භාග්‍යවතුන් වහන්සේ එය අනඳ මහ තෙරුනට පැවැරූ සේක. එ තැන් පටන් අනඳ තෙරණුවෝ නිතර රජගෙට වැඩ බණ උගන්වති. රජුගේ ප්‍රධාන බිසෝ වූ මල්ලිකා, වාසභක්ඛත්තියා යන දෙදෙනා අතුරෙන් මල්ලිකා බිසව මනා ව ධර්මය උගනියි. නිසි සේ පාඩම් ද වෙයි. වාසභක්ඛත්තියා තොම ඉගැන්ම වත් සකසා නොකරයි. දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය, කිමෙක් ද? බිසෝවරු බණ උගනිද්දැ? යි ඇසූ සේක. “එසේ ය ස්වාමීනි” යි තෙරණුවෝ උත්තර දුන්හ. උන් ගෙන් කවරෙක් වඩා හොඳට ඕනෑකමින් මනාව බණ උගනී දැ?” යි පුළුවුත් සේක. “ස්වාමීනි, මල්ලිකාවෝ ඕනෑකමින් මනා ව බණ උගනිති. ඉගෙන ගන්නා සැටිත් පාඩම් කරන සැටිත් පාඩම් දෙන සැටිත් යහපත, ඔබ වහන්සේ ගේ නෑයන්ගේ දූ වූ වාසභක්ඛත්තියාවෝ ඕනෑකමින් ඉගැනීම නො කරති” යි තෙරණුවෝ කීහ. එවිට බුදුරජාණන් වහන්සේ,
“ආනන්දය. මා දෙසූ ධර්මය ඕනෑ කමින් ඇසීම ඉගෙනීම පාඩම් කිරීම ඒ වූ පරිදි පිළිපැදීම නොකරන තැනැත්තට ඵල නැත. කෙසේ ද යත්? පෑය ඇතත් සුවඳ නැති මල පැලැඳීමෙන් ශරීරයේ සුවඳ පැතිරීම නොවන්නාක් මෙනි. මනා ව ශ්‍රවණාදිය කරන තැනැත්තාට ම ය ශ්‍රවණාදියෙන් ප්‍රයෝජන ඇත්තේ” යි 202 ආදීන් වදාළ සේක.