රජ්ජුමාලා

star_outline

උරුවෙල් දනව්වේ ගයා නුවර බමුණු ගෙයක දාසියක් වීය. ඒ ගෙයි බමුණා ගේ ලේලියට ඒ දාසිය නොරුස්සන්නී ය. දාසිය පෙනෙන විට ඇයට දැඩි කෝප ඇති වේ. ඇතැම් විට ඕ කිසි ම වරදක් නැතිව, කොංඩයෙන් අල්ලා ගෙන ඇයට තළයි. නිතර ම පාහේ කැරෙන මේ අතෝරය ඉවසිය නො හී දවසෙක ඒ දාසී අම්බැට්ටයකු ලවා තම දික් කෙස් වැටිය සිඳුවා හිස බාවා ගත්තාය. ස්වාමිනී ඇය හිස මුඩු කරවා ගත්තිය දැක කලටත් වඩා කිපී ඇය බෙල්ලෙහි ලනුවක් බැඳ එයින් අල්ලා ගෙන තැළුවා ය. බෙල්ලෙහි මාලාවක් සේ නිතර එල්ලෙන ලනු පට ඇති බැවින් එ තැන් සිට ඕ රජ්ජුමාලා නම් වූවා ය. දවසෙක ඕ ස්වාමිනිය ගේ තැළුම් පෙළුම් ඉවසිය නො හී වතුර ගෙනෙන්නට යන්නියක සේ කළය ගෙන නික්මුණා ය. වන ලැහැබකට ගොස්, “අනේ මෙහෙ ම ජීවත් වීමෙන් මට මොන ප්‍රයෝජනයක්ද? මෙ තැනම දිවි නසා ගන්නෙමි” යි සිතුවා ය. ඉක්බිති ලනුවක් ගහක බැඳ මල පුඩුවක් ද සාදා බෙල්ලෙහි වැල ලා ගන්නට සැරැසෙන්නී, ළඟ කිසිවෙක් ඇද්දෝ යි හාත්පස බැලුවා ය.

එ දා පාන්දොර නුවණින් ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඇය එල්ලී මැරෙන්නට සැරසෙනු දැක, කලින් ම එහි වැඩ ගසක් මුලැ හුන් සේක. වට පිට බැලූ රජ්ජුමාලා රන් පැහැති සිරුරින් බබළමින් ගසක් මුල ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දෙස බලා ගත් වණ ම සිටින්නී සිය ඇස උන් වහන්සේ වෙතින් ඉවතට ගත නො හැකි වූවා ය. මහා කාරුණිකයන් වහන්සේ ඇයට කතා කොට, “දුවේ රජ්ජුමාලා, එල්ලී මැරෙන්න එපා! දුවේ මා වෙත එන්න.” කියා අඬ ගසා වදාළ සේක. එය ඇසුණු කෙණෙහි ම ඇගේ සියලු දුක් අමතක විය. අමා දහරින් නෑවුණු කලෙක සෙයින් ඇය සිත මහත් සැනැසුම් ඇති විය. ඕ මහත් ම භක්ති ප්‍රේමයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පා පියුම් වැඳ පැත්තකට වී හුන්නාය. භාග්‍යවතුන් වහන්සේ ඇයට ධර්මාවවාද කළ සේක. නිවී ගිය සිතැති ඕ ඒ දහම් අසා සත්‍යාවබෝධය කළාය. සෝවාන් පෙලෙහි පිහිටියා ය. දිවි යතත් සතකු නො පෙළන, තම දිවි නසන සතුරනට ද මෙත් වඩන දයායෙන් පිරි ආර්‍ය්‍යාවක් වූවා ය.

ඉක්බිති ඕ භාග්‍යවතුන් වහන්සේ වැඳ සමු ගෙන, “මගේ ස්වාමිනිය මට ගැසුවත් මැරුවත් කමෙක් නැත. මගේ දුවකට මෙන් ඇයට මෙත් වඩමි” යි ඉටා ගෙන, කළයෙන් පැනුත් ගෙන, “සියලු සත්හු සුවපත් වෙත්වා”යි මෙත් වඩමින් ගේ අතට ගියා ය. ගෙහි ප්‍රධාන බමුණා මෛත්‍රීන් බබළන මුහුණැති ඇය දැක, ඇගේ මෙත් බලයෙන් වසඟ වූයේ, “දුව, වතුර ගෙනෙන්නට ගොස් මෙතෙක් වේලා ගත කෙළේ හැයි ද? අද තිගේ මුහුණ ඉතා ම බබළයි. අද වෙනදා සේ නොව ආදරයෙන් ගෙයි කටයුතු කරනු පෙනෙයි. මෙසේ වන්නට කරුණු කිම් දැ?” යි ඇසී ය. එවිට රජ්ජුමාලා කියන්නී, “අද මම් ලොවෙහි එක ම පියාණන් වහසේ වූ බුදු රජුන් සරණ ගියෙමි. තුනුරුවනට දිවි පිදීමි. එ බැවින් ස්වාමිනිය මා මරතත් මෛත්‍රිය ම වඩමි. මගෙන් මෙයින් පෙර සිදු වූ වරදට කමා වුව මැනැවැ” යි කීවා ය. එයැසූ බමුණා “අපේ බුදුරජාණෝ මහෝත්තම කෙනෙක. රජ්ජුමාලා හොඳ තැනැත්තියක් වූවා” යි සිතා තම ලේලිය වෙත ගොස් “දුවේ, අදින් පස්සේ මගේ රජ්ජුමාලාට මොන ම පීඩාවක් වත් නො කරන්නැ”යි අවවාද කෙළේ ය.

ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස්, උන් වහන්සේ වැඩම කරවාගෙන අවුත් මහත් භක්තියෙන් දන් වැළැඳැවූහ. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව අසා නුවර වැසියෝ එහි රැස් වූහ. රජ්ජුමාලාවට පීඩා කළ තරුණි ද අවුත් වැඳ පසෙක උන්නී ය. භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනා ගේ සිත් නිවමින් දම් දෙසූ සේක. තරුණ බැමිණිය ගේ සිත මොළොක් විය. ඕ තෙරුවන් කෙරේ මහත් සේ පැහැදුනා ය. හැම සතුන් කෙරේ මෙත් කුළුණු වඩන්නියක් වූවා ය. “මෙයින් පසු රජ්ජුමාලා මා මැරුවත් ඇයට සිතින් වත් අවැඩක් නො සිතමි” යි ඉටා ගත්තීය. මහළු බමුණා ඉතා සතුටුවැ, “රජ්ජුමාලා, අද සිට තෝ මගේ දාසියක් නො වෙයි. අද සිට තෝ මගේ දුවෙකැ” යි කියා ඇය දූ තන්හි තැබී ය. තරුණ බැමිණි ද රජ්ජුමාලාවට එක් කුස උපන් සොහොයුරියකට මෙන් ආදරයෙන් සැලැකුවා ය.