තුන්දිනක් ගිය පසු ඒ ශරීරය ඉදිමී කුණු වී පණුවන්ගෙන් ගැවැසී ගත්තේ ය. බුදුරජුන් වදාළ පරිදි “ගෙවල් රක්නා ළමයින් හැර සෙසු සියලුදෙනා එය දක්නට පැමිණිය යුතු ය යැ” යි රජ අණබෙර ලැවූයේ ය. බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට ද එහි වඩිනා ලෙස ආයාචන කොට යැවූයේ ය. කෑම නො කා සිවු දිනක් ම වැතිර හොත් තරුණ භික්ෂු ද සිරිමාව දැක්මට යෑම පිණිස අන් භික්ෂූන් විසින් කැඳවනු ලදු ව වහා නැගිට්ටේ ය. බුදුරජාණන් වහන්සේ ඒ සියලු භික්ෂූන් කැටුව සොහොනට වැඩ සිරිමාව ගේ මළ සිරුර සමීපයෙහි පසෙක සිටි සේක. භික්ෂු සමූහයා ද රාජපුරුෂයෝ ද උපාසක උපාසිකාවෝ ද ඒ මළ සිරුර වටේ එක් එක් පාර්ශවයෙහි සිටියහ.
බුදුරජාණන් වහන්සේ රජුට කථා කොට “මහරජ මේ කවුරු දැ?” යි ඇසූ සේක. “වහන්ස, මේ සිරිමා යැ”යි රජ කීයේ ය. “මේ සිරිමා දැ?” යි යලිත් බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “එ සේ ය වහන්සැ” යි රජ පිළිතුරු දුන්නේ ය.
“මහරජ, එසේ නම් රන් දහසක් දී සිරිමාව ගණිත්වා”යි නුවර වැස්සනට දැන්වුව මැනැවැ” යි වදාළ සේක. රජ ද එසේ කැරැවූයේ ය. එහෙත් කිසිවෙක් එය මිළයට ගන්නට කැමැති නො වීය. ඉක්බිති ක්‍රමයෙන් කහවණු පන්සියය දෙසිය පනස එක්සිය පනස විසි පහ විස්ස දහය ආදී පිළිවෙළින් පණම දක්වා මිල පහත් කොට ඒ සිරුර ගන්නට කී නමුත් කිසි ම කෙනෙක් එයට කැමැති නො වූහ. එවිටැ “නොමිළයේ එය ගන්නා ලෙස පිරිසට දැන්වුව මැනැවැ” යි වදාළ සේක. රජ එසේ දැන්වීය. එහෙත් කිසිම කෙනෙක් එයට කැමති නොවූහ. එ විට බුදුරජාණන් වහන්සේ වදාරන සේක්, “මහණෙනි, බලවු. පෙර මහ ජනයා මැය රන් මිල දහසක් වුවත් දී එක දවසකට පමණ ද (භාර්‍ය්‍යා වශයෙන්) ගත් හ. දැන් නොමිළයේ වත් ගන්නා කෙනෙක් නැත. මහජනයාට ප්‍රිය වූ එබඳු රූපය දැන් මෙසේ ක්ෂීණ ව විනාශයට පැමිණියේ ය. ගිලන් අත් බැව් සැටි නුවණින් බලවු” යැ යි වදාරා.
“යම් සිරුරෙක ස්ථිර පැවැත්මෙක් නැද්ද, වණ රැසක් වූ ඇට රැසින් ගළපා සිටුවන ලද්දක් වූ. ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභ වශයෙන් වරදවා කල්පනා කොට ගන්නා ලද, වස්ත්‍රාභරණාදියෙන් සරසන ලද ඒ මේ ශරීරය අශූචි දුගඳ පිළිකුල් දැයක් කොට ඇති සැටි ලෙස සලකා බලන්නැ”යි වදාළ සේක. දේශනාවසානයේ දී සුවාසූ දහසකට ධර්මාභිසමය විය. සිරිමාව කෙරේ ඇලුම් කළ භික්ෂූ ද, පියෙවි සිහිය ලැබී ය.167