මේ ගාථා ඉගෙන බොහෝ දෙනා රැස් වන තැන පුතුන් ද පැමිණ හුන් කලැ කියන්නැ” යි වදාරා ගාථා පසක් බමුණාට කට පාඩම් කැරැවූ සේක:

යෙහි ජාතෙහි නන්දිස්සං - යෙසං ච භවමිච්ඡිසං

තෙ මං දාරෙහි සම්පුච්ඡ - සා’ව වාරෙන්ති සූකරං

අසන්තා කිර මං ජම්මා - තාත තාතාති භාසරෙ

රක්ඛසා පුත්තරූපෙන - පජභන්ති වයොගතං

අස්සො’ව ජින්නො නිබ්භොගො - ඛාදනා අපනීයති

බාලකානං පිතා ථෙරො - පරාගාරෙසු භික්ඛති

දණ්ඩොව කිර මෙ සෙය්‍යා - යං මෙ පුත්තා අනස්සවා

චණ්ඩම්පි ගොණං වාරෙති - අථො චණ්ඩම්පි කුක්කුරං

අන්ධකාරෙ පුරෙ හොති - ගම්භීරෙ ගාධමෙධති

දණ්ඩස්ස ආනුභාවෙන - ඛලිත්වා පතිතිට්ඨති”.

බමුණා ද මේ ගාථා ඉගෙන බ්‍රාහ්මණයන්ගේ රැස්වීමකට තම පුතුන් සැරසී අවුත් හුන් කල සභා මධ්‍යයට ගොස් අවසර ගෙන ඒ ගාථා ගැයී ය.

ගාථාවල තේරුම :-

උපන් යම් කෙනෙකුන් කරණ කොට සතුටු වීම් ද, ඒ යම් කෙනෙකුන් ගේ දියුණුව පැතීම් ද, එ මගේ පුත්‍රයෝ සිය බිරියන් හා සාකච්ඡා කොට ඌරකු වළක්වන (හඹවන) සුනඛයකු සේ මා වළක්වත් (හඹවත්).

ලාමක වූ අසත්පුරුෂ වූ දරු වෙසින් සිටි එ රාක්ෂයෝ මට පියාණෙනි පියාණෙනි” යි කීහ. එහෙත් ඔහු දැන් වයෝගත වූ මා අත්හරිති.

ජරායෙන් දැදුරු වූ පරිභෝගයට අයෝග්‍ය වූ අශ්වයා කෑමෙන් ඉවත් කරනු ලබන්නාක් මෙන් ඒ බාලයන් ගේ පිය වූ මහලු තෙම කෑමෙන් ඉවත් කරන ලදුව අන් ගෙවල්හි සිඟයි.

මගේ පුත්‍රයෝ යම් හෙයකින් මට යටත් පැවතුම් ඇත්තෝ නොවෙත් ද, එ හෙයින් ඔවුනට වඩා සැරයැටිය ම උතුම්. කුමක් හෙයින් ද? සැරයටිය චණ්ඩ ගවයා වළක්වයි. රෞද්‍ර වූ සුනඛයා ද වළක්වා ලයි.

අඳුරේ යන විට පෙරටු වෙයි. ගැඹුරු දියෙහි යෑමේ දී පිහිට ලබා දෙයි. (පැකිලී වැටෙන්නට යන විට) සැරයටියේ උපකාරයෙන් පිහිටා (නො වැටී) සිටී. එ හෙයිනි.

