දුගියකුට ආහාර දෙවා දම් දෙසීම

වස් කාලයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කැටුව වඩිනා සේක්, සැවැත් පුර පැමිණ එහි කලක් වුසූ සේක.

දිනක් සිරිත් පරිදි අලුයම් කාලයෙහි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටීමට තරම් හේතු සම්පත් ඇති අළවු පුර වැසි දිළිඳු මිනිසකු දුටු සේක. දැක ඔහුට අනුග්‍රහ පිණිස භික්ෂූන් පිරිවරා එහි වැඩි සේක. ආළවි පුර වාසීහු බුද්‍ධ ප්‍රමුඛ සඝයා වඩා හිඳුවා දන් දුන්හ. දන් වළඳා ඉවර වූ පසු ඒ පිරිස අනුමෝදන ධර්මය අසනු අටියෙන් හුන්හ. එහෙත් දයාබර ලෝකස්වාමීන් වහන්සේ තිස් යොදුන් මග ගෙවා යම් අසරණ දුප්පත් මනුෂ්‍යයකු බලා එහි වැඩි සේක් ද, ඔහු එනතුරු ම දම් නො දෙසා බලාපොරොත්තු වූ සේක. ඒ දුප්පත් පුරුෂයාත් නැති වූ ගොනකු සොයනු පිණිස උදේ පිටත් වූයේ ගොනු සොයා ගාලට දමා, බලවත් බඩ ගින්නෙන් පීඩිත වූවත් ගෙට නො ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ගියේ ය. ගොස් වැඳ පසෙක සිටියේ ය. ඔහු බඩ ගින්නෙන් පීඩිත බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ දන් පලෙහි වතාවත් කළ අයකු කැඳවා “සංඝයා වළඳා තවත් ඉතිරි වූ ආහාර ඇත් දැ” යි අසා වදාළ සේක. “එසේ යැ” යි වතාවත් කරු කීය, “එසේ නම් අසුවල් තැන හිඳුවා මොහුට ආහාර දුන මැනවැ” යි වදාළ සේක. හෙ තෙමේ ද බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ම කැඳ අවුළුපත් බත් ආදියෙන් මොනොවට ඔහු වැළැඳවී ය. කෑම, කා මුව සෝදා ඉවර ව බඩ ගින්නත් වෙහෙසක් නිවාගෙන සුවපත් වූ ඔහුටත් එහි හුන් සෙසු මහ පිරිසටත් භාග්‍යවතුන් වහන්සේ දාන කථාදි පිළිවෙළ කථාව වදාරා ඉන්පසු චතුස්සත්‍යයන් ප්‍රකාශ කළ සේක.

ඒ පුරුෂයා දේශනාවසානයේ සෝවාන් වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ද අනුමෝදන බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි ස්ක. මහජනතෙමේත් උන් වහන්සේ පසු පසෙන් ටික දුරක් ගොස් හැරී ආයේ ය. බුදුරජාණන් වහන්සේ හා වඩනා භික්ෂූහු “ඉතිරි වූ ආහාර ඇද්දැ?” යි අසා ඒ පුරුෂයාට කෑම දෙවූ කාරණය ගැන කථා කරමින් ගියහ. බුදුරජාණන් වහන්සේ එය අසා ආපසු හැරී භික්ෂූන් දෙස බලා “මහණෙනි, කුමක් කියවුදැ?” යි ඇසූ සේක. භික්ෂූන් ඒ පවත් කී කල, “එසේ ය, මහණෙනි, තිස් යොදුන් දීරඝ මාර්ගය ගෙවා මා ආයේ ඒ උපාසකයා ගේ හේතු සම්පත් දැකීමෙන් ය. ඔහු ඉතා උදේ පටන් නැති වූ ගොනකු සොයමින් වනයේ හැසිර ආයේ බලවත් බඩගින්නෙන් පෙළෙමින් ය. බඩගිනි හෙයින් ධර්ම ප්‍රතිවේධය කළ නො හැකි බව සලකා ඔහුට ආහාර දෙවූයෙමි.

“බඩගින්න සියලු රෝග අතුරෙන් දරුණු ම රෝගය යි. සංස්කාර දුක සියලු දුක් අතුරෙන් දරුණු ම දුකයි. මේ බව තත් වූ පරිදි අවබෝධ කොට නැණැතියෝ නිවන ප්‍රත්‍යක්ෂ කරති. ඒ නිවන වනාහි අග්‍ර ම සුවයයි. එයට වැඩි සුවයෙක් නැතැ”යි 168 වදාළ සේක.