ඡත්තපාණී උපාසකතුමා

සැවැත් නුවර ත්‍රිපිටකධාරී ඡත්‍රපාණී නම් අනාගාමී උපාසකයෙක් වීය. හෙ තෙම දිනෙක ඉතා උදය ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ බණ අසමින් උන්නේ ය. ටික වේලාවෙකින් ප්‍රසෙනජිත් කෝශල රජ තුමා ද භාග්‍යවතුන් වහන්සේ දැකීමට ආයේ ය. එන්නාවූ රජු දැක නැඟිටි ය යුතු ද නැද්දැයි සිතා බැලූ උපාසක තෙම “අග්‍ර රාජ වූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හිඳ, මේ ප්‍රදේශ රජකු දැක නැඟිටීම යුතු නැත. රජු තරහ විය හැක්ක, එහෙත් නො නැඟිටිමි” යි ඉටා නො නැඟිට ම උන්නේ ය. රජු ඔහු නො නැඟිට හුන්නාහු දැක කිපී කිසිත් නොකියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳ ගත්තේ ය. රජු උපාසකතුමා කෙරේ කිපුණු බව දත් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තතු වදාරන සේක්, මහරජ මේ ඡත්ත්‍රපාණී උපාසක තෙම පණ්ඩිතය, සත්‍යවබෝධය කළ කෙනෙක, ත්‍රිපිටකධර ය, වැඩ අවැඩ දැනීමෙහි සමර්ථ නුවණැත්තෙකැ” යි වදාළ සේක. එය ඇසූ රජු ගේ සිත මෘදු වූයේ ය.[1]

නැවත දිනෙක රජ සිය පහයේ මතු මහල් තෙලෙහි සිට නුවර දෙස බලන්නේ දිවා භෝජනයෙන් පසු කුඩයක් ගෙන පා වහන් ලා රජ ගෙයි මිදුලින් යන ඡත්ත්‍රපාණී උපාසකයා දැක කැඳවීය. හේ ද කුඩය හා පා වහන් ඉවත් කොට රජු වෙත ගොස් වැඳ පසෙක සිටියේ ය.

ඉක්බිති පහත සඳහන් පරිදි ඒ දෙදෙනා ගේ සල්ලාපයෙක් වී ය.

රජ - ඇයි, ඉසැ ලාගෙන ආ කුඩයත් පා වහනුත් ඉවත් කෙළේ.

උපාසක - ඔබ වහන්සේ මා කැඳවා යැවූ බව අසා.

රජ - අප රජ බව දැන ගත්තේ අද ද?

උපාසක - නැහැ දේවයන් වහන්ස, අපි කවදත් ඒ බව දනිමු.

රජ - එහෙනම් එදා ශාස්තෘන් වහන්සේ සමීපයේ දී අප දැක නො නැගිටේ?

උපාසක - දේවයිනි, ලෝකාග්‍ර මහරජාණන් වහන්සේ ළඟ හිඳ ඔබ වැනි ප්‍රදේශ රජකු දැක නැගිට්ටෙම් නම් එය උන් වහන්සේ ට ගෞරව කිරීමක් නොවේ. එබැවින් නො නැගිට්ටෙමි.

රජ - එසේ වේවා! ඔබ පණ්ඩිත ධර්මධර උගත් කෙනෙකු බව අසා ඇත්තෙමි. එ බැවින් අපේ අන්තඃපුරයේ ස්ත්‍රීනට බණ උගන්වන්නට ඔබට හැකි ද?

උපාසක - බැහැ ස්වාමිනී.

රජ - ඇයි බැරි?

උපාසක - රජ ගෙවල කටයුතු බැරෑරුම් ය. ඒවායේ හැසිර පුරුද්දකුත් අපට නැත. එ හෙයින් බැහැ මේ අමුතු නො පුරුදු කටයුත්තක් කරන්නට.

රජ - එසේ නො කියන්න. එ දා මා දැක නැඟී නො සිටියාට මගේ අමනාපයක් ඇතැ යි සැක නොකරන්න.

උපාසක - දේවයන් වහන්ස, ගිහින් වසන තෙන බොහෝ සම්බාධ සහිත ය. එක් ප්‍රව්‍රජිතයන් වහන්සේ නමක් කැඳවා ලා ම බණ කියැවීම වඩා මැනැවි.

රජ - හොඳා, ඔබ එහෙනම් යන්න.

ඉක්බිති, රජ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් පන්සීයක් භික්ෂූන් කැටිව රජ ගෙට වැඩ බණ උගන්වන්නට භාග්‍යවතුන් වහන්සේට ආයාචන කෙළේ ය.

“මහරජ. නිතර එක් තැනට ම එළැඹීම බුදුවරයන්ගේ සිරිත නො වේ. බොහෝ දෙනාට වැඩ සිදු කරන්නට ඇති හෙයිනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ නම් එය එක් භික්ෂූන් වහන්සේ නමකට බාර කළ මැනැව”යි රජ කී ය.

  1. මේ පරිච්ඡේදයෙහි සඳහන් ප්‍රවෘත්තීන්ගේ කාල නියමයක් වෙන් වශයෙන් පෙන්විය නො හැකියි.