ඒ කාලයෙහි “පොහොසත් කම ඇති ව සිට සිය මවුන් පියන් නො රක්නහු නැසිය යුතු ය” යි පණතෙක් විය. එ හෙයින් ගාථා ඇසූ බ්‍රාහ්මණ පුත්‍රයෝ සිවු දෙන බියපත් ව පියා ගේ පා මුලැ වැටී “පියේ, අපට ජීවිතය දුන මැනැවැ” යි යාච්ඤා කළහ. බමුණු ද මෘදු වූ සිත් ඇති වැ “මගේ පුතුන් නො නසවු. ඔහු මා රක්නහ” යි කීය. එහි සිටියෝ ද “මින් පසු පියාට උවටන් නො කළොත් තොප වනසන්නමු” යි කියා ඔවුන් බිය ගැන්වූහු. ඔහු ද බිය ව පියා පුටුවෙක හිඳුවා තුමූ ම ඔසොවා ගෙන ගොස් බොහෝ සත්කාර කොට සිය බැමිණියනට ද ඔහුට මනා සේ සත්කාර කරන ලෙස අණ කළහ. මනා ආහාරපානාදියෙන් සංග්‍රහ ලබන බමුණා කීප දිනකින් ම සුවපත් වූයේ, හටගත් කාය බල හා පිනා ගිය ඉඳුරන් ඇත්තේ, “මේ සැපත මට ලැබුණේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ උපකාරයෙන් ය” යි සලකා දිනෙක ත්‍යාග පිණිස වස්ත්‍ර යුගලක් ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් සුව දුක් කථා කොට පසෙක හිඳ, වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේ ගේ පා මුල තබා, “ගුරු පඬුරු වශයෙන් මෙය පිළිගත මැනැවැ” යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහු කෙරේ කරුණායෙන් එය පිළිගත් සේක. පිළිගෙන ඔහුට දම් දෙසූ සේක. දේශනාවසානයෙහි බමුණු තෙම උපාසක භාවයෙහි පිහිටා, ගෞතමයන් වහන්ස, මගේ පුතුන් සිවු දෙනා ගෙන් මට නිති බත් සතරෙක් ලැබේ. ඉන් දෙකක් ඔබට දෙන්නෙමි” යි කීය. බුදුරජාණන් වහන්සේත්: “හොඳයි බමුණ, අදහස් කරන තැනකට එන්නමෝ වේ දැ” යි වදාළ සේක. බමුණා ගෙට ගොස් පුතුන් අමතා දරුවනි, “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ යහළුවෝ ය. උන් වහන්සේට මම නිති බත් දෙකක් දුනිමි. තෙපිත් උන් වහන්සේ තො පගේ ගෙවලට වැඩි කල පමා නො වවු”යැයි කීය. ඔහුද මැනැවැ යි පිළිගත්හ.

භාග්‍යවතුන් වහන්සේ පසු දා පිඬු පිණිස වඩනා සේක් බමුණා ගේ වැඩි මාළු පුතු ගේ ගෙදොරට වැඩි සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දැක වහා ගොස් පාත්‍රය ගෙන, ගෙට වැඩම කරවා අගනා අස්නෙක වඩා හිඳුවා, ප්‍රණීත භෝජනයෙන් සත්කාර කෙළේ ය. බුදුරජාණන් වහන්සේ දෙවෙනි දවස් දෙවෙනි පුතු ගේ ගෙට දැ යි මෙසේ පිළිවෙළින් බමුණු පුතුන් සිවු දෙනාගේ ම ගෙවලට වැඩි සේක. ඔහු ද මනා සේ සත්කාර කළහ. දිනෙක වැඩි මාළු පුතු ගේ උත්සවයෙක් විය. “මංගල භෝජනය කාට දෙමු දැ” යි හෙ තෙමෙ පිය බමුණු විචාළේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ යහළුවෝ ය. උන් වහන්සේ මිස වෙන දිය යුතු කෙනකු නො දනිමි” යි බමුණු කීය. එ සේ නම් පන්සියයක් භික්ෂූන් සහිත ව ගෙට වඩින්නට නිමන්ත්‍රණ කළ මැනැවැ යි කීයෙන් බමුණා ද එසේ කළේ ය. දෙවෙනි දා ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයා සහිත වැ වැඩි සේක. වැඩි මාළු බමුණු පුත් තෙම මොනොවට සරසා ලූ ගෙහි උන් වහන්සේ වඩා හිඳුවා දිය නො මුසු මිහිරි කිරි බතින් හා ප්‍රණීත ඛාද්‍යයෙන් සංග්‍රහ කෙළේ ය. වළඳන අතර බමුණු පුතු සතර දෙනා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ හිඳ, “ගෞතමයන් වහන්ස, අපි අපේ පියා පෝෂිත කරම්හ. එහි පමාවෙක් නැත. අප පියා ගේ පෙර සැටිත් දැන් සැටිත් බලා වදාළ මැනැවැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ ද “ඒ යහපත, මාපිය උවටන නම් පෙර නුවණැත්තන් පුරුදු කළ උතුම් ගුණ ධර්මයෙක් මැ” යැ යි වදාරා, මාතු පෝසක නාගරාජ ජාතකය විස්තර කොට දම් දෙසූ සේක. ඉන් පසු චතුස්සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දේශනාවසානයේ බමුණා ද, ඔහුගේ පුත්තු සතර දෙන ද, ඔවුන් ගේ භාර්යාවෝ සිවු දෙන ද යන නව දෙන ම සෝවාන් වූහු.