තෙළෙස් වන වස චාලිකා පර්වතයෙහි
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතැ ටික කලක් වැස ඉන් නික්ම චාලිකා නගරයට වැඩ එය අසළ චාලිකා පර්වතයෙහි වූ විහාරයෙහි තෙළෙස් වන වස වුසූ සේක.
තුදුස් වන වස
වර්ෂාණ සමය ගත වූයෙන් භාග්‍යවතුන් වහන්සේ සැරි සරා සැවැත් නුවරට වැඩි සේක. තුදුස් වන වැසි සෘතුයෙහි එහි දෙව්රම් වෙහෙරෙහි වුසූ සේක.
රාහුලයන් වහන්සේ ගේ උපසම්පදාව
මෙ සමයෙහි රාහුල හෙරණ පිරුණ විසි වයස් ඇත්තේ උපසපන් බවට පමුණුවන ලද්දේ ය. මෙ වස් කාලය ඇතුළත දී ම භාග්‍යවතුන් වහන්සේ වදාළ මහා රාහුලෝවාද සුත්තය[1] අසා රාහුල භික්ෂු නම රහත් විය.
වැසි සාර මස ගත වූ පසු සැරි සරා වඩනා භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩවදාළ සේක.
පසළොස් වන වස
භාග්‍යවතුන් වහන්සේ පසොළොස් වන වර්ෂර්තුයෙහි වුසුයේ එහි න්‍යග්‍රෝධාරාමයෙහි ය. මෙ සමයෙහි නන්දිය ශාක්‍ය රජ සස්නෙහි පැහැදුණේ ය. සුප්‍රබුද්‍ධ නම් කෝලිය රජ භාග්‍යවතුන් වහන්සේ ට සතුරු කම් කැර මහත් අකුසල් රැස් කොට පොළොවැ ගිලී විනාශයට පත් විය.
ජේතවනයට වැඩීම
භාග්‍යවතුන් වහන්සේ වසින් පසු කිඹුල්වතින් නික්ම සැරි සරන සේක්, සැවැත් නුවරට පැමිණ ජේතවනයෙහි වුසූ සේක.
-
මෙය මැඳුම්සඟියෙහි මජ්ඣිමපණ්ණාසකයෙහි ඇතුළති. ↑