පෙෂකාර දුහිතෘ සමාගමය
භාග්‍යවතුන් වහන්සේ වස් කාලයෙන් පසු ආළවියෙන් නික්ම සැරිසරා වඩනා සේක් ඊළඟ වැසි සමය ළංවැ තිබිය දී චාලිය පර්වතයට වැඩ එහි වුසූ සේක. මෙ සමයෙහි දිනක් අළවු නුවර වැඩ පෙහෙර දුවකට අනුග්‍රහ කළ සේක. මුල සිට ඇය ගේ ප්‍රවෘත්ති කථාව මෙසේ ය:
පෙර එක් දිනෙක අළවු නුවර වැස්සෝ භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කළ නිමන්ත්‍රණය කොට මහ දන් දුන්හ. දන් වළඳා අන්තයෙහි සාමිදරුවන් වහන්සේ අනුමෝදන බණ වදාරන සේක්,
“ජීවිතය අනියත යි. මරණය නියත ය. කවරදාක නුමුත් මරණය ඒකාන්ත ය. මේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය, දිවි පැවැත්ම මෙතෙක් කලැ යි නියම නැත. මරණය පැමිණෙන බව නම් නියත යැ යි මෙසේ මරණානුස්මෘතිය වඩවු. යම් කෙනෙක් එය නො වැඩුහු නම් ඔහු පසු ව මරණය පැමිණි විට බලාපොරොත්තු නැති වැ සර්පයකුට මුණගැහුණවුන් සේ බිය වැ තැති ගැන්මට පැමිණ බියෙන් මරහඬ දෙමින් මැරෙති. යම් කෙනෙක් වනාහි මරණානුස්මෘතිය වැඩහු නම්, ඔහු ඈත දී ම දංඩක් ගෙන සිටි පුරුෂයක් හු මෙන් මැරෙන කාලයෙහි මහ බියකට නො පැමිණෙති. එබැවින් මරණානුස්මෘතිය වැඩිය යුතු යැ”යි වදාළ සේක.
ඒ ඇසූ සෙස්සන් එය සිහි නො කොට තම තමන්ගේ එදඑදා කටයුතුවල ම ව්‍යාවෘත වූ නමුදු පේශකාරයකු ගේ (රෙදි වියන්නකුගේ) දූ වූ සොළොස් හැවිරිදි තරුණියක් භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදය සිතැ තබා නිතර මරණානුස්මෘතිය වැඩීමෙහි යෙදුණා ය. නැවත ඉන් වර්ෂ තුනකට පසු දිනක් අලුයම් වේලෙහි සිරිත් පරිදි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥානයට ඇය පෙනුණ බැවින් කිමෙක් දැ” යි නුවණින් බලා, ඇය සෝවාන් වීමට හේතු සම්පත් ඇති නියාව දැක පන්සියයක් පමණ භික්ෂූන් හා ජේතවනාරාමයෙන් නික්ම පිළිවෙළින් වඩනා සේක් ආළවී පුරැ අග්ගලාව විහාරයට සම්ප්‍රාප්ත වූ සේක.
භාග්‍යවතුන් වහන්සේ වැඩිය බව අසා, අළවු වැසියෝ රැස් ව දානයට නිමන්ත්‍රණය කළහ. යටකී තරුණි ද භාග්‍යවතුන් වහන්සේ වැඩිය බව අසා “පුන්සඳ මඬලක් වැනි මුහුණ ඇති මාගේ සාමිදරු ගෞතම සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ” යි සතුටු ව “මා රන්වන් ශාස්තෘන් වහන්සේ දුටුයේ මෙයින් වර්ෂ තුනෙකින් පෙර ය. අද උන්වහන්සේ ගේ රන්වන් ශරීරය දක්නටත් මිහිරි ධර්මය අසන්නටත් ලැබෙන්නේ යැ” යි සිතුවා ය.
ඇගේ පියා රෙදි වියන ශාලාවට යන්නේ, එදා ම එක රෙද්දක් වියා නිම කළ යුතු වූයෙන්, ඒ සඳහා පිළි වියන දඬු අඹරා ඉක්මණින් පිළියෙල කොට ගෙනෙන්නට ඇයට අණකොට ගියේ ය. ඕ “එය පිළියෙල කොට දී එයට පසු බණ අසමි” යි සිතා පුටුවක හිඳ දඬු, ඇඹරුවා ය. අළවු වැසියෝ දන් වළඳවා ඉක්බිති අනුමෝදනා බණ අසන අටියෙන් හුන්හ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ තමා එහි යම් තැනැත්තියකට සෙත් සලනු වස් වැඩි සේක් නම්, ඇය එහි පැමිණෙන තුරු ම කිසිත් නො වදාරා තුෂ්ණිම්භූත වූ සේක.
පෙහෙර දූ ද දඬු අඹරා පිළියෙල කොට පැසෙක ලා ගෙන පියා කරා යන්නී බණ අසන්නට රැස් වැ හුන් පිරිස වෙත එළැඹ පිරිස් කෙළවරින් භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්නී ම ගියා ය. එවිට භාග්‍යවතුන් වහන්සේ කර ඔසොවා ඇය දෙස බැලූ සේක. ඕ තොමෝ ඒ දැක භාග්‍යවතුන් වහන්සේ කරා ගියා ය.
මෙහි දී බුදුරජාණන් වහන්සේ කුමක් හෙයින් ඇය දෙස මෙසේ බැලූ සේක් ද? යත්: පෙර කළ අකුශල කර්මයක් හේතු කොට ගෙන තව ටික වේලාවකින් ඕ මැරෙන්නී ය. ඉන් මෙහා බණ ඇසුවොත් ඕ සෝවාන් පෙලෙහි පිහිටන්නී ය. එයින් මරණයෙන් පසු තුසිත දෙව් ලොව උපදින්නී ය. එබැවින් ඇයට දම් දෙසනු සඳහා ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිස ඔසොවා බැලූ සේක. ඕ තොමෝ ද බුදුරජුන් වෙත පැමිණ වැඳ පැත්තෙක සිටියා ය. එ කෙණෙහි ම බුදුරජාණන් වහන්සේ,
“කුමරිය, කොහි සිට ආයෙහි දැ” යි අසා වදාළ සේක.
නිතර ම මරණ සතිය වඩන ඕ තොම තමා ගේ අදහසට අනුව උත්තර දෙන්නී.
“වහන්ස, කොයින් ආයෙම්දැ”යි නො දනිමි” කීවා ය.
“කොහි යන්නෙහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.
“වහන්ස, නො දනිමි” යි ඕ පිළිතුරු දුන්නී ය.
“ඉක්බිති නො දන්නෙහි දැ?” යි ඇසූ සේක.
“දනිමි වහන්ස”යි ඕ කීවා ය.
“දන්නෙහි දැ”යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක.
“නො දනිමි” යි ඕතොම පිළිතුරු දුන්නා ය.
මේ කථාව ඇසූ එහි රැස් ව සිටි පිරිස, භාග්‍යවතුන් වහන්සේ ඇසූ ප්‍රශ්නයට උත්තර වෙනුවට හිතුණු හිතුණු යමක් කීවා යැ” යි ඇයට දොස් නඟන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේ පිරිස නිශ්ශබ්ද කොට,
“කොහි සිට ආයෙහි දැ?” යි ඇසූ විට, ඈ එසේ කීයේ මන්ද?” යි ඇය ම පුළුවුත් සේක.
එවිට උත්තර දෙන්නී “ස්වාමීනි, මා පේශකාරගෙහි සිට එන බව ප්‍රකට කාරණයෙකි, ඔබ විචාළේ “කොයින් අවුත් උපනෙහි ද?” යන වග යි. එය මා නොදන්නා බැවින්, “නො දනිමි”යි කීමි”යි උත්තර දුන්නී ය.
එ විටැ බුදුරජාණන් වහන්සේ සාධුකාර පවත්වා “මා ඇසූ ප්‍රශ්නයට ම නිසි උත්තර දුන්නෙහි යැ” යි ඇයට ප්‍රශංසා කළ සේක.
“නැවත කොහි යන්නෙහි දැ?” යි ඇසූ විට, “නො දනිමි” යි කීයේ මන්ද?” යි විචාළ සේක.
“පේශකර්ම ශාලාවට යන බව ප්‍රකටයි. ඔබ වහන්සේ ඇසූයේ කොහේ උපදින්නෙහි” ද යන්න යි. ඒ ද මා නොදන්නා බැවින් “නො දනිමි” යි කීමි” යි ඕ කීවා ය. එවරත් බුදුරජාණන් වහන්සේ පළමු සේම සාධුකාර දුන් සේක.
“නැවත නො දන්නෙහි දැ?” යි ඇසූ විට “දනිමි” යි කීයේ මන්ද?” යි ඇසූ සේක.
“වහන්ස, මා මැරෙන බව දනිමි. එ බැවින් එ සේ කීමි” යි කීවා ය. එ වරත් බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
ඉන් පසු “දන්නෙහි දැ?” යි ඇසූ විට “නො දනිමි” යි කීයේ මන්දැ?” යි ඇසූ සේක.
“වහන්ස, කිනම් වේලාවෙක මරණය වන්නේ දැ යි නො දන්නා බැවින් එසේ කීමි” යි ඕ කීවා ය.
“මා ඇසූ ඇසූ ප්‍රශ්නවලට ම නිසි පිළිතුරු දුන්නෙහි යැ” යි සතර වන වරද බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිරිස අමතා, “මේ සා මහ පිරිසේ කිසිවෙක් ම කාරණය තේරුම් නො ගත්තේ ය. එහෙත් දොස් නැඟීම නම් කළෝ ය. ප්‍රඥා ඇස නැති තැනැත්තෝ අන්ධයෝ ය. ප්‍රඥා ඇස ඇති තැනැත්තෝ ම ඇස් ඇත්තෝ ය. මේ ලෞකික ජන තෙම ප්‍රඥා නැමැති ඇස නො මැත්තේ අන්ධ ය. ඉතා ටික දෙනෙක් ම අනිත්‍යාදී වශයෙන් බලත්. ලිහිණි වැද්දාගේ දැලෙන් මිදුණු පක්ෂියා මෙන් ටික දෙනෙක් ම සුගතියට ද නිවනට ද යන්නෝ යැ” යි වදාළ සේක.169
දේශනාවසානයේ දී කුමරිය සෝවාන් වූවා ය. මහ ජනයාට ද ධර්මදේශනාව සාර්ථක විය. ඒ තරුණි ද පැස ගෙන පියා වෙත ගියා ය. ඒ වේලායෙහි පෙහෙර තෙම ඉඳ ගෙන ම නින්දට බටුයේ ය. තරුණිය ඒ බව නො සලකා පැස තබන විට එය වෙමි කෙළවර වැදී ශබ්ද විය. පෙහෙර තෙම හදිසියෙන් පිබිදුණේ පළමු වෙමි තැබු පරිදි ම ඇද්දේ ය. වෙමි කෙළවර එයට එල්ලව සිටි තරුණිය ගේ ඇඟේ ඇනී ඕ එතැනම මැරී වැටුණා ය. පෙහෙර තෙම නැඟිට බැලූයේ වැටී මැරී මුළු ඇඟ ම ලෙයින් තැවරී හොත් තැනැත්තිය දැක අතිශය ශෝක ප්‍රාප්ත වැ තමා සනසාලීමට භාග්‍යවතුන් වහන්සේ මිස අන් කිසිවෙක් නැතැයි සලකා එහි ගොස් වූ පවත් දැන්වී ය. ශාස්තෘන් වහන්සේ ඔහු අස්වසා,
“ශෝක නො කරව, දීර්ඝ වූ සසර මෙ පරිද්දෙන් ම දරුවන් මළ සොවින් වගුරුවාලූ කඳුළු සිවු මූදු ජලයටත් ඉතා වැඩියැ” යි අවවාද කොට අනමතග්ග කථාව170 වදාළ සේක.
ඒ අසා තුනී වූ ශෝක ඇති හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වැ උපසම්පදාව ලබා නොබෝ කලෙකින් රහත් වූයේ ය.
එකුන් විසි වන වස චාලිය පර්වතයෙහි
වස් කාලයෙන් පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ පෙරළා වැඩ බුද්‍ධත්වයෙන් එකුන් විසි වන වසෙහි වැසි සමයෙහි චාලිය පර්වතයෙහි ම වුසූ සේක.