උපාලි දමනය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් වැස වස් පවාරණයෙන් පසු මහ සඟන පිරිවරා සැරිසරන සේක්, රජගහ පුරයට වැඩ එහි වේළුවන යෙහි වුසුම් ගත් සේක. මේ බුද්‍ධත්වයෙන් සත්තිස් වන වස පමණේ දී ය. මෙ සමයෙහි කිසි දවසෙක වේළුවනයෙන් නික්ම එයට යොදුනක්[1] පමණ දුරැ වූ නාලන්දා නුවරට වැඩ එහි පාවාරික සිටුහුගේ අඹවනයෙහි වූ වෙහෙරට වැඩි සේක. එහි ටික දිනක් වුසුම් ගත් සේක.

මෙ සමයෙහි නාත පුත්ත නිගණ්ඨ තෙම මහත් සවු පිරිසක් සමග නාලන්දා නුවරැ සිය අසපුයෙහි වෙසෙයි. ඔහුගේ දීඝ තපස්සී නම් අග සවු නිගණ්ඨ තෙම දවසෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ආයේ ය. භාග්‍යවතුන් වහන්සේ හා සතුටු සාමීචි කොට පසෙක ඉඳ ගත්තේ ය. එයට පසු භාග්‍යවතුන් වහන්සේත් දීඝතපස්සිහුත් අතර මෙසේ කථාවෙක් විය.

භාග්‍යවතුන් වහන්සේ - තපස්නි, පාපක්‍රියායෙහි පාපකර්මයන් ගේ පැවැත්මෙහි ලා කර්ම කීයක් පණවත් ද?

දීඝතපස්සී - ආයුෂ්මත් ගෞතමයනි, කර්මයැ යි කර්මයැ යි පැණැවීම නාත පුත්ත නිගණ්ඨයාණනට නො හුරු ය. ඔහු පණවනුයේ “දණ්ඩය, දණ්ඩ යැ”යි කීයේ යැ.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, පව් කිරීමෙහි ලා නාත පුත්ත නිගණ්ඨයෝ දණ්ඩ කීයක් පණවත් ද?

දීඝ. - ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ, වචී දණ්ඩ, මනො දණ්ඩ යැයි පව් කිරීමෙහි ලා දණ්ඩ තුනක් ම නාතපුත්ත නිගණ්ඨයෝ පණවත්.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, කාය දණ්ඩ, වචී දණ්ඩ, මනො දණ්ඩ යනු වෙන් වෙන් තුනෙක් ම ද?

දීඝ. - එසේ ය, ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩ ය එකෙක, වචී දණ්ඩ ය අන් එකෙක, මනො දණ්ඩය ඒ දෙකින්ම අන්‍ය වූ එකෙක.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, මේ දණ්ඩ තුනින් කවර එකෙක් මහත් ම සාවද්‍ය යැ යි ඔහු පණවත් ද?

දීඝ.- ආයුෂ්මත් ගෞතමයනි, මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නම් කිරීමෙහි ලා මහත් ම සාවද්‍ය එක යැ යි නාතපුත්ත නිගණ්ඨයෝ පණවත්. අනිත් දණ්ඩ දෙක මෙය තරම් බලවත් නො වෙයි කියත්.

භාග්‍යවතුන් වහන්සේ - දීඝ තපස්සීනි, කාය දණ්ඩය අන් දෙකට ම වඩා මහා සාවද්‍ය යැ යි ඔහු කියත් ද?

දීඝ.- එසේ ය, ආයුෂ්මත් ගෞතමයනි, කාය දණ්ඩය ම එ තුනින් අතිශය සාවද්‍ය යැ යි නාතපුත්ත නිගණ්ඨයාණෝ පණවත්.

භාග්‍යවතුන් වහන්සේ - කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් ද?

දීඝ.- එසේ ය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියති.

භාග්‍යවතුන් වහන්සේ- කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් ද?

දීඝ. - එසේ ය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැ යි කියත් යැ යි කියමි.

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැයි කියත් ද?

දීඝ. - එසේය, කාය දණ්ඩය ම අතිශය සාවද්‍ය යැයි, ඔහු කියත්”යි කියමි. ආයුෂ්මත් ගෞතමයනි, පව් කිරීමෙහි ලා ඔබ දණ්ඩ කීයක් කියත් ද?

භාග්‍යවතුන් වහන්සේ - තපස්සීනි, දණ්ඩ යැ යි තථාගතවරු නො කියත්. කර්මය කර්ම යැ යි ම කියත්. පව් කිරීමෙහි ලා කායකම්ම වචී කම්ම මනෝ කම්ම යැ යි කර්ම තුනක් ම මම් කියමි.

දීඝ. - ආයුෂ්මත් ගෞතමයනි, කිම? කාය කම්මය අන් එකෙක් ම වචී කම්ම ය අන් ම එකෙක් ද? මනො කම්මය ඒ දෙකින් ම අනෙකෙක් ද?

භාග්‍යවතුන් වහන්සේ - එසේ ය ඒ තුන ම වෙන් වෙන් කර්ම යැ යි කියමි.

දීඝ. - ආයුෂ්මත් ගෞතමයිනි, මේ තුනින් කවරෙක් අතිශයෙන් ම සාවද්‍ය ද?

භාග්‍යවතුන් වහන්සේ - මනෝ කම්ම ය අතිශයයෙන් ම සාවද්‍ය ය.

(දීඝ තපස්සී තුන් වරක් ම මේ ප්‍රශ්නය ඇසී ය. තුන් වර ම භාග්‍යවතුන් වහන්සේ මේ උඩ සඳහන් පරිදිම උත්තර දුන් සේක.)

මේ සාකච්ඡායෙන් පසු දීඝ තපස්සී ස්වකීය ශාස්තෘවරයා වෙත ගියේ ය. මේ වේලෙහි නාතපුත්ත නිගණ්ඨ තෙම මහත් නිගණ්ඨ පිරිසක් පිරිවරා ගෙන හුන්නේ ය. ඔවුන් ගේ දෙටු ගිහි සවු වූ උපාලි ගෘහපති ද මහත් ගිහි සවු පිරිසක් පිරිවරා එහි ආයේ ය. අවුත් වැඳ පසෙක හුන්නේ ය.

නාත පුත්ත තෙම එහි පැමිණි දීඝ තපස්සීන් දැක කොහි ගොස් ආවු දැ” යි පුළුවුත. “ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් ආමි” යි හේ කී ය. “කිසි කතා බහක් වී දැ?” යි නාත පුත්ත ඇසී. දීඝ තපස්සීහු භාග්‍යවතුන් වහන්සේත් තමාත් අතර පැවැති මුළු කථාව ම පැවැසූහ. එය ඇසූ නාතපුත්තයෝ සාධුකාර දී “තොප ශ්‍රමණ ගෞතමයන් හට පිළිතුරු දුන් නියාව සරි ය. ශාස්තෘ ශාසනය දත්තෝ තෙපි ය, ලාමක වූ (සුළු වූ) මනෝ දණ්ඩය මහත් වූ කාය දණ්ඩය හා සම නො වෙයි. පව් කිරීමෙහි ලා කාය දණ්ඩ ය ම මහා සාවද්‍ය ය, වචී දණ්ඩ මනෝදණ්ඩ දෙක මහා සාවද්‍ය නො වෙ” යි කීහ. මෙය අසා හුන් උපාලි ගෘහපති නාතපුත්තයන් අමතා, “වහන්ස, මම මේ කාරණයෙහි ශ්‍රමණ ගෞතමයන් හා වාද කරන්නට යෙමි.” ශක්තිමත් එකකු දික් ලොම් ඇති එළුවකු, ඒ මේ අතට ඇද හල හපන්නා සේ ම ශ්‍රමණ ගෞතමයන් වෙහෙසවමි” යනාදීන් වහසි බස් කියා භාග්‍යවතුන් වහන්සේ හා වාද කරන්නට යනු කැමත්ත පැවැසී ය.

එයැසූ නාතපුත්ත තෙම “ගෘහපතිය මෙහි ලා ශ්‍රමණ ගෞතමයන් හා වාද කරනුවට මම් ද දීඝ තපස්සී ද නිස්සම්හ, තෝ ද නිස්සෙහි ය. ගොස් වාදාරෝපණය කරව”යි කීය. එවිට දීඝතපස්සී තෙම “වහන්ස, උපාලිහු ශ්‍රමණ ගෞතමයන් හා වාදාරෝපණයට යනු මට නො රිස්සෙයි. ශ්‍රමණ ගෞතමයෝ මහා මායාවී කෙනෙක, අනුන්ගේ සව්වන් තමන් අතට ඇදැගන්නා මහා වශීකරණ විද්‍යාවක් (ආවට්ටනී මායාවක්) දන්නාහ. ඔහු යනු සුදුසු නො වෙ”යි කීය.

එබස් ඇසූ නාතපුත්ත නිගණ්ඨයෝ “තපස්සී ය, උපාලි ගැහැවි ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවක වෙයි යන්න සිදු විය නොහැක්ක, වැලි ශ්‍රමණ ගෞතමයෝ උපාලිහු ගේ ශ්‍රාවක වෙති යන්න වියැ හැක්ක, ගැහැවිය තෝ යව” යි කීහ.

තුන් වරක් ම දීඝ තපස්සී තෙම උපාලිහු නො යැවිය යුතු යැ යි කරුණු කී ය. ඔහු බස නො තකා නාතපුත්තයෝ උපාලි ගැහැවියාට යන්නට අවසර දුන්හ. උපාලි තෙම නාතපුත්තයන් වැඳ පැදකුණු කොට පාවාරික අඹවන වෙහෙර බලා නික්මිණ.

උපාලි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹැ වැඳ පසෙක හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ හා සාකච්ඡාව ඇරැඹී ය.

උපාලි - වහන්ස, දීඝ තපස්සීහු මෙහි ආවෝ ද?

භාග්‍යවතුන් වහන්සේ - එසේ ය, ගැහැවිය.

උපාලි - ඔවුන් හා ඔබ හා අතර සාකච්ඡාවෙක් වී ද? භාග්‍යවතුන් වහන්සේ තමන් හා දීඝ තපස්සීන් අතර පැවැති කථාව වදාළ සේක. එයැසූ උපාලි ගැහැවි සාධුකාර දී ස්වකීය ශාස්තෘහුගේ ශාසනය දන්නෝ නම් ඔහු ය. ලාමක වූ මනෝ දණ්ඩය මහත් වූ කාය දණ්ඩය හා සම නො වෙයි, පව් කිරීමේ දී කාය දණ්ඩය ම මහා සාවද්‍ය ය වචී දණ්ඩ මනො දණ්ඩ එසේ නොවෙයි” කී ය.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සත්‍යයෙහි පිහිටා කථා කරවු නම් මෙහි ලා තොප හා කථා කරමි.

උපාලි - වහන්ස, සත්‍යයෙහි පිහිටා සිටිමි වදාරන්නැ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවිය, සිහිල් දිය නො බොන, උණු දිය ම බොන නුවටෙක් දරුණු ලෙඩක් වැළැඳ උණු දියක් නො ලැබීමෙන් මළේ නම්,[2] හේ මරණින් මතු කොහි උපදී යැ යි නාතපුත්තයෝ කියද්ද?

උපාලි - වහන්ස, මනස්සත්ත්ව නම් දේව නිකායෙක් ඇත. ඒ වෙනුවට ඒ දෙවියන් අතුරැ උපදී, මනසෙහි බැඳී මළ බැවිනි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, ගැහැවියනි, සිහි එළවා කතා කරන්න. තෙපි කායදණ්ඩය මහත් යැ යි කිවූ හ. දැන් තොප දුන් පිළිතුරෙන් මනො දණඩය මහත් යැ යි පැවසෙයි.

උපාලි - එසේ වුව ද වහන්ස, කාය දණ්ඩය ම මහත් ය.[3]

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, කිසි නුවටෙක් ප්‍රාණවධ නො කරයි. නො කරවයි. එය සමාදන් ද නො කෙරෙයි, සොරකම් නො කරයි, නො කරවයි, සමාදන් ද නො කරයි, බොරු නො කියයි. නො කියවයි, එය සමාදන් ද නො කරයි, පස්කම් සුව නො විඳී, නො විඳුවයි, එය සමාදන් ද නො කෙරෙයි. යනුයේ එනුයේ බොහෝ කුඩා ප්‍රාණීන් අපත්මෙයි, එයින් උහු මැරෙත්. ඔහුට නාතපුත්තයෝ කවර නම් විපාකයෙක් ලැබේ යැ යි කියත් ද?

උපාලි - වහන්ස, වධ වේදනා නැති බැවින් එය මහා සාවද්‍ය යැයි නො කියත්.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, හේ ඒ දෑ කරන්නේ සිතා නම් චේතනාව ඇත්තේ නම්, නාතපුත්තගේ ඒ චේතනාව කවරක් හි කවර කොටසෙහි ඇතුළත් කොට කියත් ද?

උපාලි - වහන්ස. මනො දණ්ඩයෙහි ඇතුළත් කොට කියති.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිහි එළවා කියන්න, තොප පළමු කී දැය හා පසුව කී දෑ නො ගැළැපෙයි. පසුව කී දැය හා පළමු කී දෑ නො ගැළපෙයි.

උපාලි - භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළත් පාප ක්‍රියාහි කාය දණ්ඩය ම මහත් යැ, වචී දණ්ඩ මනෝ දණ්ඩ දෙක එසේ මහත් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, මේ නාලන්දාව සරුසාර නො වේ ද, බොහෝ ජනගහනය ඇතියේ නො වේ ද? කිසිවෙක් කඩුවක් ඔසොවා ගෙන මෙහි අවුත්, මම් ක්‍ෂණයෙන් මේ සියලු නාලන්දාව එක් ම මස් ගොඩක් කරමැ යි කියා නම් හේ තමා කියන පරිදි එය කළ හැකි වන්නේ ද?

උපාලි - වහන්ස, එකකු තබා දසයක් විස්සක් තිසක් සතලිසක් පණසක් මිනිස්සු ආ හු ද එය කළ නො හෙන්නාහ.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සෘද්‍ධිමත් චෙතොවශීප්‍රාප්ත මහණෙක් හෝ බමුණෙක් අවුත් කිපී මේ මුළු නාලන්දාව ම ක්‍ෂණයෙන් අළු කෙරෙමි යි කීවොත් එය කරනුවට හෝ සමත් වෙයි ද?

උපාලි - එසේ ය, වහන්ස, හේ සමත් වෙයි. එහෙත් කාය දණ්ඩය මැ මහත් ය.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, දණ්ඩකාරණය, තාලිංගාරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය යන මේවා ඇති වූ හැටි ඔබ අසා ඇද්ද?

උපාලි - එසේ ය, වහන්ස, අසා ඇත්තෙමි.

භාග්‍යවතුන් වහන්සේ - ඒවා කිමෙකින් එසේ වූහු ද?

උපාලි - වහන්ස, සෘෂීන් ගේ සිහි වූ දැහැවිල්ලෙන් යැ යි ඇසීමි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිහි එළවා කථා කරන්න, කාය දණ්ඩය මහතැ යි ඔබ මුලින් කී බස් හා දැන් මේ කියන කතාව නො ගැළපෙයි.

උපාලි - වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළ පළමු උපමායෙන් ම මම් පැහැදුනිමි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාරණ කථාව තව තවත් අසනු අටියෙන් ව්‍යාජ විරුද්ධත්වයක් පෑයෙමි. වහන්ස, සැඟවි යට පත් ව තුබුණු දැයක් මතු කොට දැක්වූවා සේ ධර්මයන් ගේ යථාතත්තවය හෙළි කොට වදාළා ඉතා මැනැවි. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ඔබගේ ධර්මය ද ශ්‍රාවක සංඝයා ද සරණ යෙමි. වහන්ස, අද සිට දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා පිළිගන්නා සේක් වා.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, සිතා බලා මෙවැනි දැය කළ මැනැව. ඔබ වැන්නන් මා දැක මා සරණ යන කලැ නැවැත නුවටු දැක ඔහු සරණ යන කලැ “මෙ තෙම දුටු දුටුවන් සරණ යෙ” යි මිනිස්සු කියති, ඔවුනට එසේ කියන්නට අවකාශ නො තබනු මැනැව. තොප වැනි ප්‍රසිද්‍ධ මිනිසුන් කිසිවක් පිළිගැන්මෙහි ඉක්මන් නො වියැ යුතු. බොහෝ දුරට සිතා බලා ම ක්‍රියා කරනු ය සුදුසු.

උපාලි - වහන්ස, ඔබ ගේ ඒ වචනයෙන් මම් වඩාත් සතුටු වෙමි. තීර්ථකයෝ වූ කලි සව්වකු ලද විට “අසෝ රජ, අසෝ ඇමැති, අසෝ සිටු, අප සරණ ගියේ යැ” යි ධ්වජ ඔසොවා හඬ නගා ඇවිදිති. තමන්ගේ මහත් බව ප්‍රකට කරනු පිණිස ය. මා ඔවුන් සවු වූ කල්හි ද එසේ කළහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ “ඉක්මන් නො වී සිතා පිරික්සා බලා මැ පිළිගන්නැ” යි වදාරන සේක. වහන්ස, දෙවන වරට ද මම් ඔබ සරණ යෙමි.

භාග්‍යවතුන් වහන්සේ - ගැහැවියනි, බොහෝ කලක් ඔබේ ගෙය නිගණ්ඨයනට සතර මං සන්ධියෙක ළිඳක් මෙන් විය. මත්තෙහි ද ඔවුන් ආ විට දන් දීම පෙර සේ ම කළ මැනැව, එය නොම නවත්තන්න.

උපාලි - වහන්ස, “මට ම දිය යුතු යැ යි අන්හට නොදිය යුතු යැ” යි මගේ සව්වනට ම දිය යුතුය, මට ම මගේ සව්වනට ම දුන් දෑ මහත් පල ය. අන්හට දුන් දෑ එසේ නො වේ යැ”යි ශ්‍රමණ ගෞතමයන් කියති” යි භාග්‍යවතුන් වහන්සේ ට දොස් කියනු මා අසා ඇත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයනට ද දන් දීමෙහි මා යොදන සේක. වහන්ස, මම් ඔබ ගේ මේ දෙසුම නිසා වඩාත් පැහැදුණෙමි, තෙවනු වරත් ඔබ ද ඔබ දහම ද ඔබ සව්මුළුවද සරණයෙමි.

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ දාන කථාදී ආනුපුබ්බි කථායෙන් දහම් දෙසූ සේක. එය අසා නීවරණයන් යට පත් වැ පිරිසිදු වූ සිතැති උපාලිහට සිවුසස් පැවැසූ සේක. එය අසා හේ නුවණ මුහු කුරවා සෝවාන් විය. එයට පසු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සිය මැදුර බලා ගියේ ය. පැවිදි පිරිසද ඔහුගෙන් ඉවත්වැ ගියහ.

මෙයතරැ (දීඝතපස්සී තෙම) “උපාලි ගැහැවි ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස්, කළ කී දෑ දැන ගෙන එමි” යි කියා නාතපුත්ත නිගණ්ඨයාණන් ගෙන් අවසර ගෙන උපාලිහුගේ මැදුර බලා ගියේ ය. හේ පෙර සේ ගෙය ඇතුළට යන්නට සැරැ සිණ. දොරොටු පල්ලා එය දැක, ඔහුට ගෙයැතුළ යන්නට නොදී “සිටින්න, වහන්ස, අප මහ සිටාණෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක විය. ඔබ බොජුන් කැමැත්තේ නම්, මෙහි ම සිටින්න. මම් ගෙට ගොස් බොජුන් ගෙනෙන්නෙමි” යි කීය. “මට බතින් කම් නැතැ” යි කියා හෝ පෙරළා නාතපුත්තයන් වෙත ගියේ, “උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන් ගේ සවු බවට ගියේ” යි සැළ කෙළේ ය.

නාතපුත්ත නිගණ්ඨයෝ ඔහු කී බස නො හදහා “මම මැ ගොස් දැන ගනිමි” යි කියා මහත් නිගණ්ඨ පිරිසක් පිරිවරා උපාලි ගෘහපතිහු ගේ මැදුර කරා ගියේ ය. දොරොටුපල් තෙම ඔවුන් ගෙට වැද්ද නො දී “මෙහි සිටින්න, අප මහ සිටාණෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රාවක බවට පැමිණියේ ය. ඇතුළට නොයන්න. බොජුන් කැමැති නම් මෙහි නවතින්න, බොජුන් මෙතැනට ගෙනෙති” කීය. “තෝ ගොස් මහ සිටුහට මා අවුත් ඔහු දක්නට මෙහි පොරොත්තු වැ සිටිනා බව කියව”යි නාතපුත්ත කීය. හේ ද ගොස් සිටුහට ඒ පවත් සැළ කෙළේ ය. “සතරවන දොරොටුයෙහි තමාට හිඳිනා ලෙසට අස්නක් පණවන්නැ යි සිටු නියෝග කෙළේ ය. හේ ද එය කොට, ගොස් නාතපුත්තයන් කැඳවීය. නාතපුත්තයෝ සවු පිරිස සමග සතර වන දොරොටුව වෙත ගියහ. උපාලි ගැහැවි උස් මැ අස්නෙහි හුන්නේ, එහි ආ නාතපුත්තයන් දැක, “ඉඳ ගනු කැමැත්තහු නම් තෙලැ අසුන්හි හිඳගන්නැ” යි කීය. එය ඇසූ නාතපුත්තයෝ “ඔබ ශ්‍රමණ ගෞතමයන් හා වාදයට ගොස් ඔවුන්ගේ ආවර්ථිනීමායාවට හසුව ආවාහු නොවෙද් දැ?” යි කී ය.

උපාලි තෙම, “වහන්ස, ඒ ආවර්ථිනී මායාව කල්‍යාණය. එය මා සෙනෙහැති සියලු නැදෑයනට, සියලු කැත් බමුණු ගැහැවි සුදුරු හැමට, සැම දෙව් මිනිස්නට භද්‍ර ය, බොහෝ කල් හිත සුව පිණිස පවතී. ඔබේ ශාසනය නෛර්යාණික නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ ගේ සස්න ම නෛර්යාණික ය යනාදීන් දීර්ඝ ලෙස කරුණු කියා බුදු සස්නැ අගය වැණී ය.

නාතපුත්තයෝ, “මහ සිටාණනි, රජු සහිත සියලු පර්ෂද් තොප අපගේ ශ්‍රාවක බව දනී, දැන් තෙපි කාගේ ශ්‍රාවක දැ?”යි දැනගනු කැමැත්තම්හ” යි කීහ. එ විට උපාලි සිටු නැගී සිට, උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන දිශාවට හැරී දොහොත් මුදුන් තබා, “ධීරස්ස විගත මොහස්ස” යනාදී ගාථා දසයෙකින් බුදුගුණ කියා. මම් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකිමි” යි කී ය.

සිටුහුගේ කථාව ඇසීමෙන් නාතපුත්තයෝ බලවත් ශෝකයට වැටුණහ. ඉතින් අපි නටුවම් හැ” යි කී ය. බලවත් ශෝකයෙන් හුණු වූ බැවින් ඔවුන්ගේ මුවින් පාත්‍රයක් පමණ ලේ වමන විය. සව්වෝ ඔවුන් හැදෙකින් පාවා නුවර ඔවුන් අසපුවට ගෙන ගියහ. හේ නොබෝ දිනෙකින් මළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පාවාරිකම්බවනයෙන් නික්ම වඩනාසේක්. මල්ල රටැ පාවා පුර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවනයට වැඩි සේක. එහි වෙහෙරෙහි වැඩ ඉන්නා සෙමෙහි පාවා නුවර මල්ල රජුන් ගෙන් ඔවුන් විසින් අළුත ම කැරැවුණ සන්ථාගාරයට වඩනට නිමැතුමක් ලද සේක. එහි වැඩ, රැස්වැ සිටි මල්ල රජුන් ප්‍රමුඛ මහ පිරිසට දහම් දෙසූ සේක. එදා සැන්දෑවෙහි ඔවුන් හැම නික්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහතෙරුන් බණවා, “සාරිපුත්තයෙනි, මේ භික්ෂු පිරිසට දහමක් දෙසන්න. මා පිට රිදෙයි,[4] මම් ටික වෙලාවක් වැද හෙමි” යි සැතැපුණු සේක.

පාවා නුවර දී නාතපුත්ත නිගණ්ඨයන් කලුරිය කළේ මෙ සමයෙහි ය. නාතපුත්තයන්ගේ මරණින් පසු ඔවුන් සව්වන් අතර ඔවුන් දෙසූ ධර්මවිනය පිළිබඳ ව විවිධ මත නැංගෙන් නිගණ්ඨ සව්වන් අතර කලහ විවාද ඇති විය.

සාරිපුත්ත තෙරණුවෝ නුවටන් අතරැ නංග ගැටුම් සඳහන් කොට සම්‍යක්සම්බුද්ධ නොවන්නකු ගේ අනෛර්යාණික වූ සස්නැ එසේ කලහ විවාද ඇති වනු ස්වභාව සිද්‍ධියෙකි. එහෙත් අප භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුධයන් වහන්සේ වදාළ ධර්මවිනයය නෛර්යාණිකය, එහි ඔබ හැම ඒක මතික විය යුතු ය. එය එකට සංගායන කටයුතු ය. එය බොහෝ දෙනාගේ හිත සුව පිණිස වන්නේ යැ යි වදාරා, එක් ධර්මය, ධර්ම දෙක, ධර්ම තුන යනාදී පිළි‍වෙලින් ගලපා බුද්‍ධ වචනය සැකෙවින් වදාළහ. භාග්‍යවතුන් වහන්සේ එය අසා “සාරිපුත්තයෙනි තොප මේ සංගීති පර්යාය දෙසූසේ මැනැවැ” යි එය අනුදත් සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කාලයෙහි ම ඔබ ඉදිරියේ ම කළ ධර්ම සංගායනාවක් වැන්නෙකි. මෙය දෙසන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයට අට වසකට පෙර නාතපුත්ත නිගණ්ඨයාණන් කලුරිය කළ අළුත ය.

  1. යොදුන (යෝජන) යනු වත්මන් වහරෙහි මයිල පහක් පමණ දුරකි. එක් කලෙක මයිල හතක් පමණ දුරට ද යෝජන (යොදුන) යැ යි ව්‍යවහාර වූ බව පැරැණි දුර මැනුම් විමැසීමේ දී පෙනේ. ඈත පුරාතනයෙහි විය ගහේ දිගට ද යෝජන යැ යි ව්‍යවහාරයක් පැවැති බව ද පෙනේ. රජගහ සිට නාලන්දාවට මයිල 5 ක් 6ක් පමණ දුර ය.

  2. ජලය ජීවිතේන්ද්‍රියය ඇති ප්‍රාණියෙකැ යි කුඩා ජල බින්දු කුඩා ප්‍රාණීහු යැ යි ද මහත් ජල බින්දු මහත් ප්‍රාණීහු යැයි ද නිගණ්ඨයෝ හදහති. එබැවින් ගිහියන් හුණු කැරැ දුන් ජලය ම බොති. කිසි විටෙක එය නො ලදොත් කාඩි

  3. භාග්‍යවතුන් වහන්සේ වදාළ බස ඇසූ උපාලි මෙසේ සිතී: මුර්ඡාවට පත් වූවහුට ආශ්වාස ප්‍රශ්වාස නැතත් සතියක් වුවද නො මැරී හිඳී. සිත ඇති බැවින් හේ මළේ යැ යි නො කියත්. සිත නැති වූ කල්හි ම මළේ යැ යි පිළිගනිත්. චුතියත් පටිසන්ධියත් සිතින් ම වෙයි. එ බැවින් මනෝ දණ්ඩය ම මහත් ය. නාතපුත්ත යන් ගේ වචනය අනෛර්යාණික යැ යි ගෞතමයන් වහන්සේ ගේ දෙසුම නිවරද යැ යි හේ සිතීය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ වදාරන දෑ අසනු රිසියෙන් වාද කථා ව්‍යාජයෙන් හේ තව දුරට කථා කෙළේ ය.

  4. දේව කෝපයෙන් ඒවා අරණ්‍ය බවට පෙරැළුණ ද මිනිසුන් සිතුවේ සිත් රිදුණු සෘෂීන් ගේ ශාපයෙන් ඒ නුවරවල් අරණ්‍ය වූ සැටියෙනි.