ආළවක සමාගමය

star_outline

සැවැත් පුර වසන භාග්‍යවතුන් වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනෙක අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරු අනාගාමී වීමට හේතු සම්පත් ඇති බව ද, අළවු යකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බව ද, ධර්ම දේශනාව අසා බොහෝ ප්‍රාණීනට ධර්මාභිසමය වන බව ද දැක, එදා සවස හුදෙකලාව පයින් ම වැඩ ආළවි පුරයට ටික දුරෙක වනයේ වූ ආළවක යකු ගේ ප්‍රාසාදයට වැඩි සේක. වැඩ, ආළවක යකු ගේ පුටුයෙහි හිඳ එහි පැමිණි යක්ෂ ස්ත්‍රීනට අවවාද කළ ස්ක. ටික වේලාවෙකින් ආළවක යක් තම එහි පැමිණ නොයෙක් අයුරින් භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කරන්නට තැත් කෙළේ ය. ඒ කිසිවෙකින් ජයක් නො ලත් හෙතෙම භාග්‍යවතුන් වහන්සේ කුපිත කළ හැකියි සිතා නින්දා සහගත බසින් “ශ්‍රමණය, මින් පිට වව” යි කීය. මෙතැන දී මෘදු බව දැක්වීමෙන් යකු ගේ තද කෝපය අඩු කළ හැකි බව සැලකූ බුදුරජාණන් වහන්සේ “යහපත, ඇවැත්නි” යි කියා ගෙන් පිට වූ සේක. එවිට යක් තෙම මේ “ශ්‍රමණයෝ සුවච කෙනෙක. එක් වචනයෙන් ම පිටත් වූහ. මෙසේ එක් වචනයකින් ම මෙයින් නික්මවන්නට හැකි වූ මොහු ට විරුද්ධ ව නිකරුණේ රෑ මුළුල්ලේ යුද්‍ධ කෙළෙමි” යි මෘදු වූ සිතැති වැ “මේ තෙම ක්‍රෝධයෙන් නික්මියේ ද නැත හොත් සුවච බැවින් නික්මියේ දැ?”යි පරීක්ෂා කරමි” යි සිතා “ශ්‍රමණය, ඇතුළට එව”යි කීයේ ය. “යහපත, ඇවැත්නි” යි කියා බුදුරජාණන් වහන්සේ ගෙට වන් සේක. දෙවෙනි තෙවෙනි වර ද යක් තෙම පිට වන්නටත් ඇතුළට එන්නටත් අණ කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ද පළමු සේම ඔහු කී පරිදි කළ සේක. කිසිවක් ඉල්ලා හඬන දරුවාට එය දී නලවන මවකසේ බුදුරජාණන් වහන්සේ (ක්‍රෝධයෙන් හඬන) අළවු යකු නලවන පිණිස ඔහු කී දෑ කළ සේක. එවිට යක් තෙම මේ “ශ්‍රමණයා ඉතා සුවචය. එළිවන තුරු මෙසේ ම ඇවිදුවා වෙහෙසවම් යැ” යි අදහස් කොට සතර වන වරද “මහණ, නික්මෙව”යි කීයේ ය. එවිට ඔහුගේ අදහස දත් බුදුරජාණන් වහන්සේ “නො නික්මෙමි. නුඹට හැකි දෙයක් කරන්නැ” යි වදාළ සේක. එ ඇසූ අළවු යක් තෙම, “ප්‍රශ්න අසා මොහු වෙහෙසවන්නෙමි” යි සිතා, තමා මා පියන් ගෙන් උගත් ප්‍රශ්න සතරක් විචාළේ ය.166 භාග්‍යවතුන් වහන්සේ ඒ විසඳීම් වශයෙන් ඔහුට දම් දෙසූ සේක. බණ ඇසීමෙන් යක් තෙම සෝවාන් විය.

පහන් වූ බැවින් වෙන දා මෙන් ම ඔහුට බිලි පිණිස ආළවි රජු ගේ ඇමැතියෝ කුඩා දරුවකු එහි ගෙනාහ. ඒ ආළවි රජුන්ගේ පුත් කුමරුවායි. රාජපුරුෂයෝ භවනය ඇතුළට ම ගොස් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට හුන් අලවු යකු දැක “මහා යක්ෂය, මේ කුමරු තොපට බිල්ලට ගෙනාමු. මෙන්න පිළිගනුව, පිළිගෙන කව. තට කැමැත්තක් හෝ කරවයි” කීහ. සෝවාන් වූ හෙතෙම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දී ම ඇසූ වචනයෙන් ලජ්ජාවට පැමිණියේ, කුමරුවා දෑතින් පිළිගෙන, “ස්වාමීනි, මේ කුමරා මට එවන ලද්දෙකි. මම මොහු භාග්‍යවතුන් වහන්සේ ට දෙමි. බුදුවරු හිතානුකම්පා ඇත්තෝ ය. වහන්ස. මොහුට හිත වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ මොහු පිළිගන්නා සේක්වා”යි කියා භාග්‍යවතුන් වහන්සේ අතට දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ “මේ දරුවා පෝෂිත කොට නැවැත මට දෙවු” යැ යි වදාරා කුමරා රාජපුරුෂයන් අතට ම දුන් සේක. මෙසේ අතින් අතට දෙන ලද බැවින් ඒ කුමරා එ තැන් සිට හත්ථාළවක නමින් ප්‍රකට විය. රාජපුරුෂයෝ ද කුමරහු ගෙන ආපසු අළවු නුවරට ම ගියහ. මේ ප්‍රවෘත්ති ය එහි පතළ වූයෙන් ඒ පෙදෙස නුවර වැස්සන් ගේ ප්‍රීති ඝෝෂයෙන් ඇලලී ගියේ ය.

පිණ්ඩපාත වේලාව පැමිණි කල යක් තෙමේ පා සිවුරු ගෙන බුදුරජුන් පසු පස්සෙන් මාර්ගයේ අඩ දුරක් ගොස් නැවැතුණේ ය. භාග්‍යවතුන් වහන්සේ ද නුවර පිඬු පිණිස හැසිර වළඳා නුවර දොරටුව සමීපයෙහි රුකක් මුල පණවා දුන් අස්නේ වැඩ හුන්සේක. ආළවි රජ ද නුවර වැස්සෝ ද එහි එක් රැස් ව උන් වහන්සේ වැඳ පිරිවරා උන්නෝ

“එ බඳු දරුණු යකකු කෙසේ හික්මවා වදාළ සේක් දැ?යි විචාළහ. බුදුරජාණන් වහන්සේ සිදු වූ සියල්ල වදාරා යකුට දෙසූ ධර්මය ම ඔවුනට වදාළ සේක. එය ඇසීමෙන් අසූසාර දහසක් ප්‍රාණීනට ධර්මාභිසමය විය.

සොළොස් වන වස ආළවියෙහි

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආළවක යකු හික්මවා රටට සෙත සලසා ඒ වස් කාලයෙහි ආළවි ජනපදයෙහි ම වුසූ සේක